භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් ධර්ම-විනය දේශනා කළ යුත්තේත්, හැදෑරිය යුත්තේත් ශාස්තෘ ගෞරවයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් පසක් කොට දේශනා කළ අයුරිනි. තුන්වෙනි සහ හතරවෙනි ධ්‍යාන මට්ටම් ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ පහත ආකාරයෙන් ය.

“ප්‍රීතිය කෙරෙහි නොඇල්මෙන්, සිහියෙන් හා නුවණින් යුතුව, කයෙන් සැපය ද විඳිමින්, උපේක්ෂාවෙන් යුතුව වාසය කරන්නේ ය. ආර්යයන් වහන්සේලා උපේක්ෂා සහගතව සිහියෙන් යුතුව, සැප සේ වාසය කිරීම යැයි පවසන ලද්දා වූ, ඒ තුන්වෙනි ධ්‍යානය ද උපදවාගෙන වාසය කරන්නේ ය. (පිීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති. සතෝ ච සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේති. යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති.)

සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන්, පළමුවෙන් ම සොම්නස් දොම්නස් දෙක නැති කිරීමෙන්, දුක් රහිත වූ සැප රහිත වූ පාරිශුද්ධ සිහියෙන් යුතු වූ, උපේක්ෂාව ඇත්තා වූ හතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නේ ය. (සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදුක්ඛමසුඛං උපෙක්ඛා සතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.)
ශ්‍රාවකයන් වශයෙන් අප ධර්මය දරාගත යුත්තේ සම්බුදු වදන්වලට අනුව මිසක, විකෘති අර්ථ ඇති පෞද්ගලික අර්ථ විවරණ වශයෙන් නො වේ.