භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට ධර්මයේ හැසිරීම තුළ, ගිහි ජීවිතයක් ගතකරමින් වුව ද සුගතිගාමී වීමටත්, මාර්ගඵල අවබෝධ කර ගැනීමටත් හැකියාව ඇත. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේ දී සැවැත්නුවර කෝටි හතක පමණ ජනතාවක් වාසය කළ අතර ඉන් කෝටි 05ක් ම මගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් විය. එම නිසා බාහිරින් ලැබෙන වටිනා ම උපකාරය වූ කල්‍යාණ මිත්‍ර සේවනයත්, ධර්මානුධර්ම ප්‍රතිපදාවත් ඇතිකර ගැනීමෙන් මතු ජීවිතය සුගතිගාමී කර ගැනීමටත්, මාර්ගඵල අවබෝධ කර ගැනීමටත් මග විවර කර ගත හැකි ය. එහි දී තෙරුවන් කෙරෙහි ගුණ වශයෙන් තේරුම්ගෙන සිත පහදවා ගැනීම හෙවත් ශ්‍රද්ධා සම්පත්තියත්, ජීවිතය සිල්වත් කර ගැනීම හෙවත් සීල සම්පත්තියත්, ශ්‍රී සද්ධර්මය හදාරා සුත සම්පත්තියත්, පරිත්‍යාගශීලී බව හුරුකරමින් චාග සම්පත්තියත්, ධර්මයට අනුව නුවණින් මෙනෙහි කරමින් ප්‍රඥා සම්පත්තියත් යන සේඛ බල ධර්මයන් ඇතිකර ගත යුතුය.

විශේෂයෙන් ම විවාහ ජීවිතයක දී ස්වාමියා සහ බිරිඳ යන දෙදෙනා තුළ ම මේ සේඛ බල ධර්මයන් ඇතිකර ගැනීම සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට ද ලෞකික ජීවිතය යහපත් කර ගැනීමට ද ආධ්‍යාත්මික දියුණුවට ද අවශ්‍ය ම වේ. එවැනි ගුණ සම්පන්න විවාහ ජීවිතයක් භාග්‍යවතුන් වහන්සේ අර්ථ දක්වා ඇත්තේ “දෙවි කෙනෙකු දිව්‍යාංගනාවක් සමගින් වාසය කරනවා” යනුවෙනි. එහි දී සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දෙන ආකාරයට පහත සඳහන් අයුරින් එකිනෙකාට යුතුකම් ඉටු කිරීම ද ඉතා වැදගත් ය.

සැමියා විසින් බිරිඳට ඉටු කළ යුතු යුතුකම්.

■ බිරිඳට ගෞරවනීය ලෙස කථාබහ කළ යුතු ය.
■ අවමන් කොට කථා නොකළ යුතු ය.
■ සිය බිරිඳ ඉක්මවා වෙනත් ස්ත්‍රීන් කරා නොයා යුතු ය.
■ නිවසෙහි වැඩ කටයුතුවල දී සිය බිරිඳට ප්‍රධානත්වය දිය යුතු ය.
■ තමාට ශක්ති පමණින් ඇඳුම් පැලඳුම් ආදිය මිලට ගෙන බිරිඳට තෑගි කළ යුතු ය.

බිරිඳ විසින් සැමියාට ඉටු කළ යුතු යුතුකම්.

■ කලට වේලාවට ආහාර පාන සකස් කර දිය යුතු ය.
■ ස්වාමියාගේ සේවකකාරකාදීන්ට යහපත් ව සැලකිය යුතු ය.
■ සිය සැමියා ඉක්මවා වෙනත් පුරුෂයන් කරා නොයා යුතු ය.
■ සිය සැමියා රැස්කරන ධනය ආරක්ෂා කළ යුතු ය.
■ සියලු කටයුතුවල දී කම්මැලි නැතිව දක්ෂ විය යුතු ය.