නැහැ. ඒකේ ඇත්තක් නැහැ. ඍණාත්මක චින්තනය කියලා කියන්නෙ අපට යමක් කරන්න බැහැ කියන එකයි. දැන් දුක ගැන ගත්තොත් මේ මිනිස්සු බුදු දහම ඍණාත්මක චින්තනයක් කිය කියා දුක අවබෝධ කරන්නෙ නැතිව, අසුභය අවබෝධ කරන්නෙ නැතුව මිත්‍යා සංකල්පයක් තුළයි සම්පුර්ණයෙන් ම බැහැගෙන ඉන්නෙ. ඒ තමයි සැපයි නිත්‍යයි ආත්මයි කියන මිත්‍යා සංකල්පය. ඒ සංකල්පය තුළ ඉන්න නිසා තමයි, යථාර්ථයට ප්‍රතිවිරුද්ධව කල්පනා කිරීම නිසා තමයි මේ මිනිස්සු අසහනයෙන් පීඩාවෙන් දුක් විඳින්නෙ.
ඉතින් මේ යථාර්ථයට ප්‍රතිවිරුද්ධව සැපයි සැපයි සැපයි, නිත්‍යයි නිත්‍යයි නිත්‍යයි, තමාගේ වසඟයේ පවත්වන්න පුළුවන් ආත්මයි ආත්මයි ආත්මයි කියල අසත්‍යයක් පුරුදු කළා කියලා කවදාවත් ඒක ධනාත්මක චින්තනයක් වෙන්නෙ නැහැ. ධනාත්මක චින්තනය කෙනෙක් තුළ තියෙනවා කියලා හොයන්න පුලුවන් වෙන්නෙ එයා අට ලෝ දහමින් කම්පා නොවන හිතක් දියුණු කරලා තියෙනවා නම් විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා,

ඵුට්ඨස්ස ලෝකධම්මේහි – චිත්තං යස්ස න කම්පති
අසෝක විරජං ඛේමං – ඒතං මංගලමුත්තමං

කෙනෙකුගේ ජීවිතය කරා අට ලෝ දහම ළං වෙනකොට, අටලෝ දහමින් පහර වදිනකොට ඒ සිත කම්පා වෙන්නෙ නැත්නම්, සෝක රහිත ව, බිය රහිත ව තිබෙනවා නම් අන්න ඒක තමයි නියම ශ්‍රේෂ්ඨත්වය. ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. අන්න ඒ ශ්‍රේෂ්ඨත්වය තමයි කෙනෙක් තුළ ඇතිවන නියම ධනාත්මක චින්තනය වෙන්නෙ. ඒක ඇති වෙන්නෙ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැකීමෙන්, දුක් දේ දුක් වශයෙන් දැකීමෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන් දැකීමෙන්, අසුභ දේ අසුභ වශයෙන් දැකීමෙන්.

ඒ නිසා යථාර්ථය දැකීම, අනිත්‍ය වශයෙන් සිහි කිරීම ඍණාත්මක ආකල්පයක් යැයි කියන මතය ධර්ම ඤාණයක් නැති අන්ධබාල පෘථග්ජන මිත්‍යා දෘෂ්ටික පිරිසක් විසින් මානසිකව ගොඩ නගා ගත්තු මුළාවක් මිසක් ඒක ආර්ය ශ්‍රාවකයෙකුගේ දර්ශනයක් නම් නෙවෙයි.