[image title=”” size=”full” id=”7758″ align=”none” linkto=”none”]

අසන්නන්ගේ සිත්සතන් ඇදගන්නා සුලූ, තමන් වහන්සේට ම ආවේණික වූ දේශනා විලාසය හා තෙරුවන් ගුණ ගායනාවන් හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් බොදු ජනතාවගේ අතිමහත් ආදර ගෞරවයට පත් වූ අති පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමිපාණන් වහන්සේ අප අතරින් වියෝවීමෙන් මෙම මස 27 වැනි දිනට වසර 28ක් සපිරේ. මෙම ලිපියේ අරමුණ වන්නේ උන් වහන්සේ මිනිස් ලොව ගත කළ වසර හතලිස් හය (46) ක් පමණවන කෙටි කාලය තුළ දී ගෞතම බුදු සසුන කෙරෙහි දෙව් මිනිසුන් පැහැදවීමට ගන්නා ලද ප‍්‍රයත්නය සැකෙවින් විමසා බැලීමයි.

දහනමවන සියවසයේ අගභාගයේ දී සිරිලක බුදු සසුුනේ පුනරුදයට තුඩුදුන් සුප‍්‍රසිද්ධ පානදුරාවාදයෙන් අනතුරුව, පානදුර නගරය බොදුනුවන්ගේ ජයභූමියක් බවට පත්විය. පානදුරට නුදුරු නල්ලූරුව නම් ගමේ වර්ෂ 1940 ජූනි මස 22 වන දින ලාල් බුද්ධදාස නමින් පින්වත් කුමරකු උපත ලැබී ය. කුමරු උපදින්නටත් පෙර ගමේ විහාරය (වත්මන් ගලවැටිමෝදර විහාරය) සෑදීම සඳහා ඉඩමක් පූජා කළ සොලමන් ප‍්‍රනාන්දු නම් ඔහුගේ පියා, සැදැහැවත් බෞද්ධ ගොවියෙක් විය. කුඩා කල සිට ම තැන්පත් සහ නිවුනු ගතිපැවතුම්වලින් යුක්ත වූ බුද්ධදාස කුමරු විහාරාරාමයන්හි නිසංසල පරිසරයේ සහ කලණමිතුරු සඟරුවන ඇසුරේ කාලය ගත කිරීමට බෙහෙවින් ප‍්‍රිය කළේ ය. සාර්ථකව අධ්‍යාපන කටයුතු නිම කළ මේ පින්වත් තරුණයා සිය රැකියාව සඳහා තෝරා ගත්තේ පූජනීය අනුරාධපුර නගරය යි.

ඓතිහාසික පූජා නගරය සුරකිනු වස් නව නගරය බිහි කිරීමට මුල් වූ, අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ ලිපිකරුවකු වශයෙන් සේවය කළ බුද්ධදාස තරුණයා විවේකයක් ලද සෑම මොහොතක ම ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවණේ බවුන් වඩන්නට විය, නැතහොත් සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අබියස අනන්ත බුදු ගුණ මෙනෙහි කරන්නට විය. කෙමෙන් ඔහු සිත තුළ සමාධිය දියුණු වන්නටත්, නෙක්ඛම්ම සිතුවිලි පහළ වන්නටත් විය. සසර පුරුද්දට මෙන් කුඩා කල සිට ම සිත තුළ දලූලමින් තිබූ ගිහිගෙයි නො ඇලීමේ සිතුවිලි, මේ අවධියේ පින්වත් බුද්ධදාසයන්ගේ සිතේ වඩාත් උද්දීපනය වන්නට විය. එ් සඳහා ඔහු ගේ පින ද ඉස්මතු වී තිබුණි. අනතුරුව මිහින්තලේ කළුදිය පොකුණ ආරණ්‍යයේ දී සිදු වූයේ අසිරිමත් හමු වීමකි.

කවදත් සත්පුරුෂයන් හා සත්පුරුෂයන් එකතුවීම ධාතු ස්වභාවයක් ය යන අසිිරිමත් බුදු වදන සිහිගන්වමින්, බුද්ධදාස තරුණයා හට වත්මන් ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහනායක ධූරන්ධර, එවක කළුදිය පොකුණ ආරණ්‍යයේ බවුන් වඩමින් සිටි අති පූජ්‍ය දොඩම්පහල සිරි චන්ද්‍රසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුණගැසිනි. දොඩම්පහල ස්වාමීන්ද්‍රයන්ගේ අනුග‍්‍රහයෙන් එවක කල්‍යාණිවංශ නිකායේ මහනායක ධූරන්ධරව වැඩ විසූ අති පූජ්‍ය කුඩාවැල්ලේ වංගීස ස්වාමීන්ද්‍රයන්ගේ උපාධ්‍යායත්වයෙන් බුද්ධදාස තරුණයා හට වසර 1966 දී කලපලූවාව ගෝතම තපෝවනයේ දී ‘තපෝවනයේ අත්ථකුසල’ යන නමින් උතුම් පැවිදි දිවියට එළැඹීමට වාසනාව උදා විය. අනතුරුව උපසම්පදා අධිසීලයට පත් වීමේ දී තම අභිමතය පරිදි උන් වහන්සේ සිය නම ‘පානදුරේ අරියධම්ම’ ලෙස වෙනස් කරගත්හ.

පැවිදි වූ දා පටන් ම එක් විහාරස්ථානයක වැඩි කලක් ගත නො කිරීමේ පුරුද්දක් උන් වහන්සේ තුළ විය. තමන් වහන්සේ හට ම වෙන් වූ ස්ථානයක් හෝ දායක පිරිසක් ගොඩනංවා ගැනීම නිවන් මඟට පළිබෝධයක් ලෙස දුටු උන්වහන්සේ ගිහි පැවිදි සියලූ පිරිසට පොදුවේ සැලකීමට වග බලාගත්හ. සිය උපාධ්‍යායන් වහන්සේ වන කුඩාවැල්ලේ වංගීස ස්වාමීන්ද්‍රයන් විසින් කලපලූවාවේ දී පවත්වන්නට යෙදුණු ‘ඤාණවන්දනා’ සහ ‘බුදුගුණ පූජාවන්’ හි ආභාසය ලැබූ අරියධම්ම හිමියෝ තමන් හට උපතින් ම හිමි වූ පද්‍ය රචනා හැකියාව ද ප‍්‍රයෝජනයට ගනිමින් නවතම ආරයේ බෝධි පූජා ක‍්‍රමයක් සකස් කර ගත්හ. ඉතා මැනවින් සිංහල බස හැසිරවූ උන් වහන්සේ අතින් උතුම් තෙරුවන් ගුණ කෙරෙහි අසන්නන්ගේ ශ‍්‍රද්ධාව උතුරායන බුද්ධ වන්දනාවක් සහ බෝධි පූජා කවි මාලාවන් නිර්මාණය විය.

‘‘දෑත නළලෙ බැඳ වැඳුම් ලබන්නේ
සෑම දෙනා හට පින් කෙත වන්නේ
නේක මහා ගුණයෙන් බබළන්නේ
සාදු සාදු බුදු හිමි නමදින්නේ”

අද පවා සැදැහැති බොදුනුවන්ගේ සිත්සතන් තුළින් මැකී ගොස් නැති එම කවි සජ්ඣායනා කෙරුණේ තමන් වහන්සේ විසින් ම යොදාගත් සුන්දර නාදාමාලාවන්ට අනුව ය.

ක‍්‍රමක‍්‍රමයෙන් උන් වහන්සේගේ බෝධි පූජා පින්කම් වෙත සැදැහැති බොදු ජනතාවගේ ආකර්ෂණය වර්ධනය විය. සිය ගණනක සහභාගීත්වයෙන් ඇරඹි පූජාවන් කල් යත් ම දහස් ගණන්, දස දහස් ගණන්, ලක්ෂ ගණන් ඉක්මවා යන්නට විය. එ්වාට සහභාගි වූවන්ගෙන් බහුතරය තරුණ පිරිස වීම එහි වඩාත් ම සුභවාදී ලක්ෂණය විය. මනාකොට ශ‍්‍රද්ධාවෙන් සකස් කරන ලද චතුමධුර, මල්, සුවඳ දුම් සහිත ගිලන්පස බුද්ධ පූජාවන් පූජා කිරීමෙන් අනතුරුව තෙරුවන් ගුණ වන්දනාවකින් ද ඉතා ම ලිහිල් හා කාරුණික බසින් පැවැත්වෙන දහම් අනුශාසනාවකින් ද මෙම පින්කම් සමන්විත විය. ඉතා ම සරල වූත්, සිත් ඇදගන්නා සුලූ වූත් පැදි හතරේ තෙරුවන් ගුණ හා බෝධි පූජා කවි ගායනා මෙම පින්කම් කෙරෙහි සැදැහැතියන් දැඩි ලෙස ආකර්ෂණය වීමට ප‍්‍රධානතම හේතුව විය. විවෘත ආර්ථික ක‍්‍රමය හඳුන්වා දීමත් සමඟ වල්මත් වෙමින් සිටි අසරණ තරුණ පිරිස් බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් සනසාලමින් යහපත් දිවිමඟකට යොමු කරලීමට එකල මෙම පින්කම් සමත් විය. කොටින් ම රත්නපුරය ආදි ප‍්‍රදේශවල බෝධි පූජාවන් හේතුවෙන් අපරාධයන්ගේ සීඝ‍්‍ර පහත බැසීමක් පොලීසිය විසින් ම හඳුනාගෙන තිබිණ.

කෙතරම් ජනප‍්‍රිය වුවත්, කෙතරම් ලාභ සත්කාරයන්ට පාත‍්‍ර වුවත්, වර්ෂ 1986 මැයි මස 27 වන දින මනුලොව අතැර යන තෙක් ම සිය අල්පේච්ඡ ප‍්‍රතිපදාව පවත්වා ගැනීමට උන් වහන්සේ සමත් වූහ. අපවත් වන විට කොළඹ 07 සිරි සම්බෝධි විහාරාරාමාධිපතිව වැඩ විසූවත් මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස කිසිදු භේදයකින් තොරව උන් වහන්සේ සමසිත්ව කටයුතු කළහ. වසර 20ක් වැනි කෙටි පැවිදි දිවිය තුළ උන් වහන්සේ ලක්දිව ගෞතම බුදු සසුන විප්ලවීය වෙනසකට ලක් කළහ. එය දෙව්ලොව දී තමන් හට පැවරුණු කර්තව්‍යයක් ඉටුකිරීමට මනුලොව පැමිණි දේවදූතයකුගේ මෙහෙයක් මෙන් විය. උන් වහන්සේගේ හදිසි අභාවය බුදු සසුනට එරෙහි බලවේගයන්ට සැනසුම් සුසුමක් ගෙන දුන්නේ ය. සැදැහැති බොදු පිරිසට අතුල් පහරක් මෙන් විය. කෙසේ වෙතත්, ගෞතම බුදු සසුන බබළවාලීමට කාලානුරූපව මනුලොව පහළ වූ තවත් එක් සුවිශේෂී සුපින්වත් චරිතයක් එසේ මෙලොව හැර ගියේ ය. එවැනි සුපින්වත් අත්‍යුත්තම චරිතයන් ඉන් අනතුරුවත් බුදු සසුන වෙනුවෙන් තම යුතුකම් කොටස ඉටුකිරීම පිණිස මනුලොව වැඩම කළහ. ඉන් සමහරෙක් දැනටමත් වැඩ වෙසෙන්නාහ. එම දුර්ලභ සත්පුරුෂයන් වහන්සේලා හඳුනාගැනීමටත්, උන් වහන්සේලා ඇසුරේ සසුන් පිළිවෙත් වැඩීමෙන් මේ නිමා නො වන සසරේ කෙළවරක් දැකීමටත් අපට ද වාසනාව උදා වේවා..!

චරිතාපදාන සටහන
මොහාන් සේනාරත්න