තෙරුවන් කෙරෙහි ඇතිවෙන ශ්‍රද්ධාව, පැහැදීම යනු හේතු සහිතව, ආහාර සහිතව උපදින ධර්මයකි. මෙසේ උපදින ශ්‍රද්ධාව සෝතාපන්න වීමත් සමඟ අවෙච්චප්‍රසාදයක් හෙවත් නොසෙල්වෙන ශ්‍රද්ධාවක් බවට පත්වේ. එම නිසා පළමුව මනාකොට තෙරුවන් සරණෙහි පිහිටමින් එම ශ්‍රාවකයා විසින් මහන්සි ගත යුත්තේ සතර සෝතාපත්ති අංගයන් පුරුදු කිරීමටයි. ඒවා නම්,

1. සත්පුරුෂයන් ඇසුරු කිරීම.
2. සද්ධර්ම ශ්‍රවණය.
3. යෝනිසෝ මනසිකාරය.
4. ධර්මානුධර්ම ප්‍රතිපදාව.

යන කරුණු 4යි. මක් නිසාද යත්, ‘අංගුත්තර නිකායේ අවිජ්ජා සූත්‍රයේදී ’ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට තිබෙන්නේ මේ ශ්‍රද්ධාව සත්පුරුෂ ඇසුරින් සහ සද්ධර්ම ශ්‍රවණයෙන් ආහාර ලබා වැඩෙන බවයි. ඒ සැදැහැවතා විසින් “භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. මම නොදනිමි. භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ වනසේක. මම වනාහී ශ්‍රාවකයා වෙමි.” යන නිහතමානි ආකල්පයෙන් ධර්මය ප්‍රගුණ කිරීම අරඹයි. ඔහු විසින් ජීවිතාවබෝධය ඇතිවෙන අයුරින් භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම නුවණින් විමසද්දී කෙමෙන් කෙමෙන් තම ශ්‍රද්ධාව සේඛ බලයක් ලෙසට වර්ධනය කරගත හැකිය. මෙම සේඛ බල තුළ පිහිටා තවදුරටත් යෝනිසෝමනසිකාරය ප්‍රගුණ කරන ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්මයන් මෘදු ලෙස පහළ වෙමින් ඔහු ශ්‍රද්ධානුසාරී හෝ ධම්මානුසාරී ශ්‍රාවකයෙක් බවට පත්වේ. යම් මොහොතක චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ යථාර්ථය අවබෝධ වෙද්දී තෙරුවන් කෙරෙහි සැකය, විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම දුරු වී ගොස් ශ්‍රද්ධාවෙහි ස්ථිර ලෙස පිහිටන්නට හැකියාව ලැබේ.