මහා විහාර භූමිය පුරා රැව් දුන් බෙරහඬට එක්රැස්වූ නිසල් සිතින් වැඩ සිටින මහා සඟරුවන අබියස හේ මහත් ආදර ගෞරවයෙන් පසඟ පිහිටුවා වන්දනා කළේ ය. “ස්වාමීනි, ධාතු ගර්භයේ කටයුතු අවසන් කළෙමි. ධාතු නිධානය හෙට දිනයේ සිදු කරන්නෙමි. ධාතූන් වහන්සේලා පිළිබඳ කටයුතු ඔබවහන්සේලා දන්නා සේක්වා!”

මේ, ඉතිහාසයේ අරුණැල්ලෙන් තවමත් ලක්දිව ආලෝකවත් වී පවතින 404 වන ශ්‍රී බුද්ධ වර්ෂය යි.

ගෞතම බුදු සසුනේ නිවන් අම ඵල දරනා යුගයක් මෙන් බුදු සසුනට අම නිවන් පින් ඵල සපුරනා යුගයක් සම්මුඛ වූ මේ සොඳුරු යුගය ප්‍රබෝධවත් කරමින් ධර්මද්වීපයේ ගගනතලය අරා නැගී ආ මහාමේඝය ඔහු ය. දානයත්, සීලයත්, ඍජු බවත්, මෘදු බවත්, තපසත්, ක්‍රෝධ රහිත බවත්, හිංසාවෙන් තොර බවත්, ඉවසනසුලු බවත්, විරුද්ධ නොවන බවත් දිවියට පණනල මෙන් ඔහුව අත්නොහැර පැවතියේ ය. ඔහු තුළ වූ ශාස්තෘ ගෞරවයත්, සම්බුදු සසුන කෙරෙහි වූ මමායනයත්, සඟරුවන කෙරෙහි පැවති විස්මයජනක ආදර ගෞරවයත් සැබැවින්ම අනාගත මුනිවරයෙකුගේ අපදානයක පෙර නිමිති කියා පෑවේ ය.

පිනෙන්, යසපිරිවරෙන්, ධෛර්යය සම්පන්න බවින්, තේජෝබල පරාක්‍රමයෙන් බබළමින් එකල දහම්දීපයේ සිහසුන අරා වැඩසිටි මහ රජු වනාහි, ගාමණී අභය හෙවත් දුටු ගැමුණු ය.

මහබෝ සෙවණේ රැස් වූ මහ සඟරුවන ද අවසන් වශයෙන් ද්‍රෝණයක් වූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීම මහාබල ඇති, ෂඩ් අභිඤ්ඤාලාභී අපගේ සෝනුත්තර මුනිඳුන්ට භාර කළහ.

සියල්ල මෙසේ සිදුවෙද්දී දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳාණෝ දේව සභාව කැඳවීය. සිදුවන ධාතු නිධානය සඳහා අනුරපුරත්, ලංකාද්වීපයත් දෙව්සිරින් සැරසීමට විස්කම් දෙව්පුතුට භාර කෙරින.

ලක්දිව පුරා අඬහැර පැතිරී ගියේ ය. ධාතු නිධානයට පැමිණෙන කිසිවෙකුටත් අහරින්, පැනින්, වස්ත්‍රයෙන්, මල් ගඳ සුවඳින් අඩුවක් නොවීය.

උදාවූ ඇසළ පුන් පොහොය දින සවස් යාමය වනවිට රාජාංගනය පුරාවට නොයෙක් අභරණින් සැරසී ගිය, පුද පූජාවන් දෝත දරාගත් රාජරාජමහාමාත්‍යයන්, පුරස්ත්‍රීන්, නාටිකාංගනාවන් සහ සිවුරඟ සේනාවෙන් පිරී ගියේ ය.

ස්වර්ණාභරණයෙන් සරසන ලද කඩොල් ඇතු පෙරහැරේ ආරම්භයට මහත් තේජසක් එක් කළේ ය. සුදෝසුදු අජානීය අශ්වයන් සිව්දෙනෙක් යොදවන ලද මනරම් මංගල රථයෙහි සුදු සේසත යට ස්වර්ණාභරණයෙන් සැරසුන දුටු ගැමුණු මහ නිරිඳු මාහැඟි ස්වර්ණකරඬු රාජයා දෝත දරා සිටියි. මේ සොඳුරු දසුන නන්දන උයනට ගමන් ගන්නා සක් දෙවිඳාණෝ මිහිමත වැඩමවීම බඳු විය.

නුවර සිසාරා ඒකනින්නාද වී ගිය සක් හඬත්, ඒ සමඟම නද දුන් පංචතූර්යයත් ගැමුණු නිරිඳුගේ ගමනාරම්භය බව දැනගත් අපගේ සෝනුත්තර මුනිඳු එහිම පොළවේ කිමිද නා භවනේ පහළ වූ සේක. ධාතු සඟවා සිටින නා රජුට කරුණු පහදා දුන් සේක. නා රජුගේම වචනය ගෙන මහා ඉඳුබල පාමින් නාලොවින් ධාතු රැගෙන මහා සෑ මළුවෙන් මතු වී වදාළ සේක. විස්කම් දෙව්පුතු මැවූ රුවන් මණ්ඩපයේ රුවන් කරඬුවට සක්දෙවිඳාණෝ ධාතූන් වහන්සේලා පිළිගත්තෝ ය. එහි රුවන් ආසනය මත ධාතූන් වහන්සේලා වඬා හිඳුවා විජයොත් සංඛය දෝත දරා එකත්පස් විය. සහම්පතී මහබඹු, සන්තුසිත දෙව්රජු, සුයාම දෙව්රජු…, දිව්‍ය සේසත්, දිව්‍ය චාමර, මාණික්‍ය, වටාපත දරා වැඩ සිටිය සේක. කඩුගත් අත් ඇති සතරවරම් දෙව්රජවරු සිව්දිශාවේ රැකවල් යෙදූහ. මරහුගෙන් විය හැකි අනතුරු වළකාලීමට මහා බල ඇති අපගේ ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ ලෝහ ඡත්‍රයක් මවාලමින් සක්වළ අහස වසාලූ සේක.

මහා සඟරුවනේ සූත්‍ර සජ්ඣායනා ස්වරය අමා මිහිර ගෙනදෙමින් ගුවනට එක්වී ගියේ ය. ඇසළ සඳ සෞම්‍ය රශ්මිමාලා විහිදුවමින් අහසේ නැගී ආයේ ය.

කසාවතේ අසිරියත්, දහම් ස්වරයේ සුවයත්, දේවපුද පෙරහැරේ අසිරියත් නෙත්සිත් පුරා විඳගනිමින් රන් කරඬුව සිරස දරා සැපත් වූ ගාමිණී මහ නිරිඳු දිව්‍ය මණ්ඩපයේ රන් කරඬුව තැන් පත්කොට ඒ තුළ රුවන් දා කරඬුව වඩා හිඳුවා රහත් මුනිවරුන්ට වන්දනා කොට එකත්පස් විය.

“ස්වාමීනි, ලෝකනාථ වූ අපගේ ශාස්තෘන් වහන්සේ දිව්‍ය ඡත්‍රය, මනුෂ්‍ය ඡත්‍රය, විමුක්ති ඡත්‍රය යන ත්‍රීඡත්‍රධාරී වන සේක් නොවේද!” යි පවසා, “සද්ධර්ම චක්‍රවර්තී වූ ධර්මරාජයන්ට මාගේ මේ රාජ්‍යය පූජා කරමි.” යි අපමණ සැදැහෙන් තෙවරක් ලංකා රාජ්‍යය ධාතූන් වහන්සේලාට පූජා කළේ ය.

දා කරඬුව සිරසේ දරා ගත් ගාමිණී නිරිඳු මහ සඟරුවන පිරිවරා මහ සෑ වටා පැදකුණු කර නැගෙනහිර පියගැට පෙළ නැග ධාතු ගර්භයට පිවිසියේ ය. අනූහය කෝටියක් පමණ වූ ඒ මහා සඟරුවන රත්වළා ගැබක් සේ මහ සෑ රජු හාත්පස පිරිවරා ගත් සේක.

ඇසළ සඳේ රැස් දහරිනුත්, දිව්‍ය ආලෝකයෙනුත් අඳුර නැසූ මහා සෑ ඇති පෙදෙස දෙස පහළ මළු පුරා පිරී ඉතිරී සිටින දෙනෝදහක් දෙන දෑත් ඉස් මත දරා නෙත් දල්වා බලා සිටියහ.

අහෝ! අසිරියකි… අහෝ! සුදුර්ලභ දසුනකි…

එක්වරම අවට පැතිරී තිබූ සියලු ආලෝක අභිබවමින් මහා ආලෝක කදම්භයක් සෑ ගර්භය තුළින් ගුවනට විහිදී ගියේ ය.

මිහිමතින් ගුවනට නැගෙනා හිරුමඬලක් ලෙසින් ගුවන්තලයට වැඩම කරන ධාතු කරඬුව දුටු ගැමුණු මහ නිරිඳුන් නිම්හිම් නැති සතුටින් සාදුකාර දෙන්නට විය. රාව ප්‍රතිරාව දී ඇසෙනා සාදු නාදය මැද දා කරඬුව ඉර්ධියෙන් විවර වී ගියේ ය.

ඉහළ අහස් තලයට වැඩම කළ අප මුනි ධාතූන් නොපෙනී ගියේ ය. ගුවන්තලය අරා වැඩ සිටින, දෙතිස් මහා පුරුෂ ලකුණින් බැබළී ගියා වූ, අනූවක් අනුව්‍යංජනයෙන් ස්වර්ණ වර්ණ බුද්ධ රූපකාය දිස් වීය.

නෙත් අදහාගත නොහැකි වූ බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩී ගිය දෙව්මිනිසුන්ගේ ගත සිසිල් පැන් පොදින් සනසාලමින් විහිදී යන තේජෝ රශ්මි කදම්භයන්ගෙන් සක්වළ ගැබ ආලෝකවත් කරමින් යමක මහා ප්‍රාතිහාර්යය අසිරිය දිස් වී ගියේ ය. ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවෝ දසත විහිදී ගියහ. දොළොස් කෝටියක දෙව්මිනිසුන් බුදුරුවෙහි අසිරිය විඳිමින් එකඟ වූ සිතින් සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වූහ.

අපමණ දෙව්මිනිසුන් අවශේෂ මග ඵල නිවනින් සැනසුනහ.

අහෝ! බුදු අසිරිය… අහෝ! බුදු කරුණාව…

අහෝ! බුද්ධ අධිෂ්ඨානය… අහෝ!

පුණ්‍යවන්තයින්ගේ සොඳුරු යුගය… බුද්ධකාය අත්හළ මුනි ධාතූන් කරඬුව තුළට වැඩම කොට නැවතත් ගැමුණු මහ නිරිඳුගේ සිරස මත පිහිටි සේක. අපගේ ඉන්ද්‍රගුප්ත රහත් මුනිඳුන් හා රාජකීය පිරිස සමඟ අති මනහර සොඳුරු සිරියෙන් දිලෙන සෑ ගැබ තුළ පැදකුණු කළ ගැමුණු රජු ධාතු ගර්භය මැද වූ රනින් නිමවූ බෝධිරුක යට වූ මාහැඟි රුවන් ආසනය මත තැන්පත් කළේ ය.

සුවඳ දියරෙන් දෑත් සෝදා ගති. සුවඳ හුණු තවරා ගති. කරඬුව විවර කොට මහත් ආදර ගෞරවයෙන් ධාතුන් වහන්සේලා මත තම දෑත තබන ලදී.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් ම දෙව් මිනිසුන්ගේ යහපත පිණිස අප මුනි ධාතූන් වහන්සේලා වැඩ සිටින සේක් ම ය. සතර අපා බයෙනුත්, දුක් විපාකවලිනුත් වළකා රැකවරණය දෙන සේක් ම ය. මේ සත්‍යානුභාවයෙන් අපගේ ශාස්තෘන් වහන්සේ එදා පිරිනිවන් සැතපුනු අයුරෙන් සැතපී වදාරන සේක්වා!” යි ගැමුණු නිරිඳු අදිටන් කළේ ය.

එය එසේම විය. ධාතු පරිනිර්වාණය යම් දිනක ද ඒ දක්වා ම බුදු සිරුර ඒ අයුරින් වැඩ සිටින සේක් ම ය. මිහිකත සැලී ගියේ ය. දිව්‍ය තූර්ය නාද, දිව්‍ය ගී රාව පැතිරී ගියේ ය. දිව්‍ය මදාරා පරසතු මල් අහසින් ඇදහැළිණ. දිව්‍ය සුවඳ විහිදී ගියේ ය. මිහිකත තුරු හිස මලින් පිරී ගියේ ය. නේක අසිරිසිරි දිස්වන්නට විය. නිම්හිම් නැති පහන් සිතින් ඔද වැඩී ගිය අපගේ ගැමුණු නිරිඳු නැවත වරක් සුදු සේසතින් ලංකා රාජ්‍යය දින හතක් පුරාවට ධාතූන් වහන්සේලාට පූජා කළේ ය. තම කයේ පැලඳ සිටි කහවණු තිස් ලක්ෂයක් වටිනා සියලු රාජාභරණ ධාතු ගර්භයෙහි ම පූජා කළේ ය.

එය බලා සිටි රාජරාජමහාමාත්‍යයන්, පුරාංගනාවන් සහ දෙව්පිරිස ද තමන් පැලඳ සිටි අභරණ පූජා කළහ. ධාතුගැබ වසන කටයුතු මහ සඟරුවනට භාර විය. සුමන උත්තර මුනිවරුන් අසූරියන් මේදවර්ණ පාෂාණ පියනෙන් ධාතුගැබ වසාලූහ. කෝටි ගණන් වූ ඒ මහා මුනිවරු මහා සෑ රජු පිරිවරා මෙසේ අදිටන් කළ සේක.

‘ගෞතම සම්බුදු සසුන ලොව පවතින තුරාවට පිදූ මල් පර නොවේවා! පිදූ සුවඳ නොවියළේවා! දැල්වූ පහන් නොනිවේවා! ධාතු ගර්භය තුළ ඇති කිසිවක් වෙනසකට පත් නොවේවා! මේදවර්ණ ගල් පුවරු සය සිදුරු නැතුව එක් වේවා!’

සාදු! සාදු! සාදු! ධාතු පරිනිර්වාණය තුරු ම ඒ අරහන්තක අධිෂ්ඨානය ඒ අයුරින්ම බල පිහිටා පවතිනු ඇත.

සාදු! සාදු! සාදු! මේ සොඳුරු සත්‍යය දරා ගනිමින්, තුන්ලොවට සෙතසුව සලසමින් විරාජමානව වැඩ සිටින අප සම්බුදුරජුන්ගේ ශ්‍රීමත් සුගන්ධ කුටිය වූ, දහම්ද්වීපයේ මිණිකිරුළ වූ ස්වර්ණමාලී මහ සෑ රජුන්ට අපගේ නමස්කාරය වේවා! සම්බුදු අනුහසින් සැමට සෙත් වේවා!

ඇසුර – මහාවංශය
ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව – සරල සිංහල අනුවාදය,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි