භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ රාජ්‍යය ජීවමාන කරවීමේ වාසනාව හිමි වූ ජාතිය අපි වන්නෙමු. අපට එක ම සරණ වූ ඒ බුදු සෙවණ සැපයක් ම ය, මහත් වූ ලැබීමක් ම ය.

එනිසාවෙන්මදෝ ‘බුද්ධ’ යන වචනය හා බැඳී යන කවරක් වුව ද අප හට ඇති කරවන්නේ ම හෘදයංගම වූ පූජනීයත්වයකි. ඒ ලේ නෑකමේ පටන් පැවත එන ‘අපේකම’ විය හැකි ය.

ලොවට සෙත සලසන්නා වූ ඒ අනුත්තරීය මනුෂ්‍ය රත්නය ගැන යමෙකු අල්පමාත‍්‍ර වූ පැහැදීමක් හෝ ඇති කර ගන්නේ නම් එය ඒකාන්තයෙන් ම ඔවුන්ගේ යහපත පිණිස වන්නේ ය. ඒ පැහැදීම ඇති කර ගැනීම පිණිස කවරෙකු හෝ මඟ කියන්නේ නම් ඒ මඟ කියන්නා ද මහත් පුණ්‍ය සම්භාරයකට උරුමකම් කියන්නේ ය.

අමෘතය වන් වූ ශී‍්‍ර මුඛ බුද්ධ වචන ගංගාව වචනයෙන් වචනය තෝරා බේරා දෙමින් අප සවන්පත් වෙත මුසු කරන ධර්ම දේශකයාණන් වහන්සේලා රැස් කරන්නේ ඒ පිනයි. බුදුගුණ කැටයමට හා සිතුවමට නගනා, පදවැලක මුසු කරනා, කවිපදයක තවරනා, ලියනා, කියනා, ගයනා, රඟනා කලාකරුවන් ද එකී ප‍්‍රසාදය ඇති කර ගැනීම පිණිස ලබා දෙන රුකුල සුළුපටු නො වේ. ශී‍්‍ර සිද්ධාර්ථ ගෞතම නම් වූ සිනමා කෘතිය ගැන අප කථා කළ යුත්තේ මේ පසුබිම සිහියේ තබාගෙන ය.

මේ කලා කෘතිය මෑත යුගයේ බුදු දහම කේන්ද්‍ර කොටගෙන සිදු කෙරුණු සුවිශාල ම කලා නිර්මාණයක් බවට විවාදයක් නැත. ඒ වෙනුවෙන් මේ නිර්මාණ කර්තව්‍යයට දායක වූ සියල්ලෝ ම අප‍්‍රමාණ වූ වෙහෙසක්, කැප කිරීමක් සිදු කරන්නට ඇත. ඒ දැරූ ප‍්‍රයත්නය අපි පළමුකොට අගය කරන්නෙමු. මන්ද, ලොව අවුළුවාලන, කුපිත කරවන, වියරුවට පත් කරවන හා නො මඟ යවන සුළු වූ සිනමා නිර්මාණ දහස් ගණනින් බිහිවන වල්මත් වූ යුගයක ජීවත් වන අපට මේ හරහා සිනමාකරණය සුභාවිත කරවීමට ලැබෙන ප‍්‍රවේශය අතිශයින් වටිනා නිසා ය.

සම්බුදු චරිතය වටා ගෙතෙමින් නිර්මාණය වූ ලොව පළමු නිර්මාණය මෙය නො වේ. තායිලන්තය වැනි රටවල්වල බුදුසිරිතේ යම් යම් අවස්ථා සිනමාවට නැගීම ඉතා සාර්ථකව අත්හදා බැලිනි. ඉන්දියාවේ නිෂ්පාදනය කොට අප රටේදී හඬ කවන ලද ‘අංගුලිමාල’ සිනමා සිත්තම ද ඒ ඉතිහාසය සිහිපත් කරන විට මතකයට නැගේ. බොහෝ සීමා මායිම් තුළ හිඳ වුව ද සාර්ථක වූ නිර්මාණයක් කළ හැකි බව ඒ හරහා ඔප්පු කරවන්නට එකී නිර්මාණවේදීන් සමත් වූහ. එහෙත් දිගින් දිගට ම එවැනි අර්ථවත් නිර්මාණ සිනමා කලාවේ පණ නැගුණේ නැත. ක‍්‍රමයෙන් ජනී ජනයාගේ සිත් සතන් වසඟ කරමින් කාම රැල්ලේ දුෂ්ටයා, වීරයා හා රූමතිය අතරට මැදි වුණ, ගී ගයමින්, නටමින් ගස් ගල් වටා කැරකෙන එක ම රාමුවේ නිර්මාණ එකක් පිට එකක් කලඑළි බසින්නට විය. එවැනි දෑ සමාජයෙන් ප‍්‍රතික්ෂේප නො වූ නිසාත්, බාල හැඟීම් ලාබෙට විකුණා ගත හැකි වීම නිසාත් සිනමාවට අරක් ගත්තවුන් පවා එවැනි ම චිත්තරපටියක් කෙසේ හෝ තිරගත කරගන්නට දත කෑවා මිස සිනමා විප්ලවයක් කරන්නට සිතුවේ නැත.

එවැනි බාල දෑ කිරීම ඉතා පහසු විය, එසේ ම ලාබදායී විය. මහා රංගන ප‍්‍රතිභාවක් හෝ සීරුමාරුවේ කළ යුතු දුෂ්කර කර්තව්‍යයන් සිදු කිරීම අවශ්‍ය වූයේ ද නැත. එනිසා සිනමා වංශ කථාවට මේ රාමුවෙන් මිදී ගත් නිර්මාණ එක් වූයේ නම් ඒ ඉතා ම සුළු ප‍්‍රමාණයකි. මෙවන් පසුබිමක හොඳ දෙයක් කිරීමට අපහසු ය, අසීරු ය. අසීරුවෙන් හෝ එවැන්නක් කළ විට එය වටිනා දෙයක් බවට පත් වෙයි. ඒ කෝණය තුළ හිඳගෙන ශී‍්‍ර සිද්ධාර්ථ ගෞතම සිනමා සිත්තමට එබී බලන විට මෙය වටිනා නිර්මාණයක් බව අප පිළිගත යුතු ය.

මෙම නිර්මාණ පරාසයට කවුරුන් හෝ පිවිසිය යුතු ව තිබුණි. මෙහි නිෂ්පාදක හා අධ්‍යක්ෂ පිරිස ඒ අසීරු අභියෝගය භාර ගත්තේ මෙහි ඇති දුෂ්කරතාවය නො දැන යැයි අපි නො සිතමු. ඔවුහු එය දැන සිටි බව නිසැක ය. සිය පළමු නිර්මාණයෙන් ම ඒ සා භාරදූර කර්තව්‍යයක් බාර ගැනීම පවා අප අගය කළ යුතු ය. පිටපත සකස් කිරීම, නළු නිළියන් යොදා ගැනීම, පසුතල නිර්මාණය, කැමරාකරණය හා තාක්ෂණය භාවිතය ආදි දෑ ගැන තවත් යම් දුරක් ඉදිරියට ගොස් සිතා බැලූවේ නම් මෙකී නිර්මාණය මීට වඩා සාර්ථක කරගත හැකිව තිබුණ බව අපේ අදහසයි. යහ නිර්මාණයක් කිරීමේ ශක්‍යතාවය ඔවුන් සතු ය. වුවමනා වන්නේ අඩුපාඩු සකස් කොටගෙන දෙවැන්න, පළමුවැන්නට වඩා ඉහළින් ඔසවා තැබීම යි. අපි මෙයින් කාරණා දෙකක් අදහස් කරන්නෙමු. පළමුවැන්න නම් ඒ අසිරිමත් බුදු සිරිත මෙලෙස ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන්ට නැන්වීම නො නවත්වා කළ යුත්තක් බවයි, දෙවැන්න නම් යම් දිනෙක දහම් ඇසින් ද කලා ඇසින් ද එක සේ ම අනුමත කළ හැකි, අතිසාර්ථක නිර්මාණයක් කරා එවන් ගමනක් යොමු කරවන්නට බැරිකමක් නැති බවයි.

ශී‍්‍ර සිද්ධාර්ථ ගෞතම සිනමා සිත්තම එකී ඉලක්කය කරා පිය නගන්නට තැබූ පළමු පියවරයි. අපි කිසිවෙකුත් එකවර නැගිට ඇවිද ගියවුන් නො වේ, අප නැගිට්ටේ ද ඇවිද්දේ ද වැටි වැටී ය. එසේ වූයේ අපේ පියවර සමබර කරගෙන ගමන් කරන්නට තරම් පරිණත බවක් අපට නො වූ නිසා ය. එහෙත් දැන් අප ඇවිදින්නේ වැටි වැටී නො වේ, ඒ අපේ පරිණත භාවය තුළින් සිදුවන මනා භාවිතයයි. ඒ කථාවට මේ කථාව ද ගළපා බලන විට අසිරිමත් බුදු සිරිත කලා කෘති වශයෙන් ලෝක ප‍්‍රජාවට තිළිණ කිරීමේ හා එ් හරහා සිත් සතන් තුළ සුපසන් ප‍්‍රසාදය ජනිත කරවීමේ නො සෙල්වෙන පියවර තැබිමේ ඉලක්කය ඇතිව තැබූ මේ පළමු පියවර ද වැටි වැටී ඇවිදීමකි. වැටුණ තැන් සකසා ගතහොත් හෙට දිනයේ නො සෙල්වෙන පියවර තබන්නට හැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා කෘතිය නිර්මාණය කිරීමේ දී යම් යම් වැරදි සිදු වී තිබුණි. ඒ වැරදි මෙය එළි දක්වන්නට පළමු නිර්මාණකරණයේ කවර හෝ පියවරක දී නිවැරදි කර ගන්නට හැකි වූවා නම් ශී‍්‍ර සිද්ධාර්ථ ගෞතම සිනමා සිත්තම හරහා තත් ආකාරයෙන් ම එ් සම්බුදුරජාණන් වහන්සේගේ විස්මිත ජීවන පුවත සමාජගත කරවන්නට වටිනා අවස්ථාවක් උදාවන බව නිසැක ය.

මේ නිර්මාණ කර්තව්‍යය හා සමගාමී වන්නට අපට අවස්ථාව සැලසුණේ නම් ජීවමාන නළුවෙකු තුළින් අද්විතීය බුද්ධ චරිතය රඟ දක්වනු වෙනුවට ශබ්දය හා ආලෝකය යොදා ගනිමින් සම්බුදුරජාණන් වහන්සේගේ ඒ දෙතිස් ලකුණින් විසිතුරු වූ හා අනන්ත ගුණ සමුදායෙන් සුවඳවත් වූ සොඳුරු බුද්ධ විලාසය මවා පෙන්වීම සිදු කරන්නට අපි නො පසුබට වන්නෙමු. ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා කෘතියට එල්ල වූ ප‍්‍රබල චෝදනාවක් වූයේ ද පුහුදුන් පිරිස් හරහා අසමසම වූ සම්බුද්ධකාය ගෙන හැර දක්වන්නට උත්සාහ කිරීම යි. ඒ වෙනුවට සොබාදහමේ අපූර්ව නිර්මාණයන් මනා ලෙස සංකලනය කර ගනිමින් මෙයට වඩා ඉදිරියට ගිය යමක් නිර්මාණය කළ හැකිව තිබූ බව අපේ විශ්වාසයයි.

මෙවන් නිර්මාණයක් කරන්නට යාමේ දී අප සිත්හි පවත්නා බොදු බැතිය ප‍්‍රමුඛ වී කටයුතු කෙරෙන බව නො රහසකි. අප එයින් උපරිම ප‍්‍රයෝජන ගත යුතු ය. එවිට අචින්ත්‍ය වූ බුද්ධ විෂය අපේ චින්තන මායිම තුළ හිඳගෙන දකිනා තරමින් සිදු කරන නිර්මාණය හරහා අසමසම බුද්ධ චරිතයට අගරුවක් වීම වළක්වා ගත හැකි ය. සාමාන්‍ය කලා කෘතියක දී නම් කලාවේ අවශ්‍යතාවය මුල් තැන තබාගත හැකි ය. එහෙත් මෙවැනි නිර්මාණ සාමාන්‍ය නිර්මාණ නො වේ, මෙවන් නිර්මාණ හරහා අප ගෙනහැර දක්වන්නේ මඟ තොටේ, ගෙදර දොරේ නිරන්තරව අපට මුණ ගැසෙන අය ගැන නො වේ, එනිසා අප අතිශයින් ප‍්‍රවේශම් සහගත විය යුතු ය. එවිට කලාවේ අවශ්‍යතාවයට වඩා ධර්මයේ නියෝජනය මුල් කරගත් නිර්මාණයක් බිහි කෙරෙනු ඇත.

බුද්ධ සම්මත වූ ඇතැම් කරුණු කාරණා පුහුදුන් ලෝකයට කිසිසේත් ම විශ්වාස කරගත හැකි දේවල් නො වේ. ඒ දේවල් විශ්වාස කරන්නට ශ‍්‍රද්ධාව තිබිය යුතු ය. එලෙස විවාදයට තුඩු දෙන සිදුවීම් විවාද පැන නො නඟින පරිද්දෙන් වෙනස් කළ යුතු නො වේ. එසේ වෙනස් කළහොත් අප වෙනස් කරන්නේ දෙදහස් හයසිය වසරකට එපිට යුගයක පටන් පැවත ආ සත්‍යයයි. එවිට අප අසා දැන සිටින දේ වෙනුවට විකෘති වූ දෙයක් නිර්මාණය වීම සිදු වේ. එයින් මුල්බැසගෙන පරපුරෙන් පරපුරට ගෙන ආ ඉතිහාසය වෙනස් කෙරෙනා නිසා බොහෝ පිරිසක් අප‍්‍රසාදයට පත්විය හැකි ය. එයින් සිදු වන්නේ මතු දිනෙක සියලූ අඩුපාඩු සකසාගෙන සිදුකෙරෙන නිර්මාණයක් හරහා සිත් සතන් තුළ ශ‍්‍රද්ධාව උපදවාලීමෙන් සමාජයට සිදු වන්නා වූ යහපත බොහෝ පිරිසකගෙන් ගිලිහී යාමයි. නළු, නිළි භාවිතයේ දී හා සිදුවීම් ගළපාලීමේ දී ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා කෘතිය හරහා සිදු වූ වැරදිවල ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ විද්වත් පිරිස් පවා මෙය විවේචනයට ලක් කරනු අපි දකින්නෙමු. ඒ සියලූ විවේචන සිනමාවේදීයා බිඳ වැට්ටවීම සඳහා නො වන බවත්, දහමේ උන්නතිය පිණිස කලාව භාවිත කළ යුතු ආකාරය ගැන පෙන්වා දීම පිණිස වන බවත් සිහි තබාගෙන කටයුතු කළහොත් මෙම නිර්මාණවේදීන් හට මීළඟ නිර්මාණය සියල්ලන්ගේ අනුමැතියට හා ප‍්‍රශංසාවට භාජනය වන පරිදි නිර්මාණය කරන්නට හැකි වනු ඇත.

ශී‍්‍ර සිද්ධාර්ථ ගෞතම සිනමා පටය නැරඹීමට ගිය ඇතැම් පිරිස් සර්වාභරණයෙන් සැරසී අතිනත ගෙන හුන් සිද්ධාර්ථ – යශෝධරා නළු නිළි යුවළ දැක ගත්හ. ඔවුහු සමඟ එක්ව හිඳගෙන සිනමා පටය ද නැරඹූහ. කවුරුන් හෝ, ‘‘අප සිද්ධාර්ථ – යශෝධරා එක්ක චිත‍්‍රපටය බැලූවා” යැයි කියන්නට ද ඉඩ තිබේ. එම නළුවා හෝ නිළිය වෙළඳ දැන්වීමකට පෙනී සිටිනු දකින්නට ලැබුණොත් කුඩා දරුවන් ‘‘අන්න සිද්ධාර්ථ”, ”අන්න යශෝධරා” යැයි කෑ ගසනු ඇත. දුරදිග නො බලා සිනමා පටයෙන් බාහිරව මෙවන් අවස්ථා සූදානම් කරවීම නිසාවෙන් ද සිනමා පටයෙන් බලාපොරොත්තු වූ අර්ථයට හානි ඇති කරවන, නො ගැළපෙන සිදුවීම් සිදු වූ බව ද කිව යුතුව තිබේ. එනිසා ඉදිරි නිර්මාණයක දී මෙවැනි දේවල් ගැන පවා අතිශය සැලකිලිමත් විය යුතු ව ඇත.

එසේ ම එක එල්ලේ බෝසතාණන් වහන්සේ හෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කේන්ද්‍ර කොටගෙන නිර්මාණයක් කරන්නට යෑම සෑම විට ම පාහේ අසාර්ථක වන්නට ඉඩ තිබේ. එසේ වන්නේ සිනමා පටය පුරාවට ම මූලික චරිතය ආලෝකය, ශබ්දය, හස්තය හා හස්ත මුද්‍රා, ශී‍්‍ර පාද පත්මය හෝ සියපත වැනි දේවල් මඟින් නිරූපනය කරවන්නට යෑම පේ‍්‍රක්ෂකයාට නීරස බවකුත්, ඒ නිර්මාණය සකස් කිරීමට වෙහෙස වන්නවුන්ට ඉමහත් අපහසුතාවයකුත් ඇති කරවන නිසා ය. ඒ වෙනුවට නළුවෙකු යොදා ගන්නට ද නො හැකි ය, ඒ භාග්‍යවතුන් වහන්සේ අසමසම වන බැවිනි.

ඒ නිසා අප සිතනා පරිදි කළ යුතු යහපත් ම දෙය නම් බුදුරජාණන් වහන්සේගේ ජීවන පුවත මුල සිට අග දක්වා හෙළා කිරීමේ ප‍්‍රයත්නය වෙනුවට ඒ සම්මා සම්බුදු සරණ ලැබුවා වූ පිරිසගේ ජීවන පුවත් තුළින් අපරිමිත බුදු ගුණයන් ලෝකය හමුවට ගෙන ඒමයි. ‘අංගුලිමාල’ සිනමා පටය හරහා ද සිදු කෙරුණේ එවැන්නකි. අංගුලිමාල නමින් නිර්මාණය වූ තායි සිනමා සිත්තම අප මේ කියනා කාරණය අති සාර්ථකව භාවිත කරන ලද්දකි. එහි ආලෝකය හා හඬ ද මනාව කලමනාකරණය කරවමින් සම්බුදු ශ‍්‍රාවකයෙකුගේ විස්මිත ජීවන පුවතත්, උතුම් සම්බුදු ගුණ මහිමයත් මනාව පිළිඹිබු කෙරිනි. ඒ සිනමා පටය පුරාවට ම කිසිදු ඒකාකාරී බවක් නො මැතිව තෙරුවන් ගුණ සිහි කර කර නැරඹිය හැකි තරමේ විශිෂ්ට වූ නිර්මාණශීලී සාර්ථකත්වයක් තිබේ. ඒ හරහා බුද්ධ කාලීන සමාජයට අපව ගෙන යනු ලබයි. ඒ අනන්ත බුදුගුණයෙන් යුතු තථාගතයන් වහන්සේ පිළිබඳ ශ‍්‍රද්ධාව උද්දීපනය කරවයි. එය අපට ද මැනවින් ගළපා ගත හැකි ය.

එලෙස බුද්ධ ශ‍්‍රාවක පිරිස හරහා බුද්ධ මහිමය ගෙන හැර දැක්වීමේ දී නළු නිළියන් භාවිත කරනා විට එය කොතරම් දුරට අප අසා ඇති සහ ධර්මය තුළ දැක්වී ඇති ආකාරයට ගැළපී යන්නේ ද යන්න ගැන බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතු ය. අසා ඇති දෙයට සමාන දෙයක් සිනමාකරණය වීම තුළින් එය අපට වඩාත් සමීප බවක් හැඟී යෑම ස්වභාවික ය. එවැන්නක් ප‍්‍රබල කැමරා කෝණ, ශබ්ද පරිපාලනය හා ආලෝකකරණය ආදියෙන් වඩාත් තීව‍්‍ර ලෙස හෘද සංවේදී තත්ත්වයකට ගෙන එ්මට අප දක්ෂ වන්නේ නම් ඒ හරහා හුදී ජන පහන් සංවේගය ඇති කරවීම කිසිසේත් ම අපහසු නො වේ. එයින් ඒ අසමසම භාග්‍යවත් මනුෂ්‍ය රත්නය ගැන පැහැදීම ඉතා උසස් තලයකට ගෙන ඒමට අපට බැරිකමක් නැත. සැබැවින් ම කළ යුත්තේ ද එයයි.

අප මේ පෙන්වා දෙන්නේ ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා පටය හරහා කළ කාලෝචිත ප‍්‍රවේශය, දහම ගැන සුපසන් සිතක් ඇති කරවිය හැකි අයුරටත්, ජාත්‍යන්තරය හමුවේ කරට කර තරග වැදිය හැකි අයුරටත්, ධර්ම ප‍්‍රචාරණයෙහි ලා ප‍්‍රශංසනීය මෙහෙවරක් ඉටු කරවන අයුරටත් දියුණු කර ගත හැකි ආකාරයයි. එය අපට කළ නො හැක්කක් නො වේ. අපට අවශ්‍ය වූයේ මෙවැන්නකට ධෛර්යය ඇති නිර්මාණකරුවන් ය. නිවැරදි මඟ පෙන්වීම කළ හැකි කල්‍යාණ මිත‍්‍රයන් බොහෝ පිරිසක් අප සමඟ සිටින නිසා සිනමාවේ මේ නිවැරදි භාවිතය, සුභාවිතයක් කරන්නට පූර්ණ සහයෝගය අපට ලබා දිය හැකි බව අපි විශ්වාසයෙන් යුතුව පවසන්නේ එවන් නිර්මාණකරුවන් වෙනුවෙන් අතහිත දීමේ සූදානම ද ඇතිව බව සටහන් තැබිය යුතු ය.

වර්තමානයේ රජවරුන් හා සබැඳි ඉතිහාසය ද සිනමාකරණය වන අයුරක් පෙනී යයි. එහෙත් එහි ද ප‍්‍රබල අඩුපාඩු ඇති බව අපි දුටුවෙමු. රටක් පාලනය කිරීමේ උරුමය ලද රාජ කුමාරවරු ගැහැණු ළමුන් සමඟ හැදුනු, වැඩුනු, එමෙන් ම ජවසම්පන්න තාරුණ්‍යය තුළ පවා බොළඳ, සුකුමල අයුරට හැසිරුණු ස්වභාවයක් මෙම නිර්මාණ හරහා ඉස්මතු වන අයුරක් අපට දැනේ. එහෙත් අප හොඳින් ම දන්නා පරිදි රට එක්සේසත් කළ දුටුගැමුණු, පරාක‍්‍රමබාහු ආදි රජවරුන් බිසවක් නිසා තමන් සතු පෞරුෂය බිඳ දමා ගත්තේ නැත. රාජ කෘත්‍යය පසෙක තබා භාර්යාව තෝරාගත් ගැමුණු රජපුත් සාලිය කුමරුට රාජ්‍යයත්, ශාසන කෘත්‍යය ඉටු කරමින් පින් දහම් රැස් කිරීමත්, පියාගේ සේවය රැක ගැනීමේ වාසනාවත් අහිමි වූ බව ඉතිහාසය පෙන්වා දී ඇත.

එය එසේ තිබිය දී දැන් දැන් සිනමාකරණය වන රාජකථා රජවරුන්ගේ නිවහල් ප්‍රෞඩත්වය වනසාලන බවක් අපට පෙනී යයි. එකී වංශකථා සිනමාවට නැගීම වරදක් නො වේ. එහෙත් බොලිවුඩය අපට හුරු කළ පරිදි සළු වනමින්, නටමින් ගී කියනා, ගස් ගල් මල් වටා දුව පනිනා ළදරු මානසිකත්වයකින් යුතු තරුණයන් ලෙස රාජ කුමාරවරුන්ගේ පෞරුෂය පෙන්වා දීම කිසිසේත් ම යුක්තියුක්ත නො වේ. මෙවැනි දෑ ගැන අවදියෙන් සිටීම ජාතියේ පැවැත්ම ගැන වගකීම දරා සිටිනා සියල්ලන්ගේ ම වගකීමයි.

සම්බුදු සසුනේ උන්නතිය උදෙසා සුභාවිත මාධ්‍ය ආගමනයක් සිදු කරන්නට කලාකරුවන්ට මඟ පෙන්වා දිරිමත් කිරීමට මෙන් ම අපේ අභිමානය කියා පාන ඒ සිංහල රාජ වංශය බොලිවුඞ්කරණය වීම වළක්වාලන්නට ද තව දුරටත් මෙහි පිරිහීම ඇති වන්නට පෙර බුද්ධිමත්, විචාරශීලී මනසකින් යුතු, මධ්‍යස්ථ බෞද්ධයන් විසින් හඬනැගිය යුතු ම කාලය මෙය නො වේ ද?

– මහාමේඝ –
වියැළී මියැදෙන්නට පෙර – ඔබ තෙමා සුරකිනු පිණිස