බුදුරජාණන් වහන්සේ ගැන අපැහැදුන වෛරී සිතිවිලි ඇතිවීම ඇතැම් අය තුළ හටගන්නා බව අපට බොහෝ අවස්ථාවලදී අසන්නට ලැබෙනවා. ඇතැම්විට මෙය තමන් කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක් වන්නට පුළුවන්. මෙය නොපෙනෙන ලෝකයේ බලපෑම් නිසාත් ඇතිවිය හැකියි. කෙසේ නමුත් මෙය සිතට සිතෙන අනිත්‍ය වූ අරමුණකි. බොහෝ දෙනා මෙවැනි සිතිවිලි අසාමාන්‍ය ලෙස සිතෙහි ඇතිවෙන විට එයට බිය වී කලබලයටත්, පසුතැවීමටත් පත් වේ. එම සිතිවිලි කුසල් ද, අකුසල් ද කියා සිහියෙන් හඳුනාගත යුතුය. ඉන්පසුව එහි ආදීනව මෙනෙහි කළ යුතුය (කියවන්න විතක්ක සණ්ඨාන සූත්‍රය: ම.නි. 1). එහි පෙන්වා දී ඇති ආකාරයට අකුසලය ප්‍රහාණය කිරීමට උත්සාහ ගන්න.

ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇතිවෙන දේශනා නිතර කියවන්න. උන්වහන්සේගේ ගුණ නිතර නිතර මෙනෙහි කරන්න. එවිට කලක් යනවිට එම සිතිවිලි ප්‍රහාණය වී යාවි. මේ සඳහා තවත් දෙයක් කළ හැකියි. එනම්, රුවන්මැලි මහාසෑය පැදකුණු කරමින් වන්දනා කොට, පිරිත් කියා දෙවිවරුන්ට පින් දී තමන්ගේ සිතේ ඇතිවන මෙම අකුසල සිතිවිලි දුරුකරගැනීමට මට භාග්‍යවතුන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා කියා සිතා තුනුරුවන්ට ජීවිතය පූජා කරන්න. යම් හෙයකින් එය අමනුෂ්‍ය බලපෑමකින් සිදුවන දෙයක් නම් මේ ක්‍රමයෙන් එය දුරුවී යනු ඇත.