අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරු ව ධර්මය දේශනා කරන්නට පටන් ගත් විට ඉතා වේගයෙන් ජනතාව ධර්මය අවබෝධ කරගත්තා. ඒ වගේ ම විශාල තරුණ දරුවන් පිරිසක් බුද්ධශාසනයෙහි උතුම් පැවිදි බව ලබා දහමේ හැසිරෙන්නට වුණා. බුද්ධ ශාසනය යනු කුමක් දැයි හඳුනා ගන්නට නො හැකි වූ, ශ‍්‍රද්ධාවට පත්වීමට නො හැකි ඇතැම් පුද්ගලයන්ට මෙසේ තරුණ පිරිස පැවිදිවීම ඉවසා ගන්නට බැරි වුණා. ඔවුන් බුදුරජාණන් වහන්සේටත්, භික්ෂූන් වහන්සේලාටත් අභූතයෙන්, අසත්‍යයෙන් චෝදනා කරන්නට පටන් ගත්තා.

බුදුරජාණන් වහන්සේ විසින් සැදැහැවත් කුලපුත‍්‍රයන් පැවිදිකොට උතුම් නිවන් මගේ හැසිරෙන්නට අවස්ථාව ලබා දීම තුළින් සිදු වන යහපත තේරුම් ගන්නට නො හැකි වූ ඔවුන් සිතුවේ එය පවුල් වැනසීම පිණිස, ජාතියක අභිවෘද්ධිය වැනසීම පිණිස ගන්නා උත්සාහයක් ලෙසයි. එහෙත් සකල ලෝ සතුන් වෙත මහා කරුණාවෙන් ධර්මය දේශනා කොට සසර දුකින් සදහට ම අත්මිදෙන්නට නිවන් මඟ පෙන්වා දෙන විට එයට පහදින නුවණැති පුද්ගලයන් ගෞතම සසුන ශෝභමාන කරවන අයුරු බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් විට ඒ හිස් ඝෝෂාව සැණෙකින් අතුරුදහන් වී ගියා. මේ, ඒ සිදුවීම මහාවග්ගපාලි නම් විනය ග‍්‍රන්ථයේ සාරිපුත්ත මොග්ගල්ලාන පබ්බජ්ජා කථා කොටසේ සඳහන් වන ආකාරයයි.

එකල මගධ රාජ්‍යයේ සිටි ඉතා ප‍්‍රසිද්ධ වූ කුල පුත‍්‍රයන් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදිව උතුම් බඹසර හැසිරුණා. එවිට මිනිසුන් මේ ආකාරයෙන් එය හෙළා දකින්නට වුණා. ගරහන්නට වුණා. නුගුණ කියන්නට වුණා.

‘‘(අපුත්තකතාය පටිපන්නෝ සමණෝගෝතමෝ) ශ‍්‍රමණ ගෞතමයන් දරුවන් නැති කිරීම පිණිස කටයුතු කරනවා…! (වේධබ්‍යාය පටිපන්නෝ සමණෝගෝතමෝ) ශ‍්‍රමණ ගෞතමයන් වැන්දඹුවන් බිහිකිරීම පිණිස කටයුතු කරනවා…! (කුලූපච්ඡේදාය පටිපන්නෝ සමණෝගෝතමෝ)ශ‍්‍රමණ ගෞතමයන් පවුල් නැසීම පිණිස කටයුතු කරනවා…! දැන් ජටිලයන් දහසකුත් පැවිදි කළා…! සංජය පරිබ‍්‍රාජකයාගේ දෙසිය පනහක් වූ ශිෂ්‍යයනුත් පැවිදි කළා…! දැන් ඉතා ප‍්‍රසිද්ධ වූ මගධයේ කුල දරුවනුත් ශ‍්‍රමණ ගෞතමයන් ළඟ පැවිදි වෙලා නිවන් මෙඟේ හැසිරෙනවා…!”

භික්ෂූන් වහන්සේලා දකින විට මිනිසුන් මේ විදිහට ගාථාවලින් පවා චෝදනා කරන්නට පටන් ගත්තා.

ආගතෝ ඛෝමහාසමණෝ
මාගධානං ගිරිබ්බජං
සබ්බේ සඤ්ජෙය්‍යකේ නෙත්වා
කංසුදානි නයිස්සතී

මහා ශ‍්‍රමණයන් සංජයගේ පිරිසත් පැවිදි කරගෙන මගධ වාසීන්ගේ ගිරිබ්බජය නම් වූ රජගහ නුවරටත් පැමිනුණා… දැන් ඉතින් තව කවුරු නම් ගෙන යයි ද?

මේ විදිහට හෙළා දකින, ගරහන, නුගුණ කියන මිනිසුන්ගේ කතාබහ භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. ඉතින් මේ බව ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට සැළ කළා. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

‘‘පින්වත් මහණෙනි, ඔය ඝෝෂාව බොහෝ කල් තියෙන එකක් නෙවෙයි. ඕන නම් දවස් හතක් තියෙයි. දවස් හතකින් පස්සේ අතුරුදහන් වෙලා යනවා. එහෙම නම් පින්වත් මහණෙනි, ඔබට මේ විදිහට ‘මහා ශ‍්‍රමණයන් සංජයගේ පිරිසත් පැවිදි කරගෙන මගධ වාසීන්ගේ ගිරිබ්බජය නම් වූ රජගහ නුවරටත් පැමිනුණා… දැන් ඉතින් තව කවුරු නම් ගෙන යයි ද?’ කියලා චෝදනා කරද්දී, මේ ගාථාවෙන් පිළිතුරු දෙන්න.

නයන්ති වේ මහාවීරා
සද්ධම්මේන තථාගතා
ධම්මේන නයමානානං
කා උසුයා විජානත’න්ති.

‘මහා වීර වූ තථාගතයන් වහන්සේලා සද්ධර්මයෙන් ම සැපයට පමුණුවති. එසේ ධර්මයෙන් ම පමුණුවන කල කරුණු දන්නා අයගෙන් කවර දෙයක් අසන්ට ද?’ කියා.”

ඉතින් මිනිසුන් භික්ෂූන් වහන්සේලා දුටු විට මේ විදිහට ගාථාවලින් චෝදනා කරනවා.

‘‘මහා ශ‍්‍රමණයන් සංජයගේ පිරිසත් පැවිදි කරගෙන මගධ වාසීන්ගේ ගිරිබ්බජය නම් වූ රජගහ නුවරටත් පැමිනුණා… දැන් ඉතින් තව කවුරු නම් ගෙන යයි ද?”

එවිට භික්ෂූන් වහන්සේලා මේ විදිහට පිළිතුරු දුන්නා.

‘‘මහා වීර වූ තථාගතයන් වහන්සේලා සද්ධර්මයෙන් ම සැපයට පමුණුවති. එසේ ධර්මයෙන් ම පමුණුවන කල කරුණු දන්නා අයගෙන් කවර දෙයක් අසන්ට ද?”

එවිට එය ඇසූ මිනිසුන් ‘‘ශාක්‍ය පුත‍්‍රයන් ධර්මයෙන් ම සැපයට පමුණුවති. අධර්මයෙන් නො පමුණුවති” යි කියන්නට වුණා.

ඒ දෝෂාරෝපණය තිබුණේ දවස් හතක් විතරයි. දවස් හතකට පස්සේ අතුරුදහන් වෙලා ගියා.

(මහාඛන්ධකය – මහා වග්ගපාළි)