ඒ හැඟීම සම්පූර්ණයෙන් ම නැතිවෙන්නේ අරහත්වයේ දී. සෝවාන් වූ කෙනාට ඇතිවන්නේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වීම මත තමාගේ වසඟයේ පැවැත්විය හැකි යමක් (ආත්මයක්) නැති බව අවබෝධ වීම පමණයි.

සෝවාන් ඵලයට පත් වූ කෙනාට සෝතාපත්ති අංග හතරක් පිහිටනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම, ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම, සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම සහ ආර්යකාන්ත සීලය. ඒ කෙනාට හේතූන්ගෙන් හටගත් යමක් ඇද්ද, හේතු නිරුද්ධ වීමෙන් එය නිරුද්ධ වී යන්නේය කියා අවබෝධයක් තියෙනවා. ඒ විදිහට තමයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ.