භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාරන්නේ යමක් සේවනය කරද්දී කුසල් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම් එය අපි පැවැත්විය යුතු ප්‍රගුණ කළ යුතු දෙයක් බවයි. අපි ප්‍රහාණය කළ යුතු වන්නේ පව් කිරීමට, අකුසල් කිරීමට ඇති කැමැත්තයි. මන්ද එය තමන්ටත්, අන් අයටත්, මෙලොවටත් – පරලොවටත් අයහපත පිණිස පවතිනවා. නමුත් පින් කිරීමට, කුසල් වැඩීමට ඇති කැමැත්ත, තමන්ටත්, අන් අයටත්, මෙලොවටත් – පරලොවටත් යහපත පිණිස ම පවතිනවා. කුසල් වැඩීමට ඇති බලවත් කැමැත්ත නම් වූ ඡන්ද ඍද්ධිපාදය ආර්ය ශ්‍රාවකයෙකු විසින් ප්‍රගුණකර ගත යුතු බෝධි පාක්ෂික ධර්මයක්. පින් කිරීමට කැමැත්ත ඇතිකර ගන්නා ලෙස ශාස්තෘන් වහන්සේ උතුම් ධම්මපදයේ ද මෙසේ ශ්‍රාවකයන්ව උනන්දු කොට තිබෙනවා.

“පුඤ්ඤං චේ පුරිසෝ කයිරා – කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ – සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

යම් කිසි පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව සිත, කය, වචනය යන තුන් දොරින් පින් කළොත්, ආයෙ ආයෙමත් කරගන්න ඕන වෙන්නේ ඒ පිනම යි. පින් කිරීම ගැනමයි හිතේ කැමැත්ත ඇති කර ගන්න ඕනැ. ‘සැප’ කියා කියන්නේ පිනටමයි.”

එමෙන්ම අංගුත්තර නිකායේ තුන්වැනි නිපාතයේදී භාග්‍යවතුන් වහන්සේ නිරාස, ආසංස, විගතාස යනුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ගැන උපමා ඇසුරින් විග්‍රහ කරනවා. රොඩී කුලයේ කෙනෙකුට රජ කුමාරයෙකු අභිෂේක කළා කියා දැනගත්තාට තමන්ට රජ වෙන්නට කැමැත්තක් ඇති වෙන්නේ නෑ වගේ දුස්සීල භික්ෂුවකට රහතන් වහන්සේනමක් ගැන දැනගන්නට ලැබුණාට තමන්ට කුසල් වඩා රහත් වන්නට කැමැත්තක් ඇති වන්නේ නෑ. නමුත් රජ කුමාරයෙකුට, වෙනත් රටක රජ කුමාරයෙකු අභිෂේක කළ විට ‘අනේ මටත් රජ වෙන්න ඇත්නම්’ කියා බලවත් කැමැත්තක් ඇති වෙනවා. ඒ වගේ සිල්වත් – විමුක්තිකාමී භික්ෂුවකට වෙනත් භික්ෂුවක් උතුම් අරහත්වයට පත් වුණා කියා දැනගන්නට ලැබුණ විට ‘අනේ මටත් සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වන්නට ඇත්නම් කොපමණ හොඳ ද!’ කියා බලවත් කැමැත්තක් ඇති වෙනවා. එවිට ඒ කැමැත්ත මුල් කරගෙන කුසල් වඩන්නට, සීල-සමාධි-ප්‍රඥා වඩන්නට බලවත්ව වීරිය කොට තමාත් උතුම් අරහත්වය සාක්ෂාත් කරනවා. අභිෂේක ලත් රජෙකුට තවත් රජ කුමාරයෙක් අභිෂේක කළා කියා දැනගත්තාට, යළිත් තමන් අභිෂේක ලබන්නට කැමැත්තක් ඇති වෙන්නේ නෑ වගේ අරහත්වයට පත් වූ භික්ෂුවකට තවත් භික්ෂුවක් රහත් වුණා කියා දැනගත් විට, මමත් අරහත්වය පිණිස කුසල් වඩන්නට ඕනෑ කියා කැමැත්තක් ඇතිවෙන්නේ නැහැ. ඒ කැමැත්ත සන්සිඳිලයි තිබෙන්නේ. ඒ ගැන ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්වා දී ඇත්තේ අරහත්වය ලබන්නට කැමැත්තෙන්, චිත්ත සන්තානයේ පවතින ඡන්දරාගය දුරු කිරීම “කැමැත්තෙන් කැමැත්ත ප්‍රහාණය කිරීම” ලෙසයි.

එම නිසා අපි කළ යුත්තේ උඬගු නොවී, නිහතමානී ශ්‍රාවකත්වයේ පිහිටා පින් රැස්කර ගනිමින් කුසල් වඩමින් සතර අපායෙන් නිදහස් වීමට උත්සාහ ගැනීම යි. සුගතිගාමීව ධර්මාවබෝධය කරා යන උදාර ජීවිතයක් ගොඩනගා ගැනීම යි.