එම මව්තුමිය අසල්වැසියන්ට හා සතුන්ට කරුණාව දක්වමින් උපකාර කරමින් පින් රැස්කර ගැනීම ඉතා හොඳයි. එමෙන් ම මෙත් සිතින් කල් ගත කිරීමත් ඉතා වටිනවා. නමුත් ධර්මාවබෝධය පිණිස එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ සඳහා සීල සමාධි ප්‍රඥා වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ සක්විති රජතුමා ගැන පෙන්වා දී ඇත්තේ මෙලෙසයි. සසරේ රැස්කළ පින් නිසා සක්විති රජතුමා දෙතිස් මහා පුරිස ලකුණින් යුතුව ඉපදී රත්න හතක් හා ආශ්චර්යවත් කරුණු 4ක් ඇතිව මුළු පෘථිවියට ම ධර්මානුකූල ව රජ වෙනවා. තමන් දස සක්විති වත් පුරමින් සියලු දෙනා පංචසීලයෙහි පිහිටුවනවා. මුළු ලෝකය ම ආර්ථික අතින් සමෘද්ධිමත් කොට සතා සිවුපාවුන්ට පවා කරුණාවෙන් සලකනවා. රැස්කර ගත් මහා පින් බලයෙන් යුතුව දෙව්ලොවත් උපදිනවා. නමුත් බුද්ධ ශාසනයක් තුළ සීල සමාධි ප්‍රඥා වඩන්නට නො හැකි වුවහොත් රැස් කළ පින අවසන් වී දෙව්ලොවින් චුතවූ පසු නිරය, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායේ පවා උපතක් කරා යන්නට පුළුවන්. එවිට යළිත් සසර දුකට ම වැටෙනවා.

එම නිසා ඔබේ මව්තුමිය කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේනමකට මුණගස්වා දහම් කරුණු වටහා දෙන්න. උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් සිල් සමාදන් වීමේ වටිනාකම සඳහන් ‘විශාඛා උපෝසථ සූත්‍රය’ ඇතුළත් සදහම් පොත කියවීමට දෙන්න. කල්‍යාණ මිත්‍ර ඇසුරේත්, සද්ධර්ම ශ්‍රවණයේත් ආනිශංස සඳහන් කොට සේඛ බල ඇතිකර ගැනීමට උපකාර කරමින් සැබෑ ලෙස ම මවට කළගුණ සලකන්න උත්සාහ කරන්න.