තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයන් වශයෙන් ගිහි – පැවිදි අපි කවුරුත් සීලය ආරක්ෂා කළයුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස උපකාරීවන මාර්ග අංගයක් වශයෙනුයි. එවිට එම ආර්යකාන්ත සීලය සමථ විදර්ශනා වැඩීම පිණිස කායික වාචසික සංවරභාවයත් සම්මා ආජීවයත් ඇතිකර දෙනවා. එසේ ධර්මාවබෝධය ඉලක්ක කර නොගෙන සමහරු හුදු පංචකාම සම්පත්තිය පිණිස ම සිල් රකින බවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. උදාහරණයක් ලෙස සමහරුන් සිල් රකින්නේ බ්‍රහ්ම ආදී උසස් යයි සම්මත භවයක ඉපදීම පිණිසයි. තවත් සමහරුන් සිල් රකින්නේ සක්විති රජෙකු වීමේ අපේක්ෂාවෙනුයි.

බොහෝ දෙනෙක් දිව්‍ය සැප සම්පත් විඳීමේ අපේක්ෂාවෙන් සිල් රකින බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ අයුරින් පංචකාම සම්පත්තිය වින්දනය කිරීමේ අපේක්ෂාවෙන් පමණක් සිල් ආරක්ෂා කරද්දී, ඒ වගේම කීර්ති ප්‍රශංසා ලබන අදහසින් සිල් රකිද්දී ඔහු තණ්හාවට වසඟවයි, තණ්හාවේ දාස ස්වභාවයට පත්වෙලයි එය සිදු කරන්නේ. එසේ නොමැතිව ධර්මාවබෝධය ලබනු පිණිස යි අප සීලය මනාකොට ආරක්ෂා කළ යුත්තේ.