ලෝකයේ කොතෙකුත් මිනිසුන් ඉපදේ. එසේ ම කොතෙකුත් මිනිසුන් මිය යති. එ් අතරින් ඉතා සුළුතරයක් පමණක් ස්වකීය සමාජ වටපිටාව තුළ යහවාදී විප්ලවයන් කරලන්නට සමත් වෙති. එවන් මිනිසුන් ජීවත් ව සිටින තාක් කල් නින්දා අපහාස, උපහාස, ගැරහීම් සහ හෙළා දැකීම් ඔවුන් කරා ඇදී එයි. අයහපත යහපත යැයි හුවා දක්වන සහ ළඟ මිස දුර නො දකින සමාජ වටපිටාව, දුර දකිමින් සියුම් ව කල්පනා කරන අසාමාන්‍ය චිත්ත ස්වභාවයන් හඳුනාගැනීමට දක්ෂ නො වීමේ ප‍්‍රතිඵලය එය යි. එසේ වූවා කියා එ් අපූර්ව මිනිසුන් පසුබසින්නේ නැත. මුළුමහත් සමාජයක යහපත වෙනුවෙන් ඔවුහු දිවි පරදුවට තබා ඇප කැප වෙති. එවන් මිනිසුන් ජීවිතයෙන් නික්ම ගිය කල්හි ඇති වන හිඩැස වසාලීම අතිශයින් දුෂ්කර වන්නේ ඔවුන් සැබැවින් ම විරල ගණයේ මිනිසුන් වන නිසා ය.

මිට වසර 12කට පෙර එළඹි උඳුවප් මාසයේ එවන් උදාරතර යතිවරයාණන් වහන්සේනමක් දැයට අහිමි වීමත් සමඟ ශ්‍රී ලාංකේය ජන සමාජයේ ඇති වූ හිඩැස ද සුළුපටු නො වේ. දැයක් අවදි කළ යතිවර හඬ වූ අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අභීත ස්වරය හමුවේ අවලාද නැගූවන්ට පවා අද සිදු ව ඇත්තේ එදා උන්වහන්සේ දුටු අනාගතය අප අත්විඳින බව දකින්නට ය.

1948 අපේ‍්‍රල් 24 වැනිදා දොන් ධර්මදාස මහතාගේත්, චාලට් වීරතුංග මාතාවගේත් පුත‍්‍ර රත්නයක් ලෙස ගංගොඩවිල දී උපත ලද අපගේ සෝම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වයස අවුරුදු 26 දී අති පූජනීය මඩිහේ පඤ්ඤාසීහ සහ අති පූජනීය අම්පිටියේ රාහුල යන ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වය යටතේ ගංගොඩවිල සෝම යන නමින් අරහත් ධජය දරා ගත්හ. එ් කාලය වන විට තිසරණය වෙනුවට දේව විශ්වාස පෙරටු කොට ගත්, නිවසකට වුවමනා කළමනා ටිකක් ආහාරපාන ටිකක් වෙනුවෙන් තිසරණය බැහැර කොට අන්‍යාගමික මත වැළඳ ගත් සිංහලයන් ප‍්‍රමාණය වැඞී වර්ධනය වෙමින් තිබුණි. මේ තරුණ යතිවරයාණන් වහන්සේ සිංහල බෞද්ධයාට සිදු වී ඇති මේ මහා ඛේදවාචකය දැක කම්පා වූවෝ මැණික පසෙක ලා ගල්බොරළු ඇහිඳ ගන්නා බෞද්ධ සමාජය ආමන්ත‍්‍රණයට මංපෙත් සෙවූහ. එ් ගවේෂණයේ ප‍්‍රතිඵලය වූයේ විචාරශීලීව සිතිය හැකි ජනයාට සිතන්නට නවමු මංපෙතක් විවර කළ සරල විවරණයන් ද ඍජු තරවටු කිරීම් ද සහිත වූ අසාමාන්‍ය වාග් කෞෂල්‍යයකින් යුතු වූ සංඝයා වහන්සේනමක් බිහි වීම ය.

‘තරුණ සවිය’ සංවිධානය පිහිටුවමින් රටේ තරුණ පරපුර ධම්මානුධම්ම ප‍්‍රතිපදාවට ගෙන එ්මේ මුල් පියවර තැබූ සෝම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ එකී ධර්ම ප‍්‍රචාරමය වැඩපිළිවෙළ කෙතරම් සාර්ථක වූවා ද යන්න තහවුරු කළේ උන්වහන්සේ ප‍්‍රමුඛ කොටගෙන සම්බුද්ධ ශාසනය වටා රොද බැඳ ගත් අති මහත් තරුණ ප‍්‍රජාව යි. නොයෙක් රටවල ද වැඩ වෙසෙමින් ධර්ම ප‍්‍රචාරයේ යෙදුණ උන්වහන්සේ ධර්ම විනය තුළ මැනවින් සුපෝෂිත ස්වකීය ජීවිතය ම අන්‍යයන්ට පූර්වාදර්ශයක් කරලමින් මේ ලක් දෙරණේ මිසදිටු බිඳ දමන කාහල නාදයක් ව යළි මෙරට වැඩ විසීම ඇරඹූහ. මහරගම සිරිවජිරඤණ ධර්මායතනයෙන් සසුනඹර පුරා පැතිර ගිය එ් අප‍්‍රමාණ ආලෝකය තිසරණය දෙවැනි කොට අඳුරේ ගිලී ගත් සිංහල බෞද්ධ ජීවිත තුළ නැණ පහන් දල්වන්නට සමත් විය. ‘අඳුරෙන් එළියට’, ‘නැණ පහන’ වැනි සජීව රූපවාහිනි වැඩසටහන් ඔස්සේ උන්වහන්සේ ධර්ම ප‍්‍රචාරයේ යෙදුණ සුවිශිෂ්ට සම්ප‍්‍රදාය නිසාවෙන්, අද වන විට ටෙලි සිත්තම් වෙත දෑස් අලවා ගන්නට හුරුව සිටින සමාජය වෙනුවට එදා තිබුණේ සියලූ වැඩ අවසන් කොට එ් අභීත දහම් ස්වරයට සවන් දෙනු වස් රූපවාහිනිය වෙත පැමිණි සමාජයකි. ළමා වයසේ හුන් අප පවා එකල රාත‍්‍රියේ අවදියෙන් හිඳිමින් ටී. එන්. එල්. රූපවාහිනිය නැරඹූ කල්හි එ් අපූර්ව වාග් සංධ්වනිය හද පුරා වැළඳ ගත් වැඩිහිටියන් අවදියෙන් සිටීම ගැන කවර කථා ද…

උන්වහන්සේගේ හඬට එරෙහි ව බලමුළු නැගුනේ සුළුවෙන් නො වේ. බුද්ධප‍්‍රතිමා ගෘහයට වඩා දේවාලය පෙරටු කොට ගත් ඇතැම් බෞද්ධයන් ද දේවාතිදේව වූ සම්බුදුරජුන්ගේ සරණයට පැමිණෙන්න යැයි දැඩි ව කියන, තිර ව කියන, ඍජු ව කියන මේ යතිවරයාණන් වහන්සේ හා උරණ වූහ. සම්බුදු දහමේ හරයන් නසා අන්‍යාගමික චින්තන රටාවන් වෙත සිංහල බෞද්ධයන් ගෙන යන්නට කැස කවමින් ප‍්‍රත්‍ය ලාභයන් අල්ලස් කොට දෙමින් හුන් ව්‍යාපෘතීන්වල පිරිස් ද උන්වහන්සේගෙන් එල්ල වන අභියෝගය හමුවේ අමනාපයට ද කලබලයට ද පත් වූහ. ඔවුන් උරණ වූවා කියා හෝ තර්ජන ගර්ජන එල්ල වූවා කියා හෝ එ් හඬ පසුබැස්සේ නැත. එ් නොපසුබස්නා උට්ඨාන වීර්යයේ ප‍්‍රතිඵලයක් ලෙස ගෞතම සම්මා සම්බුදු සසුනේ පිහිට ලබන්නට පුණ්‍යවන්ත වූ, ඤණවන්ත වූ ජනයා දිවි හිමියෙන් තිසරණයේ පිහිටිය හ. ධන කුවේරයන්ගේ නොමඳ අනුග‍්‍රහ ලබමින් අප රට තුළ ක‍්‍රියාත්මක වූ අන්‍යාගම්කරණ ව්‍යාපෘතීන් යම් තරමකින් හෝ අඩපණ වූයේ ද උන්වහන්සේගේ නැගී සිටීම හමුවේ ය.

ආගමික අන්තවාදය මතු දිනෙක රට අනතුරේ හෙළනු ඇති බව ප‍්‍රකාශ කරමින් සෝම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ එයට එරෙහි වන වැඩපිළිවෙළක අවශ්‍යතාවය ඉස්මතු කරද්දී බොහෝ දෙනා දොස් නැගුවේ ජාතිවාදී මුහුණුවරක් උන්වහන්සේට ආරෝපණය කරමිනි. නමුත් උන්වහන්සේ එරෙහි වූයේ ලාංකේය බෞද්ධ සමාජ පෙවත හා අනුගාමීව වාසය කරන අන්‍යාගමිකයන්ට නොව අන්තවාදී ආගමික මත කරපින්නාගෙන අන් සියල්ලන් කෙරෙහි වෛරය, ද්වේෂය පතුරුවන අන්තවාදීන්ට බව ඔවුන් සිහි කළේ නැත. අවසානයේ ජාතිවාදී ලේබලයෙන් සෝම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ චෝදනා ලැබූහ. එහෙත් අපවත් වන තුරු ම උන්වහන්සේ එ් අනාගත තර්ජනය ගැන හෙළි කිරීම නැවතුවේ නැත. අද ලෝකය මුහුණ දෙන අන්තවාදී ආගමික ත‍්‍රස්තවාදයත්, ඇතැම් ශ්‍රී ලාංකිකයන් ද එ් හා එක්ව සිටින බවට තහවුරු කර ගත් වාර්තාත්, ශ්‍රී ලංකාව ද එකී ත‍්‍රස්තවාදයේ ගොදුරුබිමක් කරන බවට අන්තවාදීන් දක්වා ඇති භූමි සිතියමත් ඔප්පු කරන්නේ මින් වසර ගණනකට පෙර උන්වහන්සේ දුටු එ් අනතුර අද අප කරා එළඹ ඇති බව ය.

ජන සමාජයේ අවාසනාවකට මේ ලෝකයට වඩාත් යහපත සලසාලිය හැකි මිනිසුන්ගේ දැක්ම අගය කිරීමට බඳුන් වන්නේ එ් මිනිසුන් අහිමි වූ පසු ය. සෝම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ඍජු පිළිවෙත සම්බන්ධයෙන් ද එ් කාරණය පොදු ය. උන්වහන්සේගේ මෙහෙය ලඝු කොට දැක්වූවෝ විපත උරුම කර ගත් අතර එ් යතිවර දැක්මට අනුව යමින් සම්බුදු මඟට අනුගත වූවෝ සැපත උදා කර ගත්හ. ඊයේ සේ ම අද ද හෙට ද එහි වෙනසක් වන්නේ නැත.

වාදීභසිංහයෙකු ලෙසින් සසුන් කෙත සිහනද කරවමින් අපේ තිසරණය රකින්නට අප‍්‍රමාණ වෙහෙසක් ගත් උන්වහන්සේ සැක සංකා උපදවන මරණයකට රුසියාවේ දී මුහුණදුන්නේ 2003 වර්ෂයේ දෙසැම්බර් මස 12 වනදා ය. සසුනඹරට පෑයු ‘සෝම’ නම් සඳ මඬල මෙසේ බැස ගිය ද ජාතියක අභිමානය සුරකිමින් නිර්භීත ව, විසාරද ව දායාද වූ එ් අප‍්‍රමාණ ආලෝකය තවමත් නො සිඳී ගලන්නේ ය. එ් ආලෝකය ම තිසරණය සුරකින උතුම් ශ‍්‍රාවක පිරිසක් බිහි කරලමින්, කලණ වැට නො සිඳින ශ‍්‍රාවක සංඝරත්නයේ පියසටහන් පොබ කරවන යතිවර ලකුණක් ද වන්නේ ය.

අප රැස් කරන සියලූ පුණ්‍යානුභාවයන්ගෙන් අපගේ අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ සසර මඟ සුවපත් වේවා!. මේ දහම් දිවයින දහම් ස්වරයෙන් අවදි කළ එ් උතුම් සඟ රුවනට අමා නිවන් සුව දුර නො වේවා!

– මහාමේඝ –