■ සමථ භාවනාවේ දී සිදු කරන්නේ කුසල් අරමුණක සිත එකඟ කර ගනිමින් පංච නීවරණ සන්සිඳුවා ගැනීමයි. බුද්ධානුස්සති ආදි අනුස්සති භාවනාවන් ද සතර බ්‍රහ්ම විහරණ ආදි භාවනාවන් ද ඇතුළත් සමථ භාවනා අරමුණු බොහෝ ප්‍රමාණයක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. සමථ භාවනාව තුළින් නීවරණ සන්සිඳී සිත වැඩෙන බව (චිත්තං භාවීයතී) භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. සිත වැඩීම තුළින්, යම් රාගයක් ඇද්ද එය ප්‍රහාණය වන බව වැඩිදුරටත් පෙන්වා වදාළා. (යෝ රාගෝ සෝ පහීයති)

■ විදර්ශනා භාවනාවේ දී සිදු කරන්නේ යමක ඇති යථාර්ථය ඒ අයුරින් ම නුවණින් විමසමින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමයි. ආයතන අනිත්‍ය භාවනාව, පංච උපාදානස්ඛන්ධ අනිත්‍ය භාවනාව, පටිච්ච සමුප්පාද අනිත්‍ය භාවනාව, ධාතු අනිත්‍ය භාවනාව ආදි විදර්ශනා භාවනා අරමුණු භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාව වැඩෙන බවත් (පඤ්ඤා භාවීයතී) වඩන ලද ප්‍රඥාවෙන් අවිද්‍යාව දුරුවන බවත් (යං අවිජ්ජා සා පහීයති) දේශනා කොට වදාළා.

එමෙන් ම ධර්මාවබෝධය කැමති ශ්‍රාවකයා සමථ – විදර්ශනා යන භාවනා දෙක ම වැඩිය යුතු බවත්, වැඩෙන ආකාරය අනුව පුද්ගලයින් තුන් කොටසක් සිටින බවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

■ සමථය මුල් කරගෙන විදර්ශනා වැඩීම. (සමථ පුබ්බංගම විපස්සනා)

■ විදර්ශනාව මූලික කරගෙන සමථය වැඩීම. (විපස්සනා පුබ්බංගම සමථෝ)

■ සමථයත් – විදර්ශනාවන් එකට වැඩීම. (යුගනද්ධ)