භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනාවලදී පොදුවේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නා ආකාරය පෙන්වා දී ඇත්තේ මෙලෙසිනි.

“ඔබ ඇස් කන් ආදී ඉන්ද්‍රියයන් රැකගන්න ඕනෑ. ඇසින් රූපයක් දැක්කට පස්සේ ඒ ඇස අසංවර වෙලා තිබුණොත් ආශාව, තරහ ආදී ලාමක අකුසල ධර්ම ඇතිවෙනවා. අන්න එබඳු අකුසල් ඇතිවෙන කිසි සටහනක් ගන්න එපා. අකුසල් ධර්ම ඇති වෙන්ට නොදී ඇස රැක ගන්න. ඇස හොඳින් සංවර කරගන්න. කනින් ශබ්දයක් ඇසුවට පස්සේ…, නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කළාට පස්සේ…, දිවෙන් රස වින්දට පස්සේ.., කයින් පහසක් ලැබුවට පස්සේ…, මනසින් අරමුණක් සිතුවට පස්සේ මනස අසංවර වෙලා නම් ආශාව, තරහ ආදී ලාමක අකුසල් ඇතිවෙනවා. එවැනි අකුසල ධර්ම හටගන්නා කිසිම සටහනක් ගන්න එපා. එවැනි සටහනක කොටසක්වත් ගන්න එපා. අකුසල් ධර්මයන් ඇතුළුවෙන්න නොදී මනස රැක ගන්න. මනස හොඳින් සංවර කරගන්න” කියාය.

විශේෂයෙන් ම වර්තමානයේදී ඉන්ද්‍රිය සංවර කරගැනීමට නම් අසභ්‍ය චිත්‍රපටි, සටන් චිත්‍රපටි ආදිය නැරඹීමෙන් වැළකීම, කාම සඟරා කියවීමෙන් වැළකීම ඉතාම වැදගත්. කාමය අවුස්සන ලාමක ගීත ශ්‍රවණයෙන් ද වැළකිය යුතු වෙනවා. ඒ සඳහා යහපත් ආදේශකයක් ලෙස බෞද්ධ තේමා ඇතුලත් අර්ථවත් චිත්‍රපටි නැරඹීම, බුදු ගුණ ගීත, මව්ගුණ ගීත වැනි සිත සංසිඳුවන ගීත ශ්‍රවණය කිරීම ගිහි පින්වතුන්ට සිදුකළ හැකිය. පොතපත කියවීමේදී ද සම්බුද්ධ චරිතාපදානය, අරහත් චරිතාපදාන ආදී කෙලෙස් සංසිඳුවා ශ්‍රද්ධාදී කුසල ධර්ම වැඩෙන දහම් පොත් පත් ඇසුරු කළ හැකිය. මේ සඳහා ශ්‍රද්ධා රූපවාහිනියත්, ලක්විරු ගුවන් විදුලියත්, මහාමේඝ පුවත්පතත් මහානීය වූ අනුග්‍රහයක් සිදු කරනවා. ඉන්ද්‍රිය සංවරයට උපකාරී ධර්ම ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ සති සම්පජඤ්ඤය හෙවත් සිහි නුවණ දියුණු කර ගැනීමයි.