භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දී පෙන්වා දී තිබෙනවා කායික ක්‍රියා අසංවර වීම හේතුවෙන්, එසේ ම වාචසික ක්‍රියාව අසංවර වීම හේතුවෙන් බොහෝ දුක් විපාක විඳීමට සිදුවන ආකාරය.

අසංවර ලෙස මුවින් පිටවන වචනය සුළු මොහොතක් ඇතුළත දරුණු ගණයේ අකුසලයක් උපදවා දීමට සමත් වෙනවා. වදන තමන් නො දැනී ම නරක ලෙස යොදාගැනීමේ විපාකය කෙතරම් වේදනාවක්දැයි, දුක් සහිත දැයි අප වටහාගත යුතුයි. එසේ වටහා නොගෙන සිටින තාක් කල් අප එම අනතුරෙන් මිදීමට උත්සාහයක් ගන්නේ නැහැ. මතු විඳින්නට සිදුවන්නා වූ දරුණු වේදනාවට බියක් ඇතිවූ පුද්ගලයා පමණයි වචනය සංවර කරගෙන එයින් මිදෙන්නට උත්සාහවත් වන්නේ. වචනයෙන් සිදුවන්නා වූ අකුසලයෙන් වැළකීමට වීර්යයක් උපදවා ගන්නේ.

වත්මන් සමාජයේ පිරිසක් එක්වී එක් අයෙකුගේ දුබලතාවක්, අඩුපාඩුවක් සොයා වචනයෙන් හිංසාවට පීඩාවට පත් කරවන අයුරු බොහෝ විට දක්නට පුළුවන්. හිංසාවට පත්වන පුද්ගලයා එයින් වේදනාවට පත්වී සිටින අයුරු බලා ඔවුන් සතුටට පත්වනවා. පීඩාවට පත්නොවූයේ නම් නැවත නැවතත් වචනයෙන් හිංසා කොට අපහසුතාවයට ඇද දැමීමට උත්සාහ ගන්නා අයුරු ද දැකගත හැකියි. පාසැල් ළමුන් ද තරුණ පිරිස් අතර ද මෙය සුලබ දසුනක්.

මෙසේ වචනය නරක අයුරින් භාවිත කිරීම දුරදිග යන්නේ තමන් සිටිනුයේ කුමන ස්ථානයක ද හිංසාවට භාජනය වන්නේ වැඩිහිටියෙකු ද කාන්තාවක් ද පූජ්‍ය පක්ෂයට අයත් ගෞරවයෙන් සැලකිය යුතු උතුමෙක්දැයි කිසිදු අවධානයකින් තොරවයි. කෙටියෙන් පැවසුවොත් තමුන් සිටිනා ස්ථානය, එහි සිටින පුද්ගලයන් පිළිබඳ ව කිසිදු අවධානයකින්, සිහියකින් තොරවයි.

අනුන්ට වචනයෙන් හිංසා කිරීමේ, දොස් කීමේ අනතුර නම් මෙයයි. සමහර විට තමන්ගේ හිංසාවට, පීඩාවට භාජනය වන කෙනා උතුම් සීලයක් දරා සිටින කෙනෙක්. ඒ සඳහා මහන්සි ගන්නා කෙනෙක්. එසේ නොමැති නම් සිත දියුණු කළ පුද්ගලයෙක්. ධ්‍යාන, සමාධි සමාපත්තීන්, සාමාන්‍ය මනුෂ්‍ය හැකියාවන් ඉක්මවා ගිය අධිමානුෂික හැකියාවන් උපදවා ගත් කෙනෙකු වන්නට පුළුවන්. නිකෙලෙස් උත්තමයෙක් වන්නට ද හැකියි. එසේ සිදුවූවොත් එම වචනයේ හිංසාව, විහිළුව ඉතා බරපතළ දෙයක් වෙනවා. ආර්ය උපවාදයක් බවට පත්වෙනවා.

අභූතවාදී නිරයං උපේති
යෝ චා’පි කත්වා න කරෝමී’ති චා’හ
උභෝ’පි තේ පෙච්ච සමා භවන්ති
නිහීනකම්මා මනුජා පරත්ථ

“අනුන්ට අභූත චෝදනා කරන කෙනාට නිරයේ තමයි උපදින්ට වෙන්නේ. තමන් යම් පවක් කරලා, ඒක කළේ නැතෙයි කියන කෙනා ත්, නිරයේ ම තමයි උපදින්නේ. පහත් ක්‍රියාවලින් යුතු ඒ මිනිස්සු දෙන්න ම මැරිල ගිය දවසක නිරයේ ඉපදීමෙන් සමාන වෙනවා.”

(ධම්ම පදය – නිරය වර්ගය)

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීවමාන ව සිටි යුගයේ සිදුවූ මෙම ස්වර්ණ වර්ණ සූඛරමුඛ ප්‍රේතයාගේ කතාව වචනයේ සංවරයෙන් මෙලොව පරලොව ජීවිතය යහපත් කර ගැනීම උදෙසා ප්‍රබල උදාහරණයක් සපයනවා.

ලෝක සිවංකර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන කල්හි මෙම ප්‍රේත වස්තුව එක්තරා සූකරමුඛ ප්‍රේතයෙකු අරබයා වදාළා.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වූ එක් භික්ෂූන් වහන්සේනමක් කාය සංවරයෙන් යුක්ත වූවා. එහෙත් වාග් සංවරයක් පැවැත්වූයේ නැහැ. භික්ෂූන් වහන්සේලාට ආක්‍රෝෂ පරිභව කරනවා. ඒ භික්ෂුව පසුව කළුරිය කොට නිරයෙහි උපන්නා. එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි ඒ නරකයෙහි පැසී එයින් චුතව මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්ව අසල එම කර්ම විපාකයේ ම හෙවත් අසංවර වාග් දුෂ්චරිත අකුසල කර්මයේ විපාක අවශේෂ වශයෙන් බඩගින්නෙන් පිපාසයෙන් පීඩාවට පත්ව ප්‍රේතයෙක් ව උපන්නා. ඒ ප්‍රේත සත්වයාගේ ශරීරය රන්වන් පැහැතියි. මුව ඌරෙකුගේ මුවක් බඳුයි.

එම කාලයෙහි නාරද ස්වාමීන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කළා. එක් දිනක් උදෑසන පිඬු පිණිස වඩිමින් සිටි උන්වහන්සේ එම ප්‍රේතයා දැක ඔහු විසින් කරන ලද කර්මය විචාරමින් මෙම ගාථාව පැවසුවා.

කායෝ තේ සබ්බසෝවණ්ණා
සබ්බා ඕභාසතේ දිසා
මූඛන්තේ සූකරස්සේව
කිං කම්මමකරී පූරේ’ති

“එම්බල ප්‍රේතය, නුඹගේ ශරීරය සියල්ල රන් හා සමාන ය, ශරීරාලෝකයෙන් සියලු ම දිශාවන් හාත්පසින් බබුළුවයි. එසේ වුවත් නුඹගේ මුඛය ඌරෙකුගේ මුවක් හා සමාන ය. මෙසේ වීමට නුඹ පෙර අතීත ජාතියෙහි දී කුමන පාපයක් කළේ ද?”

තෙරුන් වහන්සේ විසින් එසේ අසනු ලැබූ පසු එම ප්‍රේතයා තමන් විසින් පෙර කලෙක කරන ලද කර්මය ගාථාවකින් මෙසේ ප්‍රකාශ කළා.

කායේන සඤ්ඤතෝ ආසිං
වාචායාසිං අසඤ්ඤතෝ
තේන මේ තාදිසෝ වණ්ණෝ
යථා පස්සපි නාරදා’ති

“ස්වාමීනි නාරදයන් වහන්ස, මම පෙර කයෙන් කෙරෙන්නා වූ ක්‍රියාවන් පිළිබඳ හික්මීමෙන් යුක්ත වීමි. වාග් ද්වාරය හෙවත් වචනය සම්බන්ධ ක්‍රියාවෙන් අසංවරයෙන් සමන්විත වීමි. එම හික්මීම සහ නොහික්මීම යන ක්‍රියාවන්ට අදාළ ව මාගේ සිරුර සහ සමෙහි වර්ණය ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂ ලෙස දුටුවේ ද, එබඳු ස්වරූපයක් ගත්තේ ය. කයින් මනුෂ්‍යයෙකු මෙන් රන්වන් පැහැයෙන් බබළන්නේ ය. එනමුදු මාගේ මුඛය ඌරෙකුගේ මෙන් විය.”
තෙරුන් වහන්සේගේ ප්‍රශ්නය විසඳූ ප්‍රේතයා තමා උදාහරණ ලෙස ගනිමින් උන්වහන්සේට අවවාද ලෙස පහත ගාථාව ද පැවසුවා.

තං තාහං නාරද බ්‍රෑමි
සාමං දිට්ඨමිදං තයා
මාකාසි මුඛසා පාපං
මා ඛෝ සූකරමුඛෝ අහූ’ති

“ස්වාමීනි, පින්වත් නාරදයන් වහන්ස, යම්හෙයකින් ගෙල පටන් යට කොටස මිනිස් සටහනක් ලෙස ද, ගෙලෙන් උඩ කොටස ඌරෙකුගේ මුව මෙන් ද සැකසීගත් මාගේ ශරීරය ඔබවහන්සේ මනාකොට දැකගත්තේ ය. එම නිසා මම ඔබවහන්සේට අවවාද වශයෙන් මෙය පවසමි. බොරු බස් පැවසීම ආදී පාපකර්මය සිදුකොට මා මෙන් සූකරමුඛ ඇත්තෙක් නොවනු මැනවි. ඔබවහන්සේ ද වචනයෙන් දොඩමළු ව පව් කරන්නේ නම් ඒකාන්තයෙන් ම සූකරමුඛ ඇති වන්නේ ය.”

ඉන් පසු නාරද තෙරුන් වහන්සේ රජගහනුවර පිඬු පිණිස හැසිර බතින් පසු වේලෙහි පිණ්ඩපාතය නිමවී වැඩම කළේ සිව්වණක් පිරිස පිරිවරා වැඩහුන් තථාගතයන් වහන්සේ වෙතයි. තෙරුන් වහන්සේ ප්‍රේතයා සම්බන්ධ පුවත බුදුරජාණන් වහන්සේ වෙත සැල කර සිටියා.

“නාරදය, මා විසින් එම ප්‍රේත සත්වයා පෙර දී ම දක්නා ලද්දේ ය.” යි වදාරා නොයෙක් අයුරින් ළාමක වූ වචී දුෂ්චරිතයේ ආදීනව හා වාග් සුචරිතයේ ආනිසංශයන් වදාරමින් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කොට වදාළා. එම දේශනාව එම පිරිසට සාර්ථක වූවා.

(අනුන්ට බැණ වැදීම, අපහාස කිරීම ආදී වචනයෙන් සිදුකර ගන්නා අකුසල් හේතුවෙන් කටුක දුක් විපාක විඳීමට සිදුවන බව මෙම කතාවෙන් මනාසේ පැහැදිලි වෙයි. සිත, කය, වචනය මනාසේ හික්මවා ගැනීමට මහඟු ආදර්ශයක් සපයයි.)

ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය

සටහන – හර්ෂ නිලංක පෙරේරා