භාග්‍යවතුන් වහන්සේ කිසිම විටෙක ගෙදර බුදුන් අම්මා යැයි දේශනා කොට නැත. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ “බ්‍රහ්මාති මාතා පිතරෝ” යනුවෙනි. එනම් මව, පියා – මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන බ්‍රහ්ම විහරණයන්ගෙන් දරුවන්ට අනුග්‍රහ කරන නිසා බ්‍රහ්මයන් වැනි ය කියා ය.

එමෙන් ම “පුබ්බාචරියාති වුච්චරේ” – දරුවන්ට සෑම දෙය ම කියා දෙන පළමු ගුරුවරු කියා ය. “ආහුනෙය්‍යා ච පුත්තානං පජාය අනුකම්පකා” යනුවෙන් ඕනෑම දුරක සිට වුවත් දරුවන් විසින් සොයාගෙන ගොස් මව්පියන්ට උපස්ථාන කිරීමට සුදුසුයි කියාත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබෙනවා. එනමුත් “ගෙදර බුදුන් අම්මා” යනුවෙන් කිසිම තැනක දේශනා කොට නැහැ.

බුද්ධ දේශනා විස්තර කෙරෙන අට්ඨකථාවේ අබුද්ධෝත්පාද කාලය ගැන මෙවැනි සඳහනක් තිබෙනවා. එනම් එක්තරා බ්‍රාහ්මණයෙකු බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා අබුද්ධෝත්පාද කාලයකදීත් පින් රැස්කර ගත හැකි ද කියා. එවිට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දී වදාරන්නේ අබුද්ධෝත්පාද කාලවලදී ද සත්පුරුෂයන් මව්පියන්ට මනා ව උපස්ථාන කොට පින් රැස්කර ගන්නා බවයි.

එසේ නොමැතිව අබුද්ධෝත්පාද කාලයක දී බුදුන් ලෙස සලකා මව්පියන්ට උපස්ථාන කරන්න කියා නම් කිසි විටෙකදී වදාරා නොමැත. යම් මතයක් අසන්නට ලැබුණු විට එක්වර ම පිළිනොගෙන, ප්‍රතික්ෂේප නොකොට බුද්ධ දේශනාවේ බහා බැලීමට (සුත්තේ ඕතාරේතබ්බෝ) අපි බුද්ධිමත් විය යුතුයි. ධර්මය – අධර්මය තෝරා ගත හැක්කේ ඒ අයුරිනුයි.