ඒ කියමන්වල සත්‍යතාවයක් තියෙනවා. පසුකාලීන ග්‍රන්ථ ඔස්සේ බුදු දහම දෙස බලන්න ගියොත් එයාට පිරිසිදු බුදු දහමක් ලැබෙන්නෙ නැහැ. විවිධාකාර මතවාදවලින්, ආකල්පවලින්, විවිධාකාර දෘෂ්ටිවලින් විකෘති වී ගිය ධර්මයක් තමයි පසුකාලීන ග්‍රන්ථ ඔස්සේ දකින්ට ලැබෙන්නෙ. ඒ තමයි බුදු බව පැතීම, මෛත්‍රී බුදුරජාණන් වහන්සේව පතාගෙන යන මෛත්‍රී වර්ණනාව, බෝධිසත්ව වර්ණනාවන්, පාරමී පිරීම, තෙසැත්තෑ ඤාණ පූජා, මාර්ග-ඵල ලබන්න ත්‍රිහේතුක ප්‍රතිසන්ධි අවශ්‍ය බව ආදී මතවාද. අපට පැහැදිලිව පේනවා මේවා පසුකාලීන ආකල්ප ඔස්සේ ගොඩනැගිලා තියෙන බව. නමුත් බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනා වන දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකායට අයිති ථේර ථේරී ගාථා, උදාන, ධම්මපදය, ඉතිවුත්තක, සුත්ත නිපාත, පේතවත්ථු විමානවත්ථු ආදී ත්‍රිපිටක ග්‍රන්ථ දෙස බලනකොට අපට පේනවා මේ ජීවිතයේදී ම අත්දකින්න පුළුවන්, ප්‍රගුණ කරන්න පුළුවන් ඉතා පිරිසිදු නිර්මල ධර්මයක් අපට තිබෙනවා.

සමහරවිට කෙනෙකුට මේ නිර්මල ධර්මය තිබෙන බව නොතේරෙන්න පුළුවන්. මොකද අර පසුකාලීන ග්‍රන්ථවලට නිර්මල ධර්මය ඇතුලත් කරලයි අපිරිසිදු ධර්මය ඉදිරිපත් කරන්නෙ. මේ නිසා ධර්මය පිළිබඳ පැහැදිලි දැනුමක් ලබානොගත් කෙනෙක් පැටලෙන්න පුළුවන් පිරිසිදු ධර්මයක් නැහැ කියලා. විශේෂයෙන් ම ඒකට හේතුව තමයි පසුකාලීනව ලියැවුණු පොත් පත් සහ මෑත කාලයේ ද ලියැවුණ පොත්පත්වලින් ධර්මය සොයන්නට යෑම.

අපේ අදහස නම් මේ මෑත භාගයේ තරම්, ඒ කියන්නෙ බුද්ධ වර්ෂ විසිහයවෙනි සියවස තරම් බුද්ධ වචනය සංකීර්ණත්වයට පත්කෙරෙන පොත් පත්, අදහස්, ආකල්ප ඉදිරිපත් වුණ තවත් සියවසක් නැහැ කියලයි. මෙය විශේෂයෙන් ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවැත්මට විශාල හානියක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ඒ ශ්‍රාවකයන්ගේ නාමයෙන් සිටින අපි කවුරුත් ගෞතම බුදු සසුනේ තිබෙන පාරිශුද්ධ භාවය රැකගන්නටත්, ඒ පාරිශුද්ධභාවය ඉස්මතු කරන්නටත් උත්සුක විය යුතුයි. එහෙම නැත්නම් අපිත් ඒ ශාසනය විනාශ කරන්න හවුල් වෙන අවාසනාවන්ත පුද්ගලයන් බවට පත්වෙන්නට පුළුවන්. ඒ තත්ත්වයට පත් නොවීමට අපි වගබලාගත යුතුයි.