සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුක්තයේ දී හා සරකානි සූත්‍රය වැනි දේශනාවල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට, සෝතාපන්න මාර්ගයේ ගමන් කරන සද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රාවකයන් තුළත් ශ්‍රද්ධා ආදි ඉන්ද්‍රිය ධර්මයන් උපදිනවා. එහි දී ධම්මානුසාරී ශ්‍රාවකයා තුළ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් ඇති අතර ම ප්‍රඥාවෙන් ධර්මය යම්තාක් දුරට තේරුම්ගෙන ඇති බව ද භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. සද්ධානුසාරී ශ්‍රාවකයා තුළත් එම ඉන්ද්‍රිය ධර්මයන් ඇති අතර, ඔහු ප්‍රඥාවෙන් ධර්මය තේරුම් ගත් බවක් සඳහන් වෙන්නේ නෑ. ඔහු ගැන සඳහන් කරන්නේ සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇති බවකි (සද්ධා මත්තං පේම මත්තං). යමෙක් අඩුම ගණනේ සද්ධානුසාරී බවටවත් පත්වී නැත්නම් ඔහු තුළ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් අල්පමාත්‍ර වශයෙන්වත් පිහිටන්නේ නෑ. ඔහු මේ සසුනෙන් බැහැර පෘථග්ජන පක්ෂයේ සිටින කෙනෙක් ලෙසයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ. එමෙන් ම සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයන් දෙදෙනා ම දස සංයෝජන ධර්මයන්ගෙන් යුක්ත වන අතර දුගතිගාමී රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කොට නොමැති නිසා සතර අපායෙන් සම්පූර්ණයෙන් ම නිදහස් වී නැහැ. නමුත් සතර අපායෙන් නිදහස් වන මාවතට පැමිණ තිබෙනවා. එනමුත් සෝතාපන්න ශ්‍රාවකයා තුළ යළි නො පිරිහෙන ලෙස සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්මයන් ස්ථාවරව පිහිටා ඇති අතර සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්මයන් ද දුගතිගාමී රාග, ද්වේෂ, මෝහ ද ප්‍රහාණය කොට තිබෙනවා. සතර අපා උපතින් සම්පූර්ණයෙන් ම නිදහස් වී ඒකාන්තයෙන් ම නිවන අවබෝධ කරන ශ්‍රාවකයන් බවට පත්වෙනවා (නියතෝ සම්බෝධිපරායනෝ). සෝතාපන්න ශ්‍රාවකයා තුළ තෙරුවන් කෙරෙහි කිසිවෙකුට නොසෙල්විය හැකි අචල ප්‍රසාදයක් ද ආර්යකාන්ත සීලය ද පිහිටන අතර, පටිච්ච සමුප්පාදය ද ප්‍රඥාවෙන් අවබෝධ කොට ඇති බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.