ආයතන භාවනාව හඳුනාගනිමු.

ධම්මානුපස්සනාව යටතේ ඊ ළඟට බුදුරජාණන් වහන්සේ වදාළ භාවනාව ආයතන අනිත්‍ය භාවනාව යි. ආයතන කියා කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන හයට යි. මේ හය ඔස්සේ තමයි සම්පූර්ණයෙන් ම පටිච්චසමුප්පාදය හැදෙන්නෙත්, පංච උපාදානස්කන්ධය හැදෙන්නෙත්. බුදුරජාණන් වහන්සේ වදාළා යම් තැනක ඇසක් තියෙනවා ද කනක් තියෙනවා ද නාසයක් තියෙනවා ද දිවක් තියෙනවා ද කයක් තියෙනවා ද යම් තැනක මනසක් තියෙනවා ද එතැන දුක ඇත කියා. එමෙන් ම යම් තැනක ඇස, කන, නාසය, දිව, කය, මනස කියන හයේ උපතක් තිබේ ද එතැන තමයි දුකේ උපත. එතන තමයි ජරාජීර්ණ වීමේ උපත කියා පෙන්වා වදාළා.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මේ ආයතන හය අවබෝධ කළයුතු දුකටයි අයිති කියා. සතිපට්ඨාන සූත්‍රයේ දී බොහොම ලස්සනට පෙන්වා දෙනවා, ඇසත් දැනගන්නවා (චක්ඛුං ච පජානාති) රූපත් දැනගන්නවා (රූපේ ච පජානාති) ඒ ඇසත් රූපයත් මුල්කරගෙන සංයෝජනයක් හටගන්නවා නම් ඒකත් දැනගන්නවා (යං ච තදුභයං පටිච්ච උප්පජ්ජති සඤ්ඤෝජනං, තක්‍ද්ච පජානාති) ඒ වගේ ම නූපන් සංයෝජනයක් උපදිනවා ද ඒකත් දැනගන්නවා (යථා ච අනුප්පන්නස්ස සඤ්ඤෝජනස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති). මේ විදියට ආයතන භාවනාව ගැන අවබෝධයක් ඇතිකර ගන්නට නම්, මේ ආයතන භාවනාව ගැන හොඳ තේරුම් ගැනීමක් තියෙන්නට ඕනෑ.

ඇස රූපයට බැඳිල ද? රූපය ඇසට බැඳිල ද?

එක්තරා අවස්ථාවක මහා කොට්ඨිත මහරහතන් වහන්සේත්, සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර ධර්ම සාකච්ඡාවක් ඇති වුණා. මහා කොට්ඨිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මෙහෙම අහනවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, මේ ඇස රූපයට බැඳිලා තියෙන දෙයක් ද? එහෙම නැත්නම් රූප ඇසට බැඳිලා තියෙන දෙයක් ද? මේ කන ශබ්දයට බැඳිල තියෙන දෙයක් ද? එහෙම නැත්නම් ශබ්දය කනට බැඳිලා තියෙන දෙයක් ද? මේ නාසය ගඳ සුවඳට බැඳිලා තියෙන දෙයක් ද? එහෙම නැත්නම් ගඳ සුවඳ නාසයට බැඳිලා තියෙන දෙයක් ද? මේ දිව රසයට බැඳිලා තියෙන දෙයක් ද? එහෙම නැත්නම් රසය දිවට බැඳිලා තියෙන දෙයක් ද? මේ කය පහසට බැඳිලා තියෙන දෙයක් ද? එහෙම නැත්නම් පහස කයට බැඳිලා තියෙන දෙයක් ද? මේ මනස අරමුණුවලට බැඳිල ද තියෙන්නේ? අරමුණු මනසට බැඳිලා ද?” තියෙන්නේ? කියා ඇසුවා. මේ විදියට අහන්න හේතුව තමයි සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ මේ අභ්‍යන්තර ආයතන හය බාහිර ආයතන හයට බැඳිලා තියෙනවා කියලයි. නමුත් සැබෑවට ම මේවා එකිනෙකින් නිදහස්වයි පවතින්නේ.

මෙන්න ආයතන හයේ ඇත්ත…

සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා “ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිත, ඇස රූපයට බැඳිලත් නෑ. රූපය ඇසට බැඳිලත් නෑ. කන ශබ්දයට බැඳිලත් නෑ. ශබ්දය කනට බැඳිලත් නෑ. නාසය ගඳ සුවඳට බැඳිලත් නෑ. ගඳ සුවඳ නාසයට බැඳිලත් නෑ. දිව රසට බැඳිලත් නෑ, රසය දිවට බැඳිලත් නෑ. කය පහසට බැඳිලත් නෑ. පහස කයට බැඳිලත් නෑ. මනස අරමුණුවලට බැඳිලත් නෑ. අරමුණු මනසට බැඳිලත් නෑ. මෙතන තියෙන බන්ධනය තමයි ඡන්දරාගය (ආසාව).” ඒ වගේ ම සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා “බැරිවෙලාවත් මේ අභ්‍යන්තර ආයතන හය බාහිර ආයතන හයට බැඳිලා තිබුණා නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයෙන් නම් කවදාවත් නිදහස් වෙන්න හම්බවෙන්නේ නෑ” කියලා.

කළු හරකයි – සුදු හරකයි…

මේ කාරණය තේරුම් ගන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ලස්සන උපමාවක් වදාළා. කළු හරකෙකුයි, සුදු හරකෙකුයි කඹේකින් ගැටගහලා තියෙනවා. කඹෙන් ගැටගහලා අතහැරලා තියෙනකොට කළු හරකා යනකොට සුදු හරකත් යනවා. සුදු හරකා යනකොට කළු හරකත් යනවා. මේ විදියට කළු හරකයි, සුදු හරකයි එකට යන නිසා සුදු හරකගෙන් කළු හරකට වෙන් වෙන්නත් බෑ. කළු හරකගෙන් සුදු හරකට වෙන් වෙන්නත් බෑ. එතකොට මේ දිහා බලලා කෙනෙක් කිව්වොත් “කළු හරකා නිසයි සුදු හරකා යන්නේ. සුදු හරකා නිසයි කළු හරකා යන්නේ” කියා ඒක ඇත්ත නෙවෙයි. හරක් දෙන්න ම එකට යන්නේ කඹේ නිසා. කඹේකින් ගැට ගහලා තියෙන නිසා. යම් දවසක කඹේ කැපුවොත් සුදු හරකත් නිදහස්. කළු හරකත් නිදහස්. දෙන්නා වෙන වෙන ම යනවා.

අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඇස රූපයට බැඳිලත් නෑ. රූපය ඇසට බැඳිලත් නෑ. ඇසයි රූපයයි එකට බැඳිලා තියෙන්නේ ආසාව නිසා. කන ශබ්දයට බැඳිලත් නෑ. ශබ්දය කනට බැඳිලත් නෑ. කනයි ශබ්දයයි එකට බැඳිලා තියෙන්නේ ආසාව නිසා. නාසය ගඳ සුවඳට බැඳිලත් නෑ. ගඳ සුවඳ නාසයට බැඳිලත් නෑ. නාසයයි ගඳ සුවඳයි එකට බැඳිලා තියෙන්නේ ආසාව නිසා. දිව රසයට බැඳිලත් නෑ. රසය දිවට බැඳිලත් නෑ. දිවයි රසයයි එකට බැඳිලා තියෙන්නේ ආසාව නිසා. කය පහසට බැඳිලත් නෑ. පහස කයට බැඳිලත් නෑ. කයයි පහසයි එකට බැඳිලා තියෙන්නේ ආසාව නිසා. මනස අරමුණුවලට බැඳිලත් නෑ. අරමුණු මනසට බැඳිලත් නෑ. මනසයි අරමුණුයි එකට බැඳිලා තියෙන්නේ ආසාව නිසා. ආසාව ප්‍රහාණය කළ දවසට ඒ බන්ධනය නැතිවෙලා යනවා. ඒ නිසා අනිත්‍ය භාවනාව වඩමින් ආයතනයන්ගේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කළ යුතුයි.

ආයතන හයේ අනිත්‍ය දකින්නේ මෙහෙමයි…

එතකොට මේ විදිහට ආසාවෙන් බැඳිලා ඉන්න කෙනා, තමන්ගේ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වයට සිහිය පිහිටුවා හොඳ සිහි නුවණින් බැලිය යුතු වෙනවා. එහෙම බලනකොට ශ්‍රාවකයාට පේන්නේ අනිත්‍ය වූ ඇහැක්. ඇස කියන්නේ නාම – රූප ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්, ඒ කියන්නේ සතර මහා ධාතු කියන රූප කොටසිනුත්, වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර කියන නාම කොටසිනුත් කියන නාමරූපයන්ගෙන් තමයි ඇස හට අරගෙන තියෙන්නේ. කන, නාසය, දිව, කය, මනස කියන අනිකුත් ආයතනත් නාමරූපවලින් තමයි හට අරගෙන තියෙන්නේ (නාම රූප පච්චයා සළායතනං). මේ නාමරූප ප්‍රත්‍යයෙන් හටගත්තු ආයතන හය ගැන හොඳ සිහි නුවණින් බලද්දී ශ්‍රාවකයා දකින්නේ අනිත්‍ය වූ ඇසක්. අනිත්‍ය වූ කනක්, අනිත්‍ය වූ නාසයක්, අනිත්‍ය වූ දිවක්, අනිත්‍ය වූ කයක්, අනිත්‍ය වූ මනසක්.

මෙන්න මේ විදියට අවබෝධ වෙන්න ඕනෑ…

ඒකට හේතුව තමයි මේ නාමරූප අනිත්‍ය නිසා ආයතන හය අනිත්‍යයි. මේ ගැන නුවණින් විමසනකොට ශ්‍රාවකයා අන්න ඒ විදිහට අවබෝධ කර ගන්නවා. ඒ වගේ ම රූප ගැනත් දැන ගත යුතුයි. අනිත්‍ය වූ ශබ්ද, අනිත්‍ය වූ ගඳ සුවඳ, අනිත්‍ය වූ රස, අනිත්‍ය වූ පහස, අනිත්‍ය වූ අරමුණු ගැනත් සිහි නුවණින් විමසා අනිත්‍ය වශයෙන් අවබෝධ කර ගත යුතුයි. මෙන්න මේ විදිහට දැනගන්නකොට අනිත්‍ය වූ ඇසත්, අනිත්‍ය වූ රූපත් නිසා යම් බන්ධනයක් හටගන්නවා ද අන්න ඒක අවබෝධ කර ගන්නවා. ඒ ආකාරයෙන් ම අනිත්‍ය වූ ආයතන හය ම අවබෝධ කර ගන්නවා.

මුලින් ම ඇතිකර ගන්න ඕනෑ ශ්‍රද්ධාවයි…

බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනා එකතුවක් තියෙනවා ඔක්කන්ති සංයුත්තය කියලා. ඔක්කන්ති කියන්නේ බැසගන්නවා. ධර්මය තුළට බැසගන්නවා කියන අර්ථය. ධර්මය හෙවත් නිවන් මඟට (ආර්ය අෂ්ටාංගික මාර්ගයට) බැසගන්නට නම් මුලින් ම වුවමනයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතිව නම් කවදාවත් ඒක කරන්නට බැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගන්න කොට ඔබට ශ්‍රද්ධාව ඇතිවෙලා විශ්වාසයක් ඇතිවෙනවා, ඇත්ත තමයි, මේ නාමරූපයන්ගෙන් හටගත්තු ඇස අනිත්‍ය දෙයක් ම යි. නාමරූපයන්ගෙන් හටගත්තු කන අනිත්‍ය දෙයක් ම යි. නාමරූපයන්ගෙන් හටගත්තු නාසය අනිත්‍ය දෙයක් ම යි. නාමරූපයන්ගෙන් හටගත්තු දිව අනිත්‍ය දෙයක් ම යි. නාමරූපයන්ගෙන් හටගත්තු කය අනිත්‍ය දෙයක් ම යි. නාමරූපයන්ගෙන් හටගත්තු මනස අනිත්‍ය දෙයක් ම යි කියා ඔබ ශ්‍රද්ධාවෙන් අදහා ගන්නවා. ඒ වගේ ම බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු අනිත්‍යයි කියලත් ශ්‍රද්ධාවෙන් අදහා ගන්නවා.

විඤ්ඤාණයත් අනිත්‍යයි…

මේ ඇසේ, කනේ, දිවේ, කයේ, මනසේ, හටගන්නවා විඤ්ඤාණය. මේ විඤ්ඤාණය අනිත්‍යයි කියා ශ්‍රාවකයා ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා. ඒ වගේ ම ඇහැයි, රූපයයි, විඤ්ඤාණය යි එකතුවීම (ඇසේ ස්පර්ශය) කනයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතුවීම (කනේ ස්පර්ශය) නාසයයි, ගඳ සුවඳයි, විඤ්ඤාණයයි එකතුවීම (නාසයේ ස්පර්ශය) දිවයි, රසයයි, විඤ්ඤාණයයි එකතුවීම (දිවේ ස්පර්ශය) කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතුවීම (කයේ ස්පර්ශය) මනසයි, අරමුණුයි, විඤ්ඤාණයයි එකතුවීම (මනසේ ස්පර්ශය) අනිත්‍යයි කියා ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා.

විඳීමත් අනිත්‍යයි, හඳුනාගැනීම, චේතනා පහළවීමත් අනිත්‍යයි…

ඒ විදිහට ශ්‍රද්ධාව පිහිටුවාගෙන තවදුරටත් නුවණින් විමසනවා. මේ ස්පර්ශයෙන් හටගන්න (සැප, දුක්, උපේක්ෂා) විඳීමත් අනිත්‍යයි කියලා. තවදුරටත් විමසනවා මේ ස්පර්ශයෙන් හටගන්නා රූප හඳුනාගැනීම, ශබ්ද හඳුනාගැනීම, ගඳ සුවඳ හඳුනාගැනීම, රස හඳුනාගැනීම, පහස හඳුනාගැනීම, අරමුණු හඳුනාගැනීමත් අනිත්‍යයි කියා ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා. ඒ වගේ ම හඳුනාගන්නා රූපයට අනුව චේතනා පහළවීම, හඳුනාගන්නා ගඳ සුවඳට අනුව චේතනා පහළවීම, හඳුනාගන්නා රසයට අනුව චේතනා පහළවීම, හඳුනාගන්නා පහසට අනුව චේතනා පහළවීම, මනසින් හඳුනාගන්නා අරමුණුවලට අනුව චේතනා පහළවීම අනිත්‍යයි කියා ශ්‍රද්ධාව පිහිටුවාගන්නවා.

ආශාවත් අනිත්‍යයි…

ඊ ළඟට රූප කෙරෙහි, ශබ්ද කෙරෙහි, ගඳ සුවඳ කෙරෙහි, රසය කෙරෙහි, පහස කෙරෙහි, අරමුණු කෙරෙහි, හිතේ ඇතිවන ආශාවත් අනිත්‍යයි කියා ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා. මේ අනිත්‍ය වූ දේවල් අනිත්‍යයි කියා ධර්මයට අනුව සිතා ශ්‍රද්ධාව පිහිටුවාගත්තු ශ්‍රාවකයාට ශ්‍රද්ධානුසාරී කියා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයා ශ්‍රද්ධාව මුල්කරගෙන තවදුරටත් විදර්ශනා ප්‍රඥාව තුළ බැස ගන්නට මහන්සි ගන්නවා කියා. ඒ ධම්මානුසාරී ශ්‍රාවකයා තවදුරටත් ධර්ම මාර්ගය දියුණු කරනවා. ඒ ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී, කියන ශ්‍රාවකයන් දෙන්නා ම අයිති වෙන්නේ සෝවාන් මාර්ගය වඩන ශ්‍රාවකයන්ටයි.

බුදු සසුනේ සනාතන රැකවරණය ලැබූ ශ්‍රාවකයා…

මේ සෝවාන් මාර්ගය වඩන ශ්‍රාවකයාට, ධර්ම මාර්ගය දිගට ම දියුණු කරගෙන ගියොත් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා. යම් දවසක ධර්මය දියුණුවීම තුළ, විදර්ශනා ප්‍රඥාව දියුණුවීම තුළ, අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් ම අවබෝධ වීම තුළ, මේ සියල්ල ම හේතු නිසා හටගන්නා ඵල ධර්මයන් හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයෙන් යුක්තයි කියා වටහා ගන්නවා (යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං). අන්න ඒ ශ්‍රාවකයාට කියනවා සම්මා දිට්ඨියට පැමිණි, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි, ආර්ය දර්ශනයෙන් සමන්විත වූ ශ්‍රාවකයා කියා. අමා නිවන් දොරේ හැපී සිටින ශ්‍රාවකයා කියා.

බැඳෙන්නේ නැතිව යනවා…

මේ විදිහට ශ්‍රාවකත්වය දියුණු කර ගන්න ලැබෙන්නේ සතිපට්ඨානයේ (ධම්මානුපස්සනාවේ) සිහිය පිහිටුවා ගැනීම තුළිනුයි. ආයතන භාවනාව තුළ මනාකොට සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනාට හොඳින් ඉන්ද්‍රිය සංවරයත් ඇතිවෙනවා. මොකද මේ හැම ආයතනයක්මත්, බාහිර අරමුණුත් අනිත්‍යයි කියා නුවණින් විමසා බලද්දී තමයි මේවාට බැඳෙන්නේ නැත්තේ. බැඳුනොත් බැඳිච්ච ගමන් පට්ච්චසමුප්පාදය හැදෙනවා. හැදෙන්නේ කොයි ආකාරයට ද? ආයතන හය නිසා ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය නිසා විඳීම ඇතිවෙනවා. විඳීම නිසා ඇලීම ඇතිවෙනවා. ඇලීම නිසා බැඳෙනවා. බැඳෙන නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. විපාක පිණිස කර්ම හැදෙන නිසා උපදිනවා. ධර්මයට අනුව නුවණින් විමසන ශ්‍රාවකයා, මේ විදිහට පට්ච්චසමුප්පාදය ආයතන තුළින් හැදෙන හැටි අවබෝධ කර ගන්නවා. අන්න ඒ නිසා ඒ බන්ධනය ඇතිනොවීම පිණිස, සංයෝජනය ඇති නොවීම පිණිස, කෙලෙස් ඇති නොවීම පිණිස, මනාකොට සිහිය පිහිටුවලා එය විදර්ශනා වශයෙන් වඩනවා.

තමා තුළත් – අනුන් තුළත් තියෙන්නේ අනිත්‍යයක්…

තමා තුළ තියෙනවා නම් යම් ආකාරයේ අනිත්‍ය වූ ආයතන හයක්, තමාගෙන් බාහිර යම්තාක් ජනතාවක් ඇද්ද, යම්තාක් බාහිර සත්ව කොට්ඨාසයක් ඇද්ද, ඒ සියලු ම සත්වයන් තුළ ඇත්තේ අනිත්‍ය වූ ආයතන හයක්. ඊ ළඟට තමාගෙන් බාහිර යම්තාක් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ඇද්ද ඒ සියල්ල අනිත්‍ය වූ දේවල් ය කියා තමා තුළත් අනුන් තුළත් අනිත්‍ය දකිනවා. එතකොට තමා තුළත් සිත පිහිටන්නේ නෑ. තමාගෙන් බාහිරවත් සිත පිහිටන්නේ නෑ. අන්න එහෙම නුවණින් විමසන කොට, බුදුරජාණන් වහන්සේ කියාදීපු පිළිවෙළට අපේ චින්තනය හසුරුවන විටයි මේ බන්ධනය ප්‍රහාණය වන්නේ.

නැත්නම් නිවනින් ඈත්වෙනවා…

නැත්නම් වෙන්නේ බැඳෙන එකයි. රූපයක් දැකලා සිහි මුළාවෙනවා (රූපං දිස්වා සතිමුට්ඨා). ප්‍රිය අරමුණු සිහිකරන්න පටන් ගන්නවා (පිය නිමිත්තං මනසිකරතෝ). ඇලුනු සිතින් විඳිනවා (සාරත්තචිත්තෝ වේදේති). එතකොට ඒකේ සිත බැස ගන්නවා (තඤ්ච අජ්ඣෝසාය තිට්ඨති). රූපයෙන් හටගත්ත නොයෙක් විඳීම් හටගන්නවා. ආසාවත් වෙහෙසත් විසින් මේ සිත පෙළන්නට ගන්නවා. ඔන්න ඔය විදිහට දුක රැස්කරද්දී නිවනින් ඈත් වුණා කියනවා (ආරා නිබ්බානන්ති වුච්චති). අනිත් කන ආදි ආයතන ගැනත් එහෙමයි. එහෙනම් මේ සාමාන්‍ය ජීවන රටාව තුළ තියෙන්නේ නිවනට ළං වෙන එකක් නෙවෙයි. නිවනින් බැහැර වෙන එකක්. නිවනට අයිති නැති දෙයක් තමයි මේ සාමාන්‍ය ජීවිතය තුළ හැදෙන්නේ. ඒ නිසා මේ ජීවිතයක් තුළ හැදෙන දේට ඉඩ දීලා, දුක් නැති ජීවිතයක් බලාපොරොත්තු වීම සිහිනයක් පමණයි. එම නිසා මේ ජීවිතය අවබෝධ කරගෙන දුකින් නිදහස් වීමට කැමති කෙනා පැහැදිලිව ම මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන අනිත්‍ය වශයෙන් වැඩීම පිණිස සිහිය පිහිටුවා ගත යුතු ම යි.

සියල්ලෙන් ම නිදහස් වෙන්න…

මේ ආයතන හය ගැන මනාකොට සිහිය පිහිටුවා ගැනීමේ දී ශ්‍රාවකයා දකින්නේ අනිත්‍ය වූ ආයතන හයක්. ඇතිවීම නැතිවීම දකින නිසා ඒවා කිසිවක් මම කියා ගන්නේ නෑ. මගේ කියා ගන්නේ නෑ. මගේ ආත්මය කියා සලකන්නේ නෑ. මේකෙන් නිදහස් වීමක් ම යි සකස් කර ගන්නේ. ඒ නිසා ශ්‍රාවකයා ඇසින් නිදහස් වෙනවා. කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් නිදහස් වෙනවා. මෙලොවෙන් නිදහස් වෙනවා. පරලොවෙන් නිදහස් වෙනවා. සියලු ම දෙයින් නිදහස් වෙනවා. අන්න ඒ ශ්‍රාවකයා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන් ම අවබෝධ කර ගත්ත රහතන් වහන්සේනමක් බවට පත්වන්නේ. එම නිසා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් අපිත් මෙම අනිත්‍ය ආයතන භාවනාව පුරුදු පුහුණු කර ගනිමු.

ආයතන අනිත්‍ය භාවනාව >>

(මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)