ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන මාර්ග අංග දෙක අයත් වන්නේ ප්‍රඥා ස්කන්ධයටයි. ආර්යෂ්ටාංගික මාර්ගයට ශ්‍රාවකයෙකු පැමිණෙන්නේ සම්මා දිට්ඨිය තුළින්. එසේ සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවකයා තුළ ආර්යෂ්ටාංගික මාර්ගය සම්පූර්ණත්වයට පත්වේ. ඒ නිසා පළමුවෙන් කළ යුතු වන්නේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට උත්සාහ කිරීමයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ සම්මා දිට්ඨිය ඇතිකරගැනීම සඳහා පටිච්ච සමුප්පාදය මනාකොට නුවණින් මෙනෙහි කිරීම, චතුරාර්ය සත්‍යය නුවණින් මෙනෙහි කිරීම, ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම, පංච උපාදානස්කන්ධයේ හටගැනීම සහ නැතිවීම නුවණින් මෙනෙහි කිරීම ආදිය උපකාරී වන බවයි.
එමෙන්ම සම්මා දිට්ඨි සූත්‍රය (ම.නි. 1), ඔක්කන්ති සංයුත්තය (සං.නි. 3) මග්ග සංයුත්තය (සං.නි. 5), පංචභයවේර සූත්‍රය (සං.නි. 2), ඤාණවත්ථු සූත්‍රය සං.නි. 2) යන සූත්‍ර දේශනා කියවා ඒ සඳහා අවශ්‍ය ධර්ම ඤාණය දියුණු කරගන්න.