දැන් ඔබ ඉගෙන ගන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙකු තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු උදාර ගුණාංගයක් පිළිබඳවයි. ඒ තමයි සීලානුස්සතිය. සීලානුස්සති භාවනාව කියන්නේ තමන්ගේ වචනයත් කයත් සංවර කරගැනීම තුළ තමන් අත්විඳින සැනසිල්ල සිහිකිරීමයි. තමන් අත්විඳින සැනසිල්ල සිහිකිරීමේදී තමන්ගේ වචනයෙන් සිදුවුන අඩුපාඩු හඳුනාගෙන එයින් අත්මිදෙන්නට ඕනෙ. තමන්ගේ කයින් සිදුවුන අඩුපාඩු හඳුනාගෙන එයින් අත්මිදෙන්නට ඕනෙ. ඉන්පසු තමන් කය හසුරුවන ආකාරය ගැන සිහියෙන් ඉඳල, එයා උදෑසන ම අවදිවෙලා අධිෂ්ඨාන කරන්නට ඕනෙ මම මගේ ශරීරය මුල් කරගෙන වරදක් වෙන්න දෙන්නෙ නෑ. මම මගේ වචනය මුල් කරගෙන වරදක් වෙන්න දෙන්නෙ නෑ කියලා.

තමන්ගේ කයත් වචනයත් පිළිබඳව ශාන්ත බවත් සංවර බවත් ඇති කරගැනීම පිණිස වෙහෙස මහන්සි වෙන කොට තමන් නොදැනීම උදාර ගුණාංගවලට තමන් හිමිකාරයෙක් බවට පත්වෙනවා. ඒ තුළින් තමන්ට පුළුවන් වෙනවා සියලු දෙනා කෙරෙහි තමන් ගැන විශ්වාසනීයත්වයක් ගොඩ නගන්න.

මේ විදිහට තමන්ගේ කයයි, වචනයයි සංවර කරගෙන තමන්ගේ සීලමය ගුණය දියුණු කරන්නට ඕනෙ. සවස් කාලය වෙද්දි එයාට සතුටු වෙන්න පුළුවන් මගේ ජීවිතය අද බොහොම යහපත් විදිහට ගත කෙරුණා. මම අද මගේ කය මුල්කරගෙන කාටවත් හිංසාවක් පීඩාවක් කළේ නෑ. මම සොරකමක් කළේ නෑ. මම වැරදි ජීවිතයක් ගෙව්වේ නෑ. මම යහපත් ජීවිතයක් ගෙව්වා. මම අද මත්පැන් පානයට යොමු වුණේ නෑ. මම අද ගත කරපු ජීවිතය තුළ කිසි කෙනෙක්ව බොරුවෙන් රැවැට්ටුවේ නෑ. කේළමක් කිව්වෙ නෑ. ඵරුෂ වචනයක් කිව්වෙ නෑ. හිස් වචන කියමින් කාලය කා දැම්මෙ නෑ.

මේ විදිහට තමන්ගේ සීලය ගැන සිහිකිරීමේදී, පිරිසිදු වස්ත්‍රයක් දෙස බැලීමේදී ඒ පිරිසිදු වස්ත්‍රයේ අඩුපාඩු ටික හොඳින් පේනවා වගේ තමන්ගේ ජීවිතයේ තමන්ගේ සීලයේ අඩුපාඩු පැත්ත පේන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට පේන නිසා තමන්ගේ සිල්වත් බව භාවනාවක් හැටියට දියුණු කරගන්නවා.

මේ සීලානුස්සති භාවනාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් නිරතුරුවම සිදුකරන භාවනාවක්. සීලානුස්සති භාවනාව සිහි කරන්න සිහිකරන්න මෙයාගේ සිත ශාන්ත වෙනවා. මෙයාගේ හිතේ තියෙන පසුතැවිල්ල නැතිවෙලා යනවා. විපිළිසරභාවය නැතිවෙලා යනවා. කලබලකාරී බව නැතිවෙලා යනවා. මේ සංසිඳීමත් එක්ක සිත සමාධිගත වෙනවා. එහෙම නම් ඔබට සීලානුස්සති භාවනාව තුළ බොහොම පහසුවෙන් සමාධියක් කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තම තමන්ගේ ගුණාත්මක ජීවිතය යළි යළි සිහිකරන්න පුළුවන්කම කෙනෙකුට ලැබෙන උතුම්ම ලාභයක්. ඔබ තුළ ඇති උතුම් ගුණාංග නිරන්තරයෙන්ම මනසිකාරයේ යෙදෙමින් භාවනාමය වශයෙන් දියුණුවක් කරා යන්න පුළුවන් වෙනවා.

– සීලානුස්සති භාවනාව –

මාගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිල්වත් වන සේක. බුදුරජාණන් වහන්සේ කය සංවර කළ සේක. වචනය සංවර කළ සේක. පිරිසිදු ජීවිතයක් ගත කළ සේක. කයින් සිදුවන සියළුම අකුසල් අවබෝධයෙන් යුතුවම ප්‍රහාණය කළ සේක. වචනයෙන් සිදුවන සියලුම අකුසල් අවබෝධයෙන් යුතුවම ප්‍රහාණය කළ සේක. මිථ්‍යා ආජීවය බැහැර කොට සම්මා ආජීවයෙන් ජීවිතය ගත කළ සේක. සීලය පරිපූර්ණ කළ සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ සීලයෙන් යුතුව සියලු දෙව් මිනිසුන් හට මහා කරුණාවෙන් සීලය පිළිබඳව දේශනා කොට වදාළ සේක. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සීලය නිරතුරුවම මම ආරක්ෂා කරමි. සංසාර දුකින් මිදීම පිණිසම අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිය මා සංසාර දුකින් මිදීම පිණිසම අවබෝධයෙන් යුතුවම සිල් පද ආරක්ෂා කරමි.

මම සංසාර දුකින් මිදීම පිණිසම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම සියලු සතුන් කෙරෙහි මෙත් සිත පතුරවමි. ලොකු කුඩා කිසිම සතෙකුට දැන දැන කිසිම හිංසා පීඩාවක් නොකරමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා මා තුළ භය තැතිගැනීමක් නැත. අන් සියලු සත්වයෝ ද බියෙන් හා තැතිගැනීමෙන් වළකින්නේ ය. සුව සේ ජීවත් වන්නේ ය. මම සතුන් මැරීමෙන් වැළකී අන් සියලු දෙනා ද සතුන් මැරීමෙන් වැළකීමෙහි සමාදන් කරවමි. එහි ගුණ කියමි. මම සතුන් මැරීමෙන් වැළකීම නිසා ද අන් අය සමාදන් කරවීමෙන් ද ගුණ ප්‍රකාශ කිරීමෙන් ද අප්‍රමාණ සතුටක් ලබමි. ඒ සතුට මාගේ චිත්ත සමාධිය පිණිස මට උපකාර වන්නේ ය.

මම සංසාර දුකින් මිදීම පිණිසම සොරකමින් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම කිසිම තැනකදී, කිසිම අයුරකින් අනුන් සතු දෙයක් සොර සිතින්
නොගනිමි. ඉතා කුඩා වූ දෙයක් පවා සොර සිතින් ගැනීමෙන් වළකිමි. මා මෙන් ම අන් සියලු දෙනා ද තම තමන්ගේ ධනයට හා වස්තුවට ආශා කරති. මේ කිසිවෙකුගේ කිසිම දෙයක් සොර සිතින් හෝ වංචාවෙන් රවටා පැහැර නොගනිමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා…

මම සංසාර දුකින් මිදීම පිණිසම වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මෙම සිල් පද ආරක්ෂා කරමි. මම කිසිම අයුරකින් මාගේ බිරිඳ ඉක්මවා (ස්වාමියා ඉක්මවා) වැරදි කාම සේවනයේ නොයෙදෙමි. මම මාගේ බිරිඳ කෙරෙහි (ස්වාමියා කෙරෙහි) ඉතා විශ්වාසවන්ත ලෙස කටයුතු කරමි. මාගේ දරුවන් කෙරෙහි ද ඉතා විශ්වාසවන්ත ලෙස කටයුතු කරමි. පිරිසිදු චරිතයක් ඇත්තෙක් වෙමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා…

මම සංසාර දුකින් මිදීම පිණිසම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම කිසි තැනකදී, කිසිම අයුරකින් බොරුවෙන් අන් අය රැවටීම නොකරමි. බොරු කීමෙන් පීඩාවට පත් නොකරමි. සත්‍ය වූ වචනම කතා කරමි. සත්‍යයෙහි පිහිටා කතා කරමි. සියලු දෙනාට ඇසීමට ප්‍රිය වූ, මිහිරි වචනම කතා කරමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා…

මම සංසාර දුකින් මිදීම පිණිසම මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම සිහි නුවණ නැති කර දමන්නා වූ, ප්‍රමාදයට හේතු වන්නා වූ කිසිම ආකාරයක මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් වළකිමි. දුක පිණිස හෝ සතුට පිණිස හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වළකිමි. ධනය නැති කරන්නා වූ, ආරක්ෂාව නැති කරන්නා වූ, රෝග පීඩා ඇති කරන්නා වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුළුමනින්ම වළකිමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා…

බලවත් වීරියෙන් හා සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් මා ආරක්ෂා කරන මේ (පංච) ශීලය මාගේ සතුට පිණිසම හේතු වන්නේ ය. මාගේ මෙලොව පරලොව දියුණුව පිණිසම හේතු වන්නේ ය. සිහි නුවණ දියුණු වීම පිණිසම උපකාර වන්නේ ය. වීරිය පිණිසම උපකාර වන්නේ ය. සමාධිය දියුණු වීම පිණිසම උපකාර වන්නේ ය. චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම උපකාර වන්නේ ය. මාගේ මේ සීලය නිරතුරුවම ආරක්ෂා කර ගනිමි. මේ සීලානුස්සති භාවනාව සතුට පිණිසම, ප්‍රමෝදය පිණිසම, සමාධිය පිණිසම, චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිසම උපකාර වේවා!

(අටසිල්, දසසිල් සඳහා ද සුදුසු අයුරින් සකස් කරගන්න.)

උපුටා ගැනීම – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ‘සිතට සුවදෙන භාවනා’ ග්‍රන්ථයෙනි