සංයුත්ත නිකායේ සංඛධම කියන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා නිගණ්ඨනාථපුත්ත කියන ප්‍රකාශයක්. ඒ තමයි යමෙක් බහුල බහුල වශයෙන් ප්‍රාණඝාතාදී අකුසල් කරනවා නම් ඒ හේතුවෙන් අපාගත වෙනවා කියලා. දවසක් බුදුරජාණන් වහන්සේට නිගණ්ඨ ශ්‍රාවකයෙක් මුණ ගැහුණු අවස්ථාවක ඔය කරුණ ගැන විමසනවා. ඉතින් ඔහු මේ විදිහට පිළිතුරු දුන්නා. ස්වාමීනී, අපට නිගණ්ඨනාථපුත්ත කියා තියෙන්නේ යමෙක් ප්‍රාණඝාත කරනවා නම්, සොරකම් කරනවා නම්, වැරදි කාම සේවනයේ යෙදෙනවා නම්, බොරු කියනවා නම්, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරනවා නම්, යමෙක් මේ දේවල් බහුල බහුල වශයෙන් කරනවා නම් ඒ හේතුවෙන් අපාගත වෙනවා කියලා. ඒ වෙලාවෙදි බුදුරජාණන් වහන්සේ පිලිතුරු දෙනවා ඔය තර්කය නිවැරදි නම් කිසි කෙනෙක් අපාගත වෙන්නේ නැහැ කියා. ඒකට හේතුව විමසූ විට බුදුරජාණන් වහන්සේ වදාළා සතුන් මරන කෙනා නිතර නිතර සතුන් මරමින් ඉන්නේ නැහැ නේ ද? කියලා.

නමුත් නිගණ්ඨනාථපුත්තගේ බණ අහපු කෙනෙක් ඒක විශ්වාස කළොත් ඒ හේතුවෙන් නම් කෙනෙක් අපායේ යන්න පුළුවනි. මක් නිසාද යත්, ඒ ආකාරයට ප්‍රාණඝාත කළ අයෙක් අනිවාර්යයෙන් ම අපාගත වෙනවා යැයි දෘෂ්ටිගතික වීමක් තුළින් අපාගත වන්නට කරුණු යෙදීමයි.

භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ ඔය ආකාරයට නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ සතුන් මැරීම අකුසලයක්. සොරකම් කිරීම අකුසලයක්. වැරදි කාම සේවනයේ යෙදීම අකුසලයක්. බොරු කීම අකුසලයක්. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම අකුසලයක්. එය කරන්න එපා කියලා ගරහනවා. එය නො කිරීම පිණිස ධර්මය කියනවා. පංච දුෂ්චරිතයේ යෙදුණු කෙනෙක් ඒ ධර්මය ශ්‍රවණය කරනවා. එතකොට එයාට සතුන් මරපු අවස්ථා, සොරකම් කරපු අවස්ථා, වැරදිකාම සේවනයේ යෙදුණු අවස්ථා, බොරු කියපු අවස්ථා, මත්පැන් පානය කළ අවස්ථා සිහිවෙනවා. එතකොට ඔහු තුළ පසුතැවීමක් ඇතිවෙනවා, මා තුළින් මෙබඳු මෙබඳු වූ අකුසල් රැස් වුණා නේ ද කියලා. ඉන්පසුව ඔහු සතුන් මැරීමෙන් වළකිනවා කියලා දුෂ්චරිතයෙන් අත්මිදෙනවා. මේ ආකාරයට පංච ශීලයට පැමිණුනු පසුව වුණත් කලින් කරපු අඩුපාඩු මතක් වෙන්නට පුළුවනි. එතකොට එයා දන්නවා මගේ අතින් කලින් අඩුපාඩු වුණා තමයි. හැබැයි මා ඒවා දැන් ප්‍රහාණය කරලයි තියෙන්නේ. ඒ විදිහට වර්තමානයේ රකින සීලය තුළ සිත පිහිටුවා ගන්නවා. ඒක ආරක්ෂා කරන්න කල්පනා කරනවා. එතකොට උපන් අකුසල් ප්‍රහාණය වෙනවා. නූපන් කුසල් උපදිනවා.