ගෞතම බුද්ධ ශාසනයේ පැවැත්මට විශාලතම හානිය සිදුවෙමින් පවතින්නේ අන්න ඒ තුලින් තමයි. මොකද හේතුව, බුදුරජාණන් වහන්සේගේ දේශනා එක එක්කෙනාගේ හිතුමනාපෙට, හිතුවක්කාර ක්‍රමවලට තෝර තෝරා වචන කඩ කඩා විස්තර කරන්න කාටවත් කිසිම අයිතියක් නැහැ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය තුළින් දේශනා කළ ධර්මයක් මේ කොහේවත් සංසාරෙ ඇවිද ඇවිද යන කෙනෙක් හිතට අරගෙන ඒ වචන තමන්ට ඕන විදිහට විග්‍රහ කරන්න ගියොත් තමන්ටත් වරදිනවා, අහන අයටත් වරදිනවා. ශ්‍රද්ධාවට පැමිණිලා ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා.

මේ නිසා ගෞතම බුද්ධ ශාසනයට මෑත භාගයේ ඒ කියන්නේ බුද්ධ වර්ෂ විසිහයවෙනි සියවස වනවිට සිදුවෙලා තියෙන හානිය අපි හිතනවා සාසන ඉතිහාසයේ සිදුවෙලා නැති තරම් හානියක් දැනට සිදුවෙලා කියලා.

ඒ තමයි මේ අලුත් අර්ථකථන දිදී බුදුරජාණන් වහන්සේ ධර්මයේ මූලික ස්වරූපය විකෘති කිරීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික ස්වරූපය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. ඉතින් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවන ආකාරයට මේ ධර්මය විවරණය කරනවා නම් අන්න ඒ තුළින් තමයි මේ බුද්ධ ශාසනයට අනතුරක් වෙන්නෙ. ඒක අද සමාජයේ වැඩිපුර ම දකින්නට ලැබෙන දෙයක්.