අන් අය ගැන ඇතිවන ඉරිසියාව දුරුකරගැනීමට විශේෂයෙන් තමා උපමාවට ගෙන කල්පනා කිරීමට පුරුදු විය යුතුය. අපට යම් කෙනෙක් ගැන ඉරිසියාවක් හටගන්නේ ඔහුගේ යම් කිසි දියුණුවක් අරභයා ය. නමුත් අපි අප තුළ යම්කිසි දියුණුවක් හෝ සැපයක් ඇතිවනවාට කැමති අය වෙමු.

ඒ වගේම අපේ සැපයට හෝ දියුණුවට තව කෙනෙක් ඉරිසියා කරන බව දැනගතහොත් අපට ඒ පුද්ගලයාව අප්‍රිය කෙනෙක් බවට පත් වේ. අපි ඒ කෙනාව ඇසුරු කරන්නට ද කැමති නැත. ඒ අයුරින් ම අප අන් අයට ද ඉරිසියා කළහොත් ඒ අයට ද අපව අප්‍රිය අමනාප පුද්ගලයන් බවට පත්වෙයි යනුවෙන් සිතා තමා තුළ හටගන්නා ඉරිසියාව දුරු කළ යුතුය. එමෙන්ම ඉරිසියා කරන කෙනෙකුට මෙලොව හෝ පරලොව කිසිදු දියුණුවක් හෝ අභිවෘද්ධියක් ඇති නොවේ.

අන් අයගේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදියට ඉරිසියා කිරීමෙන් නිරය ආදී දුගති ලෝකවලත් උපදින්නට සිදුවේ. මනුස්ස ජීවිතයක් ලැබූ පසුත් එහි විපාක වශයෙන් කිසි ආනුභාවයක් පිළිගැනීමක් නැති අල්පේශාක්‍ය ජීවිත ගෙවීමට සිදුවේ. මේ අයුරින් ඉරිසියා කිරීමෙහි ආදීනව නුවණින් සැළකීමෙන් එය දුරුකරගත හැකිය. අප භාග්‍යවතු් වහන්සේ ඉරිසියාව දුරුකරගැනීම පිණිස සුවිශේෂී භාවනාවක් ප්‍රගුණ කළ යුතු බව පෙන්වා දුන් සේක. එනම් මුදිතා භාවනාව යි. ඒ මුදිතා භාවනාව දියුණුකරගත යුතු ආකාරය, මහමෙව්නා සදහම් ප්‍රකාශනවල ඇති “සිතට සුවදෙන භාවනා” නම් සදහම් ග්‍රන්ථයේ විස්තර වශයෙන් සඳහන් වේ.