දවසක් මල්ලිකා බිසව බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කැත වෙන්නේ ඇයි කියලා. එහෙනම් අපි ඒක ඉස්සෙල්ලා ම සැලකිල්ලට ගන්න ඕන. අපි සියලු දෙනා ම අකමැති එකක් තමයි කැතවීම. උන්වහන්සේ වදාළා චුට්ටක් කිව්වත් ගොඩක් බණිනවා නම්, හොස්ස ළඟින් මැස්ස යන්න බැරි නම්, නපුරු නම්, නිතර නපුරු විදිහට අනුන්ට බැණ බැණ ඉන්නවා නම් උපනූපන් ආත්මවල අවලස්සන වෙනවා. බලන්න අප්පිරියයි.

ඊළඟට මල්ලිකා බිසව බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ලස්සන වෙන්නේ කොහොම ද? ගොඩක් බැන්නත් නිශ්ශබ්ද ව ඉන්නවා තරහා ගන්නේ නැතුව. එතකොට කොහොමත් ටිකක් බැන්නට තරහවෙන්නෙ නැහැනෙ. එතකොට ඇඟේ හැප්පීගෙන ගියත් හිනහා වෙනවා. නපුරු සිතින් තොරව වාසය කිරීමෙන් උපනූපන් ආත්මවල සුන්දර වීමේ පින් රැස් වෙනවා.

ඒ වගේ ම ඒ මල්ලිකා සූත්‍රයේ තවත් කරුණු කීපයක් සඳහන් වෙනවා. ඒවාත් දැනගෙන සිටීම ප්‍රයෝජනවත්. මල්ලිකා බිසව ඊ ළඟට ඇහුවා කිසිම පිළිගැනීමක් නැති කෙනෙක් බවට පත්වෙන්නේ ඇයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා ඊට හේතුව සසරේ ඊර්ෂ්‍යා කිරීම බවයි. අන් අයගේ දියුණුව දෙස බලා ඒවාට කෙනෙහෙලිකම් කිරීම. ඊර්ෂ්‍යාවෙන් අනුන්ගේ ගුණ මැකීම. ඒ නිසා එයාට සසරේ උපනූපන් ආත්මවල කිසිම පිළිගැනීමක්
ලැබෙන්නේ නැහැ.

ඊළඟට මල්ලිකා බිසව විමසා සිටියා සසරේ පිළිගැනීම ඇතිවෙන්නේ කොහොම ද කියලා. ඊර්ෂ්‍යා නො කිරීම, අනුන්ගේ ගුණ දැක සතුටුවීම. අනුන්ගේ සැපත දැක සතුටු වීම නම් වූ මුදිතාව ඇතිකරගැනීම තමයි පිළිගැනීමක් ඇති කෙනෙක් බවට පත්වීමට හේතුව. එනම් ඉහළ සමාජ තත්ත්වයක් හිමිවෙනවා. ඊළඟට මල්ලිකා බිසව ඇහුවේ දිළිඳුබව, දුප්පත්බව ඇතිවන්නේ මක්නිසා ද කියලයි. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ දන් නො දුන් නිසා බවයි.

ධනය ලැබෙන්නේ කුමක් නිසා ද කියලා මල්ලිකා බිසව ඇසූ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන්නේ මේ විදිහටයි. දන් දුන් නිසා බවයි.

මේ විදිහට කර්මය සහ විපාකවල රටාව බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ ‘යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං’ කියලයි. ඒ කියන්නේ බිජු වපුරන්නේ යම් අයුරින් ද, ඵල නෙළන්නේ ද ඒ අයුරිනි කියලයි. ඒක ලෝකයේ තියෙන ධර්මතාවයක්.