ලෝකයේ තිබෙන එකම සිංහල බෞද්ධ රට තමයි මේ. රටේ ඉතිහාසය පුරාවට ම ‘මහා ජාතිය’ විදිහට සිංහලයන්, මේ රට අඩියෙන් අඩිය ගොඩනංවපු ආකාරය සනිටුහන් වෙලා තිබෙනවා. සිංහල හා සිංහල බෞද්ධ කියන දේවල් මුල් කොටගෙන ගොඩනැගුණු ඉතිහාසය අපි අමතක කළොත් හෝ ශී‍්‍ර ලාංකේය වංශ කථාවෙන් සිංහල බෞද්ධයන් අතු ගා දැම්මොත්, ශී‍්‍ර ලංකාව කියලා රටක් ලෝකේ ඉතුරු වෙන්නෙ නෑ. මේ රට නැගී තිබෙන්නේ සිංහල බෞද්ධකම මත වීම නිසයි එහෙම වෙන්නෙ.

සම්මා සම්බුදුවරුන්ගේ ධර්මය චිරස්ථායී කෙරෙන මේ පින්බිම, සම්බුදු සසුන් කෙතෙහි සිත් පහදවා ගත් දෙවියන්, බඹුන් විසින් චිරාත් කාලයක් මුළුල්ලේ ආරක්ෂා කරනු ලබනවා. පුණ්‍ය මහිමයක් නිසාවෙන් ම යි මේ සිංහල රටේ, සිංහල බෞද්ධයන් විදිහට ජීවත් වෙන්න ඉඩ ලැබෙන්නේ. ඒ වගේ ම තමයි, පුණ්‍ය මහිමය නිසාවෙන් ම යි දෙවියන්, බඹුන් මේ සිංහලද්වීපය ආරක්ෂා කරන්න බැඳී සිටින්නේ. ඒ ගිවිසුම් සහගත ආරක්ෂාව, රැකවරණය අපට ලැබෙන්නේ තථාගත, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තුංග ධර්ම නිධානය අප විසින් මැනවින් රැක ගන්නා තාක් පමණයි. ධර්ම දායාදය පරපුරෙන් පරපුරට සම්පේ‍්‍රෂණය කිරීම ගැන කථා නො කොට, ජාතිය රැක ගැනීමක් ගැන සිතන්නවත් බැරි ඒ නිසයි. ධර්මය සුරැකෙනතාක් ජාතිය සුරැකෙනවා. ධර්මය වියැකෙන දාට ජාතියත් වියැකෙනවා.

‘‘ජාතිය කෙසඟ වෙනවා” කියපුව ම අර්ථ දෙකකින් මේ ගැන හිතන්න වෙනවා. ඉන් එකක් තමයි ඇඟේපතේ පෙනුම, හයි හත්තිය, උස මහත කියන කාරණය. අනිත් එක තමයි, සංඛ්‍යාත්මකව කොපමණ පිරිසක් ජාතිය නියෝජනය කරන්න ඉන්නව ද? කියන කාරණය. ඔය මොන අර්ථයෙන් සලකා බැලූවත් ‘සිංහල ජාතිය සිටින්නේ කෙසඟ වෙමින්’ කියන කාරණය පිළිගන්න වෙනවා.

හාල් සේරුවක, හමාරක බත් එක වේලකට පරිභෝජනය කරපු, ඒ බතින් මත් නො වී යෝධ බල, යෝධ ශක්තිය ඇති කරවාගෙන මහ පොළව, ගස්, ගල්, පර්වත එක්ක පවා ඔට්ටු වෙලා යෝධ කර්මාන්ත බිහි කරපු පරම්පරාවක් අපට හිටියා. ඔවුන්ගේ යෝධ යුගයේ බල පරාක‍්‍රමය අදටත් ජීවමානයි. අනුරාධපුර, පොළොන්නරු යුගවල ඉඳන් මහා වැව්, දාගැබ්, සෙල් පිළිම, මුරගල්, ලියවැල් විදිහට සඳකඩ පහණ් මතින් එසැවෙමින් රාව ප‍්‍රතිරාව දී නැගෙන්නේ ඒ විකුම් යුගයේ අභිමානය. අද පරම්පරාවට ඒ වගේ විස්කම් වැඩ කරන්න තබා ඒ විදිහට බත බුලතින් සප්පායම් වෙන්නවත් පුළුවන්කමක් නෑ. ඉතින් වයසේ හැටියට උස මහත නෑ, උසේ හැටියට බර නෑ, තියෙන පෙනුමෙ තරමටවත් වැඩත් නෑ. සමාජ හරස්කඩක් පරීක්ෂා කළොත් කියන්න වෙන්නේ සිංහලයන් කෙට්ටු ජන වර්ගයක් කියලයි.

දෙවැනි කාරණය පළමු වැන්නටත් වඩා ඛේදනීය යි. සිංහල ජාතිය දරුවන් බිහි කරන්නේ ක‍්‍රමයෙන් අඩු වෙවී යන ප‍්‍රමාණයකින්. අපේ අම්මලා, තාත්තලාගේ පවුල්වල දරුවො දහයට වඩා හිටියා. අපේ පවුල්වල දරුවො හතර පස් දෙනයි. නූතන පවුල් සංස්ථාවට දරුවො එක්කෙනයි, දෙන්නයි. බොහෝ පිරිසකට දරුවො ඇත්තෙ ම නෑ. පසුගිය කාලයේ බොහොම ආන්දෝලනාත්මක සංඛ්‍යා ලේඛන කිහිපයක් ගැන සමාජයේ සංවාදයන් ගොඩ නැගුණා. ඒ තුළින් පෙනී ගියේ මේ ආකාරයට ජාතිය දිගට ම කෙසඟ වුවහොත් වැඩි කාලයක් නො යාම අප මේ රටේ ‘සුළු ජාතියක්’ බවට පත් වීම වළක්වන්න බෑ කියන එක. මේක එදා වේල පිළිබඳ ප‍්‍රශ්නයක් නෙමෙයි; මුළු මහත් සිංහල, බෞද්ධ ජන සමාජය හමුවේ තිබෙන අතිශය තීරණාත්මක ගැටලූවක්.

මේ රට සාමකාමීව, සියලූ ජන කොටස් වෙත සමානාත්මතාවයෙන් සලකන තත්ත්වයෙන් පවතින්නේ සිංහල බෞද්ධයන් මහා ජාතිය වශයෙන් ඉන්නකල් විතරයි. සිංහල බෞද්ධයන් තුළ පවතින ආකාරයේ මෛත‍්‍රියක්, දයානුකම්පාවක්, අන්‍ය ජාතීන් හා අන්‍ය ආගම් විෂයෙහි ගරු සත්කාර දැක්වීමක් අන් කිසිදු ජාතියකින් කිසිසේත් ම බලාපොරොත්තු වෙන්න බෑ. ආගමේ නාමයෙන් ලේ හලපු සහ එවැන්නක් යළි සිදු කරන්න පසුබට නො වන අනෙකුත් ජාතීන් මෙතරම් ඉවසීමකින් අන්‍ය මතවාද කෙරෙහි කටයුතු කරනවා කියන එක නම් මිරිඟුවක් පමණ ම යි. එනිසා ම අන් කවරදාටවත් වඩා ‘ජාතිය කෙසඟ වීම’ ගැන සිතන්න ඕන යුගයකට අපි පා තබලා. සුළු පරිමාණෙන් එහෙම නෙමෙයි, මහා පරිමාණයෙන් ම සිතිය යුතු කාලයකට අපි ඇවිල්ලා.

70 දශකයේ පමණ පටන් රටේ අවස්ථාවාදී දේශපාලකයොයි, සිංහල ජාතියේ කෙළවරක් දකින්න දත කන බටහිර බලවේග හා රාජ්‍ය නො වන සංවිධානයි මුල්වෙලා මතුරපු කාලකණ්නි මන්තරේ තමයි, ‘පුංචි පවුල රත්තරං’. අන්තිමට ඒ රත්තරං ගුලිය අපට ම පාරාවලල්ලක් වෙලා අද ජාතියේ පැවැත්ම ගැන ප‍්‍රශ්නයක් දක්වා ම ඔඩු දුවලයි තියෙන්නේ. එතැනින් පටන් ගත්ත වියවුල සිංහල ජනගහනයේ බහුතරය පවා තර්ජනයකට ලක් කර අවසන්.

මේ ලෝකෙට ම සිංහලයා වෙනුවෙන් තියෙන්නෙ මේ රට විතරයි. සිංහලයා වෙනුවෙන් කථා කරන්නෙත් මේ රට විතරයි. එහෙව් රටෙත් සිංහලයාගේ පැවැත්මට ම යි මේ සියලූ බලපෑම්, තර්ජන, ගර්ජන. එදා ඒ රත්තරං ගුලියට අහු නො වුණා නම් අද අපි මෙහෙම ප‍්‍රශ්නෙක නෑ.

සිංහල, බෞද්ධ ජනතාවගේ ‘මිනිස්කම’ කාලයක් මුළුල්ලේ ම ශීඝ‍්‍ර සූරා කෑමකට ලක්වුණ බව ප‍්‍රකට කාරණයක්. කූට ව්‍යාපාරික ප‍්‍රයෝගවලට වගේ ම ආගමික හා රාජ්‍ය නො වන සංවිධානවල (NGO) කුප‍්‍රකට ජාවාරම්වලටත් අපි ගොදුරු වුණේ බොහෝ කාලයක ඉඳලා. ඒ සියලූ දේවල් අප වෙත ආවේ අපට උදව් උපකාර කරන මුවාවෙන්. උඩින් තිබෙන ඒ හිත මිතුරු වෙස්මුහුණ නිසා, ‘එන පොට හොඳ නැති බව’ තේරුම් ගන්න කාටවත් පුළුවන් වුණේ නැහැ. අන්තිමට බලද්දි අපි දන්නෙත් නැතිව, අන්‍යයන්ගේ ව්‍යාපාරික හා ආගමික අභිවෘද්ධිය සලසා ගැනීම සඳහා අපිව විකුණලා.

අපිට හොරෙන් අපිව විකුණන පිරිස ප‍්‍රයෝගයන්ට බොහෝ දක්ෂයි. ඒ වගේ ම අපේ දුර්වලකම් ගැන දිගින් දිගට හොයලා, බලලා ලබා ගත්ත දැනුමකුත් ඔවුන් සතුයි. ඒ හින්ද ම බොහොම හීන් සීරුවේ, නිල බලලා මරු පහර එල්ල කරන්න ඔවුන්ට හැකි වෙලා තිබෙනවා. හැබැයි ඒ එල්ල කරන හැම පාරක් ම අපට වදින්නේ අපේ බෙලහීනකම් නිසාවෙන් බව අමතක කළ යුතු නෑ. ඒ බෙලහීන තත්ත්වයට අපි පත්වුණේ ජාතියට පණ දුන්න බෞද්ධ පදනම අපට අමතක වුණ නිසයි, අප එය අමතක කළ නිසයි.

හලාල් ගැන ලොකු කතිකාවතක් ඇති වුණ පසුබිමක අප සිටින නිසා මේ ගැන අටුවා ටීකා දක්වන්න වුවමනා නෑ. හලාල් කියන්නේ ඉස්ලාම් භක්තිකයන් විසින් ඔවුන් අදහන දෙවියන් වෙනුවෙන් කැප කරන ලද දේවල්. අනුන්ට කැප කරන ලද්දක් බොදුනුවන් විසින් කිසිසේත් ම භාවිත කළ යුතු නෑ. සකස් කරන ආහාරයේ පවා අග‍්‍රතම කොටස තමයි තථාගතයන් වහන්සේට පූජා කිරීමට අප කැප කරන්නේ. ඒ අග‍්‍රභාගය වෙන් කරන්නේ අන් කිසිවෙකුට ආහාරය පිණිස කැප කිරීමට කලින්. අලූත් අස්වැන්නේ මුදුන් කොටසින් උඩමළුවට, දළදා මාලිගයට අලූත් සහලින් කිරි ආහාර සකසලා බොහොම පිරිසිදුවට යි අපි ඒ පූජා පවත්වන්නේ. එලෙස බුද්ධ පූජා පවත්වන අප කවර පරමාර්ථයෙන් හෝ වෙනකෙකු වෙත කැප කරන ලද දෙයක් භාග්‍යවතුන් වහන්සේ වෙත පූජා කරන්නට යොදා ගැනීම නො කළ යුතු ම යි. දෙවියන්ට දෙවි වූ, බඹුන්ට මහා බඹු වූ තථාගතයන් වහන්සේට පෙර, කිසිදු දෙයකින් පිදිය යුත්තෙක් මේ තුන් ලොවට ම නෑ. ඒ බුද්ධ වීරයාණන් වහන්සේ ම යි සියල්ලන්ට අග‍්‍ර, සියල්ලන්ට ජ්‍යෙෂ්ඨ, සියල්ලන්ට ශ්‍රේෂ්ඨ. අග‍්‍ර වූ තථාගතයන් වහන්සේට ඇයි අපි අනුන්ගේ ඉඳුල් පූජා කරන්නෙ?

ඒ වගේ ම මේ කාරණයත් සලකා බැලීම වැදගත්. සත්‍යය නො වන කිසිවක් ප‍්‍රචාරණය උදෙසා අප මුදල් යෙදවිය යුතු ද? යමෙකු ලොව මිථ්‍යා දෘෂ්ටීන් පතුරුවා හරිනවා නම් සහ ඒ වෙනුවෙන් අපේ මුදල් යොදා ගැනෙන බව අප දැනුවත්ව සිටිනවා නම් කරන්න ඕනේ මොකක් ද? ඒ වෙනුවෙන් තව දුරටත් අපේ මුදල් යෙදවෙන එක වළක්වන එක නෙමෙයි ද? අන්න ඒ වෙනුවෙනුත්, මේ ආගමික ව්‍යාපාර අප ප‍්‍රතික්ෂේප කළ යුතු වෙනවා. හලාල් විතරක් නෙමෙයි, හැලිය යුතු තවත් දේවල් ඕනෙ තරම් ඇති. ඒ නිසා ජාතියක් වශයෙන් යම් පිබිදීමක් ඇති වුණ මේ වෙලාවේ එයින් ප‍්‍රයෝජන අරගෙන අප කළ යුත්ත නිවැරදි ව තීරණය කරලා අපේ ජාතියේ ගමන් මඟ ක‍්‍රමවත් කර ගත්තොත් සිංහලයාගේ පැවැත්ම තිරසාර වීම වළක්වන්න ඔය කිසි ම බලවේගයකට කරන්න ලේසි වෙන්නෙ නෑ.

මේ දේ කරන්න ලොකු වීර්යයක් ඕන. ලොකු හයියක් ඕන. මේ වීර්යය සහ හයිය කියන්නෙ අතේ, පයේ හෝ කටේ බලයට නෙමෙයි; ජාතියට පණ දුන්න, ජාතියට කිරි දුන්න සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් කළ යුත්ත කරන්න තිබෙන වීර්යය ගැනයි අපි මේ කථා කරන්නේ.

නූපන් කුසල් උපදවන්න වීර්යය ඕන, උපන් කුසල් දියුණු කර ගන්න වීර්යය ඕන, නූපන් අකුසල් නූපදවන්න වීර්යය ඕන, උපන් අකුසල් ප‍්‍රහාණය කරන්න වීර්යය ඕන. එහෙම නැතිව පහර දෙන්න, බැණ වදින්න, වචන හරඹ සහිත ප‍්‍රදර්ශන විප්ලව කරන්න, එක ගලෙන් කුරුල්ලො දෙතුන් දෙනෙක් බිම දා ගන්න හෝ තම තමන්ගේ පුද්ගලික කෝන්තර පිරිමහ ගන්න, පුහු මාන්නය කරපින්නා ගත්තු සටන්කාමී පිළිවෙතක් අනුගමනය කරලා මේ දේ කරන්න බෑ. අධර්මයට පිළිතුරු දිය යුත්තේ අධර්මයෙන් නෙමෙයි, ධර්මයෙන්. එවිටයි අපි ආරක්ෂිතව පිළිතුරු දෙන්න සමත් වුණා වෙන්නේ. අධර්මයෙනුත් පිළිතුරු දෙන්න පුළුවන් වෙයි. එහෙත් අධර්මයෙන් රැස්වෙන්නෙ අකුසල් පමණයි. එයින් තම තමන්ට සැලසෙන්නෙ අනාරක්ෂාවක්.

මේ වගේ සමාජ අර්බුදයකදි සමාජ හරස්කඩ සලකා බලලා තීරණ ගැනීම නො කළ යුතු යි. එවිට අපි බොහොම පටු තැනක හිර වෙනවා. ඒ වෙනුවට කාලය සාධකයක් කොටගෙන, අතීත, වර්තමාන හා අනාගත වශයෙන් මනා විශ්ලේෂණයක් කළ යුතු යි. එවිටයි, කාලයේ පහර කෑමකට හසු නොවන විසඳුමකට අපිට යන්න පුළුවන් වෙන්නේ. මේ ඇති වී තිබෙන අර්බුදයට කාල ප‍්‍රාන්තර හරහා ස්තරයෙන් ස්තරය විනිවිද දකින විසඳුමකට අපි ආවොත් ප‍්‍රචණ්ඩ හැසිරීම්, කුපිත කරවීම් හා ද්වේශය වැපිරීම් කිසිවක් නැතිව ජාතිය නගා සිටුවන්නට අපට පුළුවන්කම ලැබෙනවා. ඒ වෙනුවෙන් කළ යුතු එක ම එක දෙයයි. ඒ තමයි ජාතියේ පදනම ආරක්ෂා කොටගෙන ඒ මත යළි නැගී සිටීම.

සිංහල ජාතියත්, සම්බුදු දහමත් අතර පවතින්නේ පොත්තත්, අරටුවත් අතර පවත්නා ආකාරයේ නො සිඳෙන සම්බන්ධතාවයක්. සම්බුදු දහම කියන අරටුව තමයි අපේ සමාජ, සංස්කෘතික හරපද්ධතිය. අපි දියුණු වුණ තරමක් දියුණු වුණේ මේ හරපද්ධතිය තුළ පිහිටා සිටීමෙන් ම යි. පිරිහුණා නම් පිරිහුණේ ඒ හර පද්ධතියෙන් බැහැර වීම නිසා ම යි. දෙලොව යහපත පිණිස දෙව් මිනිසුන්ට මෙතරම් පරිපූර්ණ ලෙස සාර්ථකත්වයේ රහස කියා දුන් අන් ශාස්තෘවරයෙක් ලොව පහළ වී නෑ. දෙලොව යහපත සැලසෙන ඒ බුදු වදන් ඉක්මවන ධනාත්මක චින්තනයක් ලෝකෙ කොහේවත් නෑ.

ඒ සදාතන, සනාතන දහමෙන් ඵල නෙළන්නට අවශ්‍ය වන්නේ ප‍්‍රඥව පමණ යි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වන්නේ නිත්‍ය, සුඛ සහ ආත්ම යැයි කියාගෙන අවිද්‍යාවේ ගැලී ගත් ලොවට අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම බව පෙන්වා දී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොටගෙන සසර දුකින් නිදහස් වීම පිණිස උපකාර කරන්න. ඒ ධර්මය පිළිසරණ කොටගෙන සතර අපායෙන් අත්මිදුනෙ බෙලහීන, මන්දගාමී පිරිස් නෙමෙයි. ධර්මයේ ඒ ආකාරයෙන් ම හැසිරුණා කියලා ගිහි ජීවිතත්, පැවිදි ජීවිතත් අසාර්ථක වුණේවත්, කඩා වැටුණේවත් නෑ.

අවුරුදු හතේ දී සෝවාන් ඵලයට පත්වුණ, ලෝකයේ පවත්නා අනිත්‍ය ධර්මතාවය ගැන අවබෝධය ලබපු විශාඛාව දරුවන් තිස් දෙදෙනෙකුට අම්මා කෙනෙක් වුණා. මෙකල අම්මා කෙනෙක් දරුවො තිස් දෙකක් බිහි කළා නම් බොහෝ අය කෑ ගසාවි තෘප්තිමත් කළ නො හැකි කාමාශාවකින් පෙළුණු වලත්ත ගැහැනියක් ය කියා. නමුත් යථාර්ථය ඊට හාත්පසින් ම වෙනස්. භව භෝග සම්පත් කළමනාකරණය කරමින් ඕතොමෝ ධාර්මික සැපයක ජීවත් වුණා. නිම්මාණරති දෙවඟනක් වෙලා දැන් දෙව් සැප විඳිනවා. ඒ සැබෑ දියුණුවක් නෙමෙයි ද?

අශූචි කඳ කරේ තියන් ගියපු සුනීත පැවිදි වෙලා අනිත්‍ය ප‍්‍රතිසංයුත්ත ධර්මය අවබෝධ කළා. රැයේ සක් දෙවිඳුත්, මහ බඹුත් ‘‘ශ්‍රේෂ්ඨ පුරුෂය, ඔබට නමස්කාර වේවා!” කියමින් ඒ සුනීත මහ රහතන් වහන්සේගේ පා යුග වන්දනා කළා. ඒ සැබෑ දියුණුව නෙමෙයි ද?

ඒ මුනි දහම අකාලිකයි. කාලයේ පහර කෑමට හසුවන්නක් නෙවෙයි. ධර්මය වැරදියට අර ගත්ත අය පමණයි එහි දොස් දකින්නේ. එය හරියට සර්පයා වලිගෙන් ගත්තා වගේ වැඩක්. දියුණුව සලසන දෙයට පයින් ගහලා දියුණුවක් අපේක්ෂා කරන්න හිතනවා නම්, සිය ජාතියේ, ආගමේ හා රටේ අභිවෘද්ධිය උදෙසා අප යා යුත්තේ අවබෝධයකින් ම යි. ඒ සඳහා මොනයම් විවරණ දුන්නත්, මොනයම් අර්ථ විවරණ කළත් සාර්ථක වෙන්නේ අවබෝධයක් තුළින් ම යි.

මේ ප‍්‍රශ්නයට තිබෙන එක ම විසඳුම තමයි ධර්ම දායාදය ලබන සුජාත දරු පරපුරක් බිහි කිරීම. දරු සම්පත අඩු වෙද්දි තමයි අපි සුළු ජාතියක් බවට පත් වෙන්නේ. දරුවන් බොහෝ සිටියත් ඔවුන්ට ධර්ම දායාදය නො ලැබෙනවා නම් අප අසමත් ජාතියක් බවට පත් වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා දරු සම්පතක් රට වෙනුවෙන් දායාද කරන්න පුළුවන්කම තිබෙන පිරිස ඒ උපදින දරුවන් තෙරුවනට භාර කොට, මීට පරම්පරා දෙකකට පෙර බිහි වුණ බොහෝ දරුවන් සහිත වූ පවුල් පසුබිම ගොඩ නන්වන්න නො පැකිළිව ඉදිරිපත් වීම කළ යුතු ම යි. දරුවන් බොහෝ සිටීම අවමානයක් නො ව අභිමානයක් කොට සැලකිය යුතු යි.

ඊළඟට තවත් ප‍්‍රශ්නයක්. ආර්ථිකය ගැන අපිට තියෙන්නෙ පුදුම බයක් නේ. ඒ බය නිසාත් දරුවන් ගණන සීමා කරන්න විවාහකයන් පෙළඹෙනවා. මෙතැනදි කරුණු කිහිපයක් කිව යුතු යි. පළමු වැන්න තමයි වැලේ ගෙඩි වැලට බර නෑ කියන එක. දෙවැන්න තමයි ඔබේ දෙමව්පියනුත් එහෙම හිතුව නම් අද බොහෝවිට ඔබත් නෑ කියන එක.

තවදුරටත් මේ ගැන පසුබෑමක් තිබෙනවා නම් මේ කාරණය සනිටුහන් කරන්නේ ඔබේ දැනුවත්භාවය පිණිස. ශ්‍රී ලංකා රජය වගේ ම තවත් සිංහල බෞද්ධ ආයතනයන් රැසක් ඉදිරිපත් වෙලා ඉන්නව දරුවන් තිදෙනෙකුට වඩා ඉන්න පවුල් සඳහා මූල්‍ය ම ය වශයෙන් පවා උපකාර කරන්නට සහ දිරි ගන්වන්නට. එමඟින්, ආර්ථිකය ඔබට ප‍්‍රශ්නයක් වීම අනිවාර්යයෙන් ම මඟ හැරේවි.

දරුවන් බොහෝ වීමෙන් ජාතියත්, ඔවුන්ට ධර්ම දායාදය ලබා දීමෙන් සමයත් රැක ගන්නට පුළුවන්. ඒ බිහිවන සුජාත පරපුර රැක ගැනීම සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ඇපකැප වුණ දෙවිවරුන්ගේ උපකාරයෙන් සිදු වන බවත් නිසැක යි. මෙහි දී හැකිතාක් සතර පෝයට බ‍්‍රහ්මචාරීව සීලා දී ගුණධර්ම දියුණු කරන්න. පින් රැස් කොට දෙවියන්ට පින් දෙන්න. සිල්වත් දෙමව්පියන්ගේ දරුවන් ලෙස මව්කුසයට එන මෙන් ශාසනමාමක දෙවියන්ට ඇරයුම් කරන්න.

අපට තිබෙන එක ම රට මේ රට බව අමතක කරන්න එපා! මෙතැනින් එහාට අපට යන්නට තැනක් නැති බව අමතක කරන්න එපා! මේ රටේ පැවැත්ම ඔබේ දරුවන් මත පමණක් ම තීරණය වෙන බව කිසිසේත් ම අමතක කරන්න එපා!

ධර්මයේ හැසිරීමත්, ජාතියේ උන්නතිය උදෙසා ධර්ම දායාදය ලබන්නා වූ සුජාත දරුවන් වැඩි වැඩියෙන් බිහි කිරීමත් තුළින් ස්වසමයාභිවෘද්ධිය සලසා ගන්නා හෙළ බොදුනුවන් මේ රටට දැන් වුවමනයි.
ජාතියේ ඒ අවශ්‍යතාවය ඉටු කරන හෙළ බොදු මිනිසා ඔබ විය යුතු යි. ඒ හෙළ බොදු ගැහැනිය ඔබ විය යුතු යි.

ඔබ සැබෑ සිංහලයෙක් නම් එය කළ යුතු ම යි… හෙට නො වේ…. අද සිට ම..! ඔව්… මේ උදා වී ඇත්තේ අවසන් හෝරාවයි…!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමඟ සිදු කෙරුණු සංවාදයක් ඇසුරිණි.

සටහන
භාරත සූරියබණ්ඩාර