(ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ) භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මනාකොට දෙසූ දෙයක්. (සන්දිට්ඨිකෝ) මේ ජීවිතයේ දැකිය හැකි දෙයක්. (අකාලිකෝ) කල් නො යවා විපාක දෙන දෙයක්. (ඒහිපස්සිකෝ) ඕනෑම කෙනෙකුට විමසා බලන්නැයි කිව හැකි විවෘත දෙයක්. (ඕපනයිකෝ) තමා තුළට පමුණුවා ගත යුතු දෙයක්. (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී) බුද්ධිමත් මනුෂ්‍යයන් තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට සාක්ෂාත් කරනවා.

(කතමේ ච භික්ඛවේ ධම්මා මයා අභිඤ්ඤා දේසිතා) බුදුරජාණන් වහන්සේ වදාළා මා විසින් විශිෂ්ට වූ ප්‍රඥාවෙන් යුතුව ඔබට දේශනා කළේ කවර ධර්මයක් ද? (යේ වෝ සාධුකං උග්ගහෙත්වා) ඒ ධර්මය මනාකොට ඉගෙන ගෙන (ආසේවිතබ්බා) එය පුහුණු කළ යුතුයි. (භාවේතබ්බා) වැඩිය යුතුයි. (බහුලීකාතබ්බා) බහුල වශයෙන් ප්‍රගුණ කළ යුතුයි. (යථයිදං බ්‍රහ්මචරියං අස්ස චිරට්ඨිතිකං) එතකොටයි මේ බුද්ධ ශාසනය බොහෝ කල් පවතින්නේ. (තදස්ස බහුජන හිතාය) ඒ ධර්මය තමයි බොහෝ ජනයාට හිතසුව පිණිස පවතින්නේ. (බහුජන සුඛාය) බොහෝ ජනයාට සැපය පිණිස පවතින්නේ. (ලෝකානුකම්පාය) ලෝකයට අනුකම්පාව පිණිස පවතින්නේ. (අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං) දෙව් මිනිසුන්ට හිතසුව පිණිස පවතින්නේ.

(සෙය්‍යථීදං) ඒ කවර ධර්මයක් ද යත්, (චත්තාරෝ සතිපට්ඨානා) සතර සතිපට්ඨානය ය. (චත්තාරෝ සම්මප්පධානා) සතර සම්‍යක් පධාන වීරිය ය. (චත්තාරෝ ඉද්ධිපාදා) සතර ඍද්ධිපාද ය. (පංච ඉන්ද්‍රියානි) පංච ඉන්ද්‍රිය ය. (පංච බලානි) පංච බල ධර්මයන් ය. (සත්ත බොජ්ඣංගෝ) සප්ත බොජ්ඣංගයන් ය. (අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ) ආර්ය අෂ්ටාංගික මාර්ගය ය.

බුදුරජාණන් වහන්සේ වදාළා මෙයයි මහණෙනි, මා විසින් අවබෝධයෙන් යුතුව ඔබට දෙසූ ධර්මය කියලා. ඒ නිසා ඒ ධර්මයන් පුරුදු පුහුණු කරගැනීමෙන් තමයි ජීවිතයට යහපත සලසාගන්න පුළුවන්කම ලැබෙන්නේ.