(01) පින්වත් ස්වාමීන් වහන්ස, ආනාපානසතිය වැඩීමේ දී නිදන ඉරියව්වෙන් වැඩීම සුදුසු ද?

භාග්‍යවතුන් වහන්සේ විසින් ආනාපානසති භාවනාව විස්තර කරන සතිපට්ඨාන සූත්‍රය, ආනන්ද සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ආදි සෑම දේශනාවක ම එය වඩන ඉරියව්ව විස්තර කොට ඇත්තේ මෙලෙසිනි.

“අරඤ්ඤගතෝ වා රුක්‍ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා, උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සෝ සතෝව අස්සසති, සතෝව පස්සසති…”
එනම්, “ශ්‍රාවකයා ආරණ්‍යයකට හෝ රුක් සෙවණකට හෝ නිදහස් තැනකට හෝ ගොස් කය ඍජු කරගෙන පළඟක් බැඳගෙන වාඩි වී හුස්ම රැල්ල කෙරෙහි මනාව සිහිය පිහිටුවාගෙන සිහියෙන් හුස්ම ගනියි. සිහියෙන් හුස්ම හෙළයි….” යනුවෙනි.
එම නිසා ආනාපානසතිය වැඩිය යුත්තේ ඒ ආකාරයෙන් බව අප තේරුම් ගත යුතුයි. පළඟක් බැඳ වාඩිවීමට අපහසු නම් කොහු මෙට්ටයක් වැනි කුඩා ආසනයක් භාවිත කොට කය ඍජු කොට ගෙන වාඩි විය හැකියි.
ආනාපානසතිය වැඩීම ගැන නිරවුල් දහම් දැනුමක් ලබා ගැනීමටත්, ප්‍රායෝගික භාවනා උපදෙස් දැන ගැනීමටත් ‘සිතට සුව දෙන භාවනා’ නම් සදහම් ග්‍රන්ථයත්, ‘සුසුමක විමසුම-නිවනක ඇරඹුම’ යන ග්‍රන්ථයත් පරිශීලනය කරන්න.