01) පින්වත් ස්වාමීන් වහන්ස, ‘විභව තණ්හාව’ යනු කුමක්දැයි පැහැදිලි කර දෙන්න.

විභව තණ්හාව යනු නොපැවැත්මට ඇති ආශාවයි. එනම් සිත හෝ කය හෝ කිසිවක් නොපැවැත්වීම පිණිස තමාගේ හිතේ මුල් බැස ගත් ආශාවයි. අරූප ලෝකයේ උපත පිණිසත් අසඤ්ඤ සත්ව ලෝකයේ උපත පිණිසත් හේතු වන්නේ මේ ආශාව ඉස්මතු වූ විටයි. එනම් තාපසයන් වැනි සමහර ශ්‍රමණ කොටස් දුකේ හේතුව වශයෙන් දකින්නේ තණ්හාව නොව සිත හා කය පැවතීමයි. එවිට සිතත්, කයත් නොමැති නම් දුකක් නොමැති බව ඔවුන් කල්පනා කරයි. ඉන්පසු සිතත් කයත් නො දැනී යන සේ අසඤ්ඤ සමාධි දියුණු කොට ඊට අදාළ වූ උපතක් කරා යයි. නමුත් එම උපතට අදාළ ආයුෂ අවසන් වූ පසු යළිත් සසර දුකට ම වැටේ. එම නිසා විමුක්තිය සාක්ෂාත් කොට දුකෙන් නිදහස් වීම පිණිස විභව තණ්හාව ද ප්‍රහාණය කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ විස්මිත ප්‍රඥාවෙන් පෙන්වා දුන් සේක. ත්‍රිවිධ තණ්හාව අතරින් කාම තණ්හාව අනාගාමී වීමේ දී සම්පූර්ණයෙන් ම ප්‍රහාණය වන අතර භව තණ්හාවත්, විභව තණ්හාවත් සම්පූර්ණයෙන් ප්‍රහාණය වන්නේ අරහත් ඵලයේ දී ය.

02) පින්වත් ස්වාමීන් වහන්ස, වර්තමානයේ දී ධර්ම දේශනාවලදීත්, දහම් පොත්පත්වලිනුත් ප්‍රාණඝාත අකුසලය විවිධ අයුරින් විස්තර කරනවා. ඇතැම් විට මාංශ ආහාරයක් අනුභව කිරීමෙන් පවා ප්‍රාණඝාත අකුසලය සිදුවන බවක් පැවසෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය විග්‍රහ කර ඇත්තේ කෙසේ ද? එම අකුසලය සිදු වීමට සම්පූර්ණ විය යුතු අංග මොනවාදැයි පැහැදිලි කර දෙන්න

සම්බුද්ධ දේශනා තුළ ඉතා පැහැදිලි ව ප්‍රාණඝාත අකුසලය විග්‍රහ කොට ඒ සඳහා සම්පූර්ණ වියයුතු කරුණු පෙන්වා දී තිබෙනවා. ඒ මෙලෙසයි. (ඒකච්චෝ පාණාතිපාතී හෝති, ලුද්දෝ, ලෝහිතපාණී, හතපහතේ නිවිට්ඨෝ, අදයාපන්නෝ පාණභූතේසු) කෙනෙක් සතුන් මැරීමෙහි යෙදී සිටිනවා. ඔහු කෲරයි. ලේ තැවරුනු අත් ඇතිව ඉන්නවා. මරනවා. කොටනවා. ප්‍රාණීන් කෙරෙහි දයාවක් නැහැ.

එමෙන් ම ප්‍රාණඝාත අකුසලයක් සිදු වීමට සම්පූර්ණ විය යුතු අංග දක්වා ඇත්තේ ද මෙලෙසිනි.

1 පණ ඇති සතෙක් වීම (පාණෝ)
2 පණ ඇති සතෙක් බව දැන ගැනීම (පාණසඤ්ඤී)
3 මරණ චේතනාව හෙවත් වධක චිත්තය (මරණාධිප්පායස්ස)
4 මැරීම පිණිස උපක්‍රමයක් කිරීම
5 ඒ හේතුවෙන් මරණයට පත් වීම

මේ අනුව ප්‍රාණඝාතය යනු කුමක්දැයි ඉතා පැහැදිලි ය. එමෙන් ම ප්‍රාණඝාතයෙන් වැළකීම පෙන්වා දී ඇත්තේ ද මෙලෙසින් ය.

(පාණාතිපාතං පහාය, පාණාතිපාතා පටිවිරතෝ හෝති, නිහිතදණ්ඩෝ, නිහිතසත්ථෝ, ලජ්ජී, දයාපන්නෝ, සබ්බපාණභූතහිතානුකම්පී විහරති) ප්‍රාණඝාතය අත්හැරලා ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරනවා. ප්‍රාණඝාතය පිණිස දඬුමුගුරු, අවි ආයුධ භාවිත කරන්නේ නෑ. එයට ලැජ්ජා වෙනවා. සතුන් කෙරෙහි දයාවන්තයි. සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරනවා.

විශේෂයෙන් ම භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට පණවා වදාළේ, තමන් වහන්සේ පිරිනිවන් පෑ පසු දේශනා කොට වදාළ ධර්මයත්, විනයත් ශාස්තෘත්වයේ තබාගන්නා ලෙසයි. එමෙන් ම සතර මහාපදේශයන්හි දී පෙන්වා දුන්නේ සූත්‍රයේ බහා බලා (සුත්තේ ඕතාරේතබ්බෝ), විනයෙහි සසඳා (විනයේ සංසන්දිතබ්බෝ) ධර්ම විනය සම්බන්ධයෙන් නිසැක බවට පත්වෙන ලෙසයි. එම නිසා අපට වැදගත් වන්නේ ද සරණ යා යුත්තේ ද පිහිට පිළිසරණ පිණිස පවතින්නේ ද සම්බුද්ධ දේශනාවන් මිස පුද්ගලික අර්ථකථන නො වේ.

03. පින්වත් ස්වාමීන් වහන්ස, සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාර භාවනාවේ දී “පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු” ලෙස ධාතු සතර මෙනෙහි කරන ලෙස දක්වා ඇති අතර මහා හත්ථිපfදා්පම සූත්‍රයේ දී එක් එක් ධාතුවට අයත් කොටස් වෙන් වෙන්වත් පෙන්වා දී ඇත. ධාතු මනසිකාර භාවනාව වැඩීමේ දී කෙටියෙන් මෙනෙහි කිරීම ප්‍රමාණවත් ද? නැති නම් විස්තර වශයෙන් මෙනෙහි කළ යුතුදැයි කරුණාවෙන් පහදා දෙන්න.

මෙහි දී අප ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයන්ගේ විවිධත්වය තේරුම් ගෙන තිබීම වැදගත් ය. මාතෘකා වශයෙන් ධර්මය දේශනා කරද්දී නුවණින් විමසා ධර්මාවබෝධ කරන තියුණු ප්‍රඥාවකින් යුතු ශ්‍රාවකයන් “උග්ඝටිතඤ්ඤූ” ශ්‍රාවකයන් වශයෙන් ය භාග්‍යවතුන් වහන්සේ හඳුන්වා දී ඇත්තේ. ධර්මය බෙදා විස්තර කරද්දී යෝනිසෝ මනසිකාරයේ යෙදී ධර්මාවබෝධ කරන ශ්‍රාවකයන් “විපඤ්චිතඤ්ඤූ” වශයෙන් හැඳින්වෙනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් නැවත නැවත ධර්මය ශ්‍රවණය කරමින් බොහෝ කලක් උත්සාහයෙන් වීර්යයෙන් ධර්මය පුරුදු කරමින් අවබෝධය කරා යන ශ්‍රාවකයන් “නෙය්‍ය” ගණයට ඇතුළත් වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ මාතෘකා වශයෙන්, කෙටියෙන් ධර්මය දේශනා කරන්නේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් තියුණු, ප්‍රඥාව බලවත් ශ්‍රාවකයන්ගේ අවබෝධය පිණිස බව සාරිපුත්ත මහරහතන් වහන්සේත්, මහා කච්චාන මහරහතන් වහන්සේත් ඉතා පැහැදිලි ව පෙන්වා දී තිබෙනවා. එම නිසා ධාතු මනසිකාර භාවනාව වැඩීමේ දී ප්‍රඥාව අඩු අද වන් යුගයක, සාමාන්‍ය ශ්‍රාවකයන් වන අප විස්තර වශයෙන් මෙනෙහි කිරීම ඉතාමත් ම උපකාරියි. මහා හත්ථිපදෝපම සූත්‍රයේ සඳහන් ආකාරයට එක් එක් ධාතුවලට අයත් කොටස් වෙන වෙන ම විස්තර වශයෙන් නුවණින් මෙනෙහි කිරීමයි අප කළ යුතු වන්නේ.

04. පින්වත් ස්වාමීන් වහන්ස, මම බොහෝ ම බැති සිතින් බුදු පහන තබා සීවලී මහරහතන් වහන්සේට මල් ගිලන්පස පූජා කරනවා. බුදු පිළිමය ළඟ වම් පැත්තේයි එම පූජා තබන්නේ නොයෙක් අය එය සුදුසු නෑ කියනවා. කරුණාකර මේ ගැන පහදා දෙන්න.

තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් ශාස්තෘන් වහන්සේටත්, උතුම් රහතන් වහන්සේලාටත්, සම්බුදු ගුණ මහිමයත්, උත්තම රහතුන්ගේ ගුණ සමුදායත් සිහි කොට මල් පහන් සුවඳ දුම් ආදී පුද පූජාවන් පැවැත්වීම මහානීය පිනක්, අපගේ ජීවිතයට යහපත උදාකරන්නක්.

මෙහි දී ඒ උතුම් රහතුන් බිහිකොට වදාළ, රහතන් වහන්සේලා ද අපමණ ගෞරවයෙන් වන්දනාමාන කළ ශාස්තෘන් වහන්සේට අප ප්‍රමුඛස්ථානය දිය යුතුයි. රහතන් වහන්සේලා පවා භාග්‍යවතුන් වහන්සේ ව වටා පැදකුණු කරමින් ශාස්තෘන් වහන්සේගේ පාද නමස්කාර කොට ඇත්තේ මෙසේ මෙනෙහි කරමිනි.

“බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති”
“චතුරාර්ය සත්‍යය අවබෝධ කළ භාග්‍යවතුන් වහන්සේ, ධර්මාවබෝධය පිණිස දහම් දෙසන සේක.”
“තිණ්ණෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති”
“සසර කතරින් එතෙර වූ භාග්‍යවතුන් වහන්සේ සසරින් එතෙර වීම පිණිස දහම් දෙසන සේක.”
“සන්තෝ සෝ භගවා සමථාය ධම්මං දේසේති”
“සන්සිඳුනු සිත් ඇති භාග්‍යවතුන් වහන්සේ සන්සිඳීම පිණිස දහම් දෙසන සේක.”
“දන්තෝ සෝ භගවා දමථාය ධම්මං දේසේති”
“දමනයට පත්වූ භාග්‍යවතුන් වහන්සේ දමනය වීම පිණිස දහම් දෙසන සේක.”
“පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති.”
“පිරිනිවුනු භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීම පිණිස දහම් දෙසන සේක.”

එම නිසා භාග්‍යවතුන් වහන්සේ උදෙසා, උසින් සකස් කළ වෙන ම ආසනයක, සම්බුදු ගුණ මෙනෙහි කරමින් මල් පහන් ගිලන්පස ආදී පූජාවන් තැන්පත් කරන්න. සීවලී මහරහතන් වහන්සේ උදෙසා වෙනත් ආසනයක අරහත් ගුණ සිහිකරමින් පුද පූජාවන් තබන්න.

05. පොහෝ දින, සිල් සමාදන් වූ, උවසු උවැසියන්, නිවසේ දී වගේ ම පාසල්වල දී / අසපුවල දී එකිනෙකා ඇසුරේ, ශාරීරික වශයෙන් පවා ගැටෙමින් හැසිරීම සුදුසු ද?

උපෝසථ දිනවල දී ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් අෂ්ටාංග සීලය සමාදන් ව පිළිවෙත් පුරන්නේ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් ය (අහං අරහන්තං අනුකරෝමි). එම නිසා සාමාන්‍ය දිනවල දී මෙන් නොව සංයමයෙන් හා සිහිනුවණින් යුතුව සමාදන් වූ සිල්පද මනා ව සුරකිමින්, යහපත් ඇවතුම් පැවතුම්වලින් ද යුක්ත ව හැසිරිය යුතු ය. විශේෂයෙන් ම දෙතිස් කථාවලින් වැළකී, විහිළු තහළු නො කරමින්, නෙක්ඛම්ම සංකල්ප දියුණු වන අයුරින් එදින ගත කළ යුතු ය.

එනමුත් දහම් කථාවේ යෙදීමත්, අවශ්‍ය දෙයක දී කථා කිරීමත් වරදක් නො වේ. එමෙන් ම සමඟි සම්පන්න ව චෛත්‍යය, බෝමළුව ඇමදීම ආදි වත් පිළිවෙත් කිරීම ද යහපත් ය. මෙහි දී වඩාත් වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සිල්පද අට සුරැකීමත්, බුද්ධානුස්සති ආදී අනුස්සති භාවනාවන්හී යෙදෙමින් නීවරණයන්ගෙන් සිත පිරිසිදු කිරීමත් ය. විශාඛා උපෝසථ සූත්‍රයේ සඳහන් පරිදි, සෝතාපන්න ශ්‍රාවිකාවක් වූ විශාඛාවන් පවා අෂ්ටාංග සීලය සමාදන් ව පොහෝ දින පිළිවෙත් පුරා ඇත්තේ ආරාමයේ නොව සිය නිවසේ දී ය. දරුවන් විසිදෙනෙකුගේ මවක් වූ ඇය එදින ආහාර පිසීම, ඇඳුම් පැලඳුම් සේදීම, අතු ගෑම වැනි එදිනෙදා කටයුතු කරන්නට ඇත. කුසල් සිතින් එවැනි කටයුතු කිරීම තුළ පිනක් රැස් වීම මිසක සීල භේදයක් සිදු නො වේ. රහතන් වහන්සේලා ද වත්පිළිවෙත්වල නිරත වෙති. එම නිසා වැදගත් වන්නේ සිල්පද සුරකිමින් පින් රැස්කරමින්, කුසල් වැඩීම යි.

එමෙන් ම වත්මන් සංකීර්ණ සමාජ පරිසරය තුළ යම් කෙනෙක් පොහෝ දින සිල් සමාදන් වී පිළිවෙත් පිරීම ගැන අප අතිශයින් ම සතුටු විය යුතු ය. එය අනුමෝදන් විය යුතු ය. එම උවැසි උවැසියන්ගේ අඩුපාඩු දකින, විවේචනය කරන පහත් මානසිකත්වයකට නො වැටී, අනේ මේ සියලු දෙනා “ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, දහම් දැනුමෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා” යන මුදිතාවෙන් යුක්ත සිතක් ඇති සත්පුරුෂයන් වීමට සිතට ගත යුතු ය.

06. පින්වත් ස්වාමීන් වහන්ස, පුද්ගලයෙකු මෙලොවට බිහිවන්නේ අම්මෙක් සහ තාත්තෙක් ඇතිව. මෙහි දී එම පුද්ගලයාට පිය පරපුරෙන් සහ මව් පරපුරෙන් ඤාති පිරිසක් ලැබෙනවා. ධනයෙන් සහ බලයෙන් එම ඤාතීන් බලවත් සේ සලකා, එම ඉපදුණු කෙනා යම් ආබාධයකින් පෙළෙන්නේ නම් එය ද හේතුකරගෙන, එම නෑදෑ පරපුර විසින් ඔහු ප්‍රතික්ෂේප කිරීම සාධාරණ ද? ඒ තුළින් ඔවුන්ට අකුසල කර්මයක් නො වන්නේ ද? කියා පහදා දෙන්න.

බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලි ව දේශනා කොට වදාළේ කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ උපන් කුලය හෝ පවුල් පසුබිම මත නොව ඔහුගේ ක්‍රියාවන්ගෙන් බවයි

න ජච්චා වසලෝ හෝති – න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති – කම්මනා හෝති බ්‍රාහ්මණෝ

එමෙන් ම අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රයේ සඳහන් පරිදි,

කම්මං විජ්ජා ව ධම්මෝ ච – සීලං ජීවිතමුත්තමං
ඒතේන මච්චා සුජ්ඣන්ති – න ගොත්නේත න ධනේන වා

“සත්වයන් කවදාවත් උපන් ගෝත්‍රය නිසා හෝ ධනය නිසා හෝ පිරිසිදු වන්නේ නැහැ. සත්වයන් පිරිසිදු වන්නේ ක්‍රියාවෙන් අවබෝධයෙන්, ධර්මයෙන් හා සීලයෙනි.

සසර ජීවිතයේ සිදු වූ කර්මානුරූප ව කෙනෙකු උපතින් හෝ ආබාධිතයෙකු, රෝගියෙකු වන්නට පුළුවනි. ඒ හේතුවෙන් ඔහුව හෝ ඇයව කිසිසේත් ම අවතක්සේරු නො කළ යුතුයි. බුද්ධ කාලයේ ඇඟ පුරා කුෂ්ට සෑදී තිබූ සුප්පබුද්ධ යාචකයා තුළ සෝතාපන්න වීමට තරම් මහා පුණ්‍ය මහිමයක් තිබුණා. එම නිසා ආබාධිත අයෙකු දෙස ඤාති හිතමිත්‍රාදීන් බැලිය යුත්තේ මෙත් සහගත අනුකම්පා සිතකිනුයි. ඔහුට ලෞකික අතිනුත්, ගුණධර්ම අතිනුත් දියුණුවට පත් වීමට අත දිය යුතුයි.

මෙහි දී තමන් ද ඒ ඤාති හිතමිත්‍රාදීන් කෙරෙහි ද්වේෂ සිතක් ඇති නොකරගෙන කර්මානුරූප ව සසර ගමනක අප යෙදී සිටින බව ධර්මය තුළින් තේරුම් ගත යුතුයි. පින් රැස්කර ගැනීමටත්, ධර්මාවබෝධය ලබාගැනීම පිණිසත් උනන්දු විය යුතුයි. එවිට සියලු දෙනාට ම යහපත සැලසේවි.