ඊයේ රාත්‍රියේ නින්දට ගිය සමහර උදවිය අද දවසේ අවදි වුණේ නෑ. ඒ නින්ද ඔවුන්ගේ අවසන් නින්ද බවට පත් වුණා. ඒත් ඔබට එහෙම වුණේ නෑ… ඔබ අද දවසට අවදි වුණා. මේ වෙලාවේ ඔබ දහම් ලිපියකුත් කියවනවා. ඇත්තටම ඔබ ගොඩාක් වාසනාවන්තයි. ජීවිතයට උරුම වුණ ඒ වාසනාව ගැන සතුටු වෙන්න… හැබැයි… අද දවසේ අවදි නොවුණ යම් පිරිසක් මුහුණ පෑ ඒ ඉරණමට ම ඔබටත්, මටත් නිසැකව ම මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේ ජීවිතය දෙපැත්තෙන් ම තියෙන්නේ මරණය මිසක් ජීවත් වීමක් නෙමෙයි කියලා ධර්මයේ කියැවෙනවා. ආයෙමත් උපතක් කරා යොමු වුණ – මොන වෙලාවක හරි අහිමි වෙලා යන ජීවිත ඇති ව තමයි අපි මේ බොහෝ හැලහැප්පිලි මැද්දේ ජීවත් වෙන්නේ.

අප අවදි වුණ ලෝකය…

අප දැන් සිටින්නේ අවදියෙන්. ඒ විදිහට අද දවසටත් අවදි වීමේ වාසනාව ලැබුණු අපට මුණගැසෙන ලෝකය මොන වගේ ද…?

දැනුම්තේරුම් ඇති කාලේ ඉඳල ම අප අකමැති, අප්‍රිය අමනාප දේවල් එක්ක මුහු වෙන්න අපට සිද්ධ වුණා. අපි කවුරුත් ජීවිතේ අඩුවැඩි වශයෙන් මේ දේවලට මුහුණපාලා තියෙනවා. ඉදිරියේදීත් එහෙම තමයි. මේ ලෝකයට අනුව පෙරළී යන ධර්මතා අටක් තිබෙනවා. ඒ ධර්මතා අට අනුව මේ ලෝකයත් පෙරළී යනවා. ඒ තමයි අත පා නවත්වන්නට බැරි රෝදය…!

ඒ හින්ද ම සැප වගේ ම දුකත්, ප්‍රශංසා වගේ ම නින්දාත්, ලාභ වගේ ම අලාභත්, යසස වගේ ම අයසත් අපේ ජීවිත කරා එළඹෙනවා. අපි මොනතරම් ගුණයහපත් ව සිටියා වුණත්, පින්දහම් කරගෙන සිටියා වුණත්, බලසම්පන්න ව සිටියා වුණත් ලෝක ධර්මතා අප කරා එළඹීම වළකින්නේ නැහැ…

කැමති වූ පමණින් නොලැබෙනා දේවල්…

කෙනෙකුට පවුල් පසුබිම බොහොම සුවපහසුවෙන්, දරු මල්ලෝ කීකරු ව, පින්දහම් කරගෙන, ධාර්මික ව සුවසේ රැකීරක්ෂා කටයුතුත් කරගෙන – සොර සතුරන්ගෙන්, රෝග පීඩාවන්ගෙන්, අව්වැසිවලින්, රෝබියෙන්, සතෙක් සීපාවෙක්ගෙන් අතුරු ආන්තරාවක් ද නොවී නිවීසැනසිල්ලේ ජීවත් වෙන්න ලැබෙනවා කියන්නේ ලබන්නට දුර්ලභ, ඉෂ්ටකාන්ත, ප්‍රියමනාප කාරණාවක්. එහෙත්, කැමති වූ පමණින් නොලැබෙන දෙයක්.

එදිනෙදා ජීවිතයේ අනිවාර්යයෙන් ම ගනුදෙනු කරන්නට සිදුවන පවුල, රැකියාව, සමාජ වටපිටාව කියන තැන්වල දී බොහෝ දෙනෙකුට නිතර නිතර මුණැසෙන්නේ නම් මේ දුර්ලභ, ඉෂ්ටකාන්ත, ප්‍රියමනාප දේවලට ප්‍රතිවිරුද්ධ කාරණාවන්. ඒ නිසයි, බොහෝ උදවිය පීඩාවට පත් වෙලා, කරදර තැවුල් පිරී ගත්තු සිත් ඇතිව, දුක්ඛිත ව ජීවත් වෙන්නේ…

ජීවිතයේ හැලහැප්පිලි…

එතකොට… ‘එහෙම ලෝකයකට උදේ අවදි වෙන්න වීම වාසනාවක් ද?’ කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම ජීවිතයේ හැලහැප්පිලි මැද්දේ ඉන්නකොට ‘මෙහෙම ජීවත් වෙන්න වෙච්චි එක නම් මහා අවාසනාවක්’ කියලා හිතෙන – හිතන බොහෝ දෙනෙකුත් අප අතරෙ ම ඉන්නවා.

පවුල අසමඟි වෙද්දි… නපුරු දරුණු කර්කශ වචන අහන්න ලැබෙද්දි… සුදුසුකම්වලට සුදුසු තැන නොලැබෙද්දි… පෞද්ගලික පලිගැනීම්වලට ලක් වෙද්දි… පණ වගේ ආදරෙන් උන්නු උදවිය වෙනස් වෙලා යද්දි… අඹුදරුවෝ අකීකරු වෙද්දි… භවභෝග සම්පත් වැනසී යද්දි… සේසත ම වැය කළ යුතු තරමේ දරුණු මාරාන්තික ලෙඩරෝගවලට මුහුණ දෙන්න සිද්ධවෙද්දි… ගුටි බැට තාඩන පීඩන අපහාස අවලාද නැගෙද්දි… සතාසීපාවන්ගෙන් හරි දිගින් දිගට ම විපත් සිදු වෙද්දි… අනේකවිධ සමාජ අසාධාරණයන්ගේ ගොදුරු බවට පත් වෙද්දි… අව්වෙන් වැස්සෙන් පවා අතොරක් නැතිව පීඩා එළඹෙද්දි… ඇත්තටම එහෙම ලෝකයකට අවදි වෙන එක වෙහෙසක්, බරක් විදිහට දැනෙන එක ගැන වරදක් කියන්නට බැහැ…

මොකක්ද මේ ලෝකයට ඇස් ඇරලා අප ලබන වාසනාව?

මිනිස් ලොවෙන් පහළට සහ ඉහළට…

හැබැයි… දුක සැප මිශ්‍ර මේ මනුස්ස ලෝකයටත් වඩා බොහෝ පීඩා උපදිනවා අපාය භූමිවල. සෙම සැරව සොටු ලේ කුණුමස් අසූචි ආදියෙන් යැපෙන නීච තිරිසන් සතුන්, ප්‍රේතයින්, යක්ෂයින් ඒ කෑම ටික හොයාගන්න පවා නිමක් නැති අරගලයක නිරත වෙලයි ඉන්නේ. නිරි සතුන්ට හැමවෙලේ ම ස්පර්ශ වෙන්නේ කටුක දුක් වේදනාවන්. සාධාරණය – අසාධාරණය ගැන සිතන්නට ඉඩක්, හඬ නගන්නට පුළුවන්කමක් ඒ ලෝකවල නෑ. ඒ ලෝකවලින් බේරිලා මේ මිනිස් ලෝකයේ ඉපදුණා කියන්නේ එපමණකින් ම වාසනාවක්. හැබැයි, ‘අද උදේ අවදි වෙද්දි ඔබට අපට තිබුණ වාසනාව’ කියලා අප අදහස් කළේ ඒ ගැන නම් නෙමෙයි…

මනුස්ස ලෝකයෙන් ඉහළට දිව්‍යතල දක්වා සිතද්දි ඒවායේ සැප බහුලයි. වෙහෙස, පීඩාව අවමයි. වඩාත් උසස් උපතක් විදිහට සැලකෙන බ්‍රහ්මතලයේ දී ඒ සැපවත් භාවය උත්කෘෂ්ඨයි. හැබැයි, එවන් තැනක උපත ලැබූවත් ඒ කෙනා සතර අපායෙන් නිදහස් නොවූ කෙනෙක් නම්… ආයෙ ආයෙමත් සසරට ම ඇද වැටෙන කෙනෙක් නම්… ඒ උපතත් බොහොම තාවකාලික සුවපහසුවක් පමණයි සලසන්නේ. ඇත්තටම ඒ කිසිදු උපතක් සසර පීඩාවනට පිළියමක් නෙමෙයි.

නොපෙරළීම පිණිස වූ වාසනාව…

සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයට පහළ වෙලා කියා දෙන්නේ සතර අපායෙන් සදහට ම නිදහස් වන ආකාරය… සුගතියේ නිසැක රැකවරණ ලබන ආකාරය… සියලු දුක් රැසින් මිදී අමා නිවනින් නිවී සැනසී පරිපූර්ණ සැපයට පත් වන ආකාරය… ඒ පරම ශ්‍රේෂ්ඨත්වය උපදවන උතුම් ශ්‍රී සද්ධර්මය යම් කෙනෙකු පුරුදු පුහුණු කරද්දී ඒ කෙනා තුළ අන් දෙයකින් බිහි නොවන ආකාරයේ සුවිශේෂී ශක්තියක් බිහි වෙනවා. අන්න ඒ ශක්තිය තිබෙන කෙනා පෙරළී යන ලෝක ධර්මයන් හමුවේ නොපෙරළෙන සිතක් ඇත්තෙක් බවට පත් වනවා…

සාමාන්‍ය ලෝකයේ ස්වභාවය තමයි ලෝක ධර්මයන් හමුවේ සැලී යාම, මැඩී යාම, පෙරළී යාම. ඒ නිසා, සැපය ප්‍රශංසාව ලාභයන් සහ යසස ජීවිතය කරා එළඹෙද්දී ඔවුන් අසීමිත ව උදම් අනනවා. දුක, නින්දාව, අලාභයන් සහ අයස ජීවිතය කරා එළඹෙද්දී ඔවුන් ශෝක හුළෙන් පහර කනවා, අප්‍රමාණ ව පීඩාවට පත් වෙනවා, සැලී යනවා. ඔව්, ලෝකය සාමාන්‍යයෙන් අෂ්ට ලෝක ධර්මයන් හමුවේ කම්පා වෙනවා.

ඒ කම්පා වීම නිසා ම ඔවුන් රාග, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයනට යට වනවා. සිතින්, කයින්, වචනයෙන් නොයෙක් අකුසල් කරනවා. මේ අකුසල් සිද්ධ වෙන්නේ දුක, නින්දා, අලාභ, අයස හමුවේ විතරක් නෙමෙයි; සැප, ප්‍රශංසා, ලාභ, යසස හමුවේත් අකුසල් උපදිනවා. ලෝකය දිව යන මේ රෝදය නවත්වන්නට අපට බැහැ. හැබැයි, සම්බුද්ධ ශාසනයක ඒ පෙරළෙන රෝදය එක්ක ම පෙරළී යාම වළක්වන ආකාරයට සහ ඒ ඔස්සේ ආයේ ආයෙමත් සසරට ඇද වැටීම වළක්වන ආකාරයට අප ඒවාට දක්වන ප්‍රතිචාරයන් සංස්කරණය කර ගන්නා ක්‍රමය පුරුදු පුහුණු වෙන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඒ ප්‍රතිපදාවේ යෙදෙන්නට අවකාශ සහිතව සිටිය දී ම ඔබ අප අද අවදි වුණු එකයි අපේ සැබෑ ම වාසනාව…!

ලෝකයෙන් නිදහස් වෙමු…!

ඉපදෙනතාක් කල් ලෝක ධර්මයන් හා අපට ගනුදෙනු කරන්නට සිද්ධ වෙනවා. ඒක බුද්ධ ශාසනයක් ලෝකයේ තිබුණත්, නොතිබුණත් වෙනස් වන කාරණයක් නොවෙයි. නමුත්, බුද්ධ ශාසනයක් පවතිද්දී පමණයි භවගාමී සිතේ පෙරළී යාම ගැන නුවණින් දකින්නට අවස්ථාව සැලසෙන්නේ. ලෝකය අනුව, ලෝක ධර්මයන් අනුව නොපෙරළී සිටීම පිණිසයි අප ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාස්තෘත්වය සිරසෙහි දරා ගනිමින් තම තමා ගැන සෙවිය යුත්තේ.

ලෝකය ගැන සොයන, ලෝකය හා දුවන, ලෝකය හා පොරබදන උදවියට ඒ ලෝකය ම ආයෙ ආයෙමත් උරුම වෙනවා. ලෝකය තම වසඟයේ පවත්වන්නට වෑයම් කිරීම පසෙක තියලා තමන් ව සොයන උදවියට ලෝකයේත් කෙළවර දකින්නට නුවණැස විවර වෙනවා. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයෙහි වෙසෙමින්, ලෝකයට නොඇලී, ලෝකය හා එක් නො වී හුදෙකලාවේ – හුදෙකලා සිතින් යුතුව ම වාසය කළේ ඒ මහා ප්‍රඥාවෙන් යුතුවයි. ඒ අපගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා!

අත්නොහැර ධර්මය පුරුදු කරන්න. අත්නොහැර වීරිය වඩන්න. අත්නොහැර පුණ්‍ය නිධානය තැන්පත් කරගන්න. අපේ ඇස් ආයෙමත් මේ ලෝකයට විවර නොවන දවසක් එනවා. අද ද හෙට ද කවුද දන්නේ…? අප සිටින්නේ ලෝකයෙන් නිදහස් වීම පිණිස වූ ප්‍රතිපදාවේ පිහිටා නම්…, ඒ දවස අද වුණත් – හෙට වුණත්, කමක් නැහැ නේද…!

සටහන – උදුලා පද්මාවතී.