අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකයා නොඇසූ විරූ අසිරිමත් තොරතුරු සිව්වනක් ශ්‍රාවක පිරිස වෙත හෙළිදරව් කළ සේක. සුත්ත නිපාතය නම් ග්‍රන්ථ රත්නයේ ‘ඛග්ගවිසාණ සූත්‍රය’ මඟින් පසේ බුදුවරුන් පිළිබඳ ව සුන්දර විස්තරයක් භාග්‍යවතුන් වහන්සේ විසින් පහදා දුන් සේක. ‘ඛග්ගවිසාණ’ යන්නෙහි තේරුම කඟවේණ අඟ ය. කඟවේණා හිමාල වන අඩවියේ විසූ අශ්වයෙකු වැනි සතෙකි. කඟවේණාගේ නළලෙන් අඟක් උඩට මතු වී ඇත. එය තනි අඟකි. වෙනත් කිසිවක් හා සම්බන්ධ නොවූ අඟකි. පසේබුදුරජාණන් වහන්සේලාගේ ජීවිත ද එබඳු ය.

අත්‍යන්ත හුදෙකලාවේ වාසය කිරීම උන්වහන්සේලාගේ ස්වභාවය යි.

පසේබුදුරජාණන් වහන්සේලාට ශ්‍රාවක ජනයා නැත. උන්වහන්සේලා ධර්ම දේශනා නොකරති. ශ්‍රාවක ජනයා පිරිවරා චාරිකාවේ නොවඩිති. සම්බුදුවරුන් මෙන් චතුරාර්ය සත්‍යය දෙව් මිනිස් ලෝකයාට ඉස්මතු නොකරති. හිමාලයේ ගන්ධමාදන පර්වතයෙහි ‘මඤ්ජූසක’ වෘක්ෂය සෙවණේ විමුක්ති සුව විඳිමින් බවුන් වඩන උන්වහන්සේලා ගමට වඩින්නේ පිණ්ඩපාතය සඳහා පමණි.

පසේබුදුවරු පහළ වන්නේ සම්මා සම්බුදු යුගයකට ආසන්නයේ දී පමණි. යළිත් පසේබුදුවරුන්ගේ යුගයක් ලොව උදාවෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වීමට ආසන්නයේ දී ය. එතෙක් සිදුවන්නේ ඒ ඒ පාරමී ධර්මයන්ගේ සම්පූර්ණත්වය ඇති වීම යි. සසර පුරා අනේක ආත්ම භාවයන්හි ජීවිතාවබෝධය වෙනුවෙන් කරන ලද පිනෙන් සකස් වූ ඒ පසේබුදුවරුන්ගේ ජීවිත ගැන අපට දැන ගත හැක්කේ සම්බුද්ධ දේශනා තුළින් ම යි. ඛග්ගවිසාණ සූත්‍රයත්, එහි අටුවාවත් විස්තර කරමින් අප ගුරුදේවයන් වහන්සේ විසින් රචිත ‘අසිරිමත් පසේබුදු පෙළහර’ නම් ග්‍රන්ථය කියවීමෙන් බොහෝ කරුණු ඒ පිළිබඳ ව දැනගත හැකියි.