highlights of the week
Home » NEW ARTICLES » හෙටින් උදාවන ලෝකය සැමට ම සුවදායක කරමු

හෙටින් උදාවන ලෝකය සැමට ම සුවදායක කරමු

නිමිත්ත
*****
දවසක්…

පුංචි වැහි බිංදුවක්
ඇවිත් පොළවට කිව්වා…

“මුහුදට යන්න බෑ මට…
කෙත් වතු අස්වද්දන
දිය කඳක් වෙන්නට,
වැවක් හදලා දෙනව ද
පුංචි නෙළුම් මලක් යට…”

මහ පොළොව සෙනෙහසින්
හදා දුන්නා පොඩි වැවක්
අස්වැද්දුනා කෙත්වතු
පිබිදුනා සියක් සියපත්…!

***********************************

වැවක් වෙලා නතර වෙමු ද නෙළුම් මලක් යට…

මේ ලිපියට තිබෙන්නේ වෙනස් ම ආරක පටන්ගැන්මක්. එයට හේතුවක් තිබෙනවා. අද අපට අහන්න, දකින්න, අත්විඳින්න ලැබෙන සමාජයීය වටපිටාව එක්ක, ලෝකයට දැවැන්ත ව පෙනෙන මහා සාගරයක් වෙනවට වඩා පුංචි වැවක් වෙලා ලෝකයට බොහෝ උපකාර කරන්නට යොමු වීම සුවපහසුව පිරි සමාජ ක්‍රමයක් බිහි කරාවි කියා සිතුණු නිසයි මේ කාරණා සටහන් තබන්නේ…

මේ කථාව කාට ද?

ඔබට… මට… අප හැම දෙනාට ම…

වැඩිහිටි අයට… තරුණ අයට… දරුවන්ට… ගිහි අයට… පැවිදි උතුමන්ට… උගතුන්ට… නූගතුන්ට… අප හැම දෙනාට ම…

අපි කොයි කවුරුත් කැමතියි නිදහස්, සාමකාමී, සුඛිත මුදිත ජීවිතයක් ලබන්නට. ‘සතුට සැනසුම සපිරුන, සෞභාග්‍යවත් වූ ජීවිත’ අපේ අනාගත අපේක්ෂාව බවට පත් වුණේ පුංචි කාලේ පාසලේ දී ලියපු රචනාවලට විතරක් නෙමෙයි; වයසින් වැඩී යද්දිත් අපි කවුරුත් කැමති වුණේ ඒ දෙයට ම යි. හැබැයි, අපට කිසිදිනක උදා නො වුණු හෙටකට යි ඒ ලෝකය අයිති…

අපි අපේක්ෂා කරපු යහපත් ජීවිත පැවැත්ම ම අපට අහිමි වුණේ ‘එක පාර දැවැන්ත වීම’ ඉලක්ක කර ගත්ත නිසාවෙන් වෙන්න බැරි ද? හරියට පටන් නො ගෙන අවසානයක් සොයාගෙන හැල්මේ දිව යන්න අප පුරුදු වුණු නිසා වෙන්න බැරි ද?

අපේ ජීවිත තුළ අපට වුවමනා වුණා උගතුන් වෙන්න, බුද්ධිමතුන් වෙන්න, පොහොසතුන් වෙන්න, ගරු නම්බු නාම තානාත්තර ලබා ගන්න, යාන වාහන ඉඩකඩම් දේපළ පිරිවර පිරිවරා ගන්න, පිළිගත් කෙනෙක් වෙන්න, ජනප්‍රිය කෙනෙක් වෙන්න, ප්‍රශංසා ලබන කෙනෙක් වෙන්න, කාගෙ කාගෙත් කතාබහට ලක් වුණ කෙනෙක් වෙන්න, කැපී පෙනෙන කෙනෙක් වෙන්න, ආදරය ලබන කෙනෙක් වෙන්න, සත්කාර සම්මාන ලබන කෙනෙක් වෙන්න…. කොටින් ම “ලොකු” කෙනෙක් වෙන්න. එක පාර ලොකු වෙන්න.

ඒ වෙනුවෙන් අපි බොහෝ දේ කළා.

බොහොම ඇප කැප වෙලා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්ත සමහරු. උපාධි සහිත, පිළිගත් රැකියා සහිත උගත්තු.

නොයෙක් දේ ගැන ගවේෂණාත්මක, පර්යේෂණාත්මක මතවාද ඉදිරිපත් කළා සමහරු. සමාජයීය පිළිගැනීමට ලක් වුණ විද්වත්තු…

ව්‍යාපාර කළා සමහරු. මැණික් ගැරුවා. එළවළු පලතුරු වෙළෙඳාම් කළා. ආහාරපාන, ඇඟලුම් නිෂ්පාදන කළා. ඒ සියල්ලට ම වඩා ඉක්මනින් මුදල් හොයන්න අරක්කු, මත්පැන්, මත්කුඩු ආදිය වෙළෙඳාම් කළා. මොන ක්‍රමයකින් හෝ සල්ලි හෙව්වා. හොඳින් හෝ නරකින්… පොහොසත්තු…

ප්‍රසිද්ධ කර කර දන් දුන්නා. ප්‍රසිද්ධිය තකා පූජනීය සිද්ධස්ථාන වඳින්න පුදන්න ගියා. ප්‍රසිද්ධිය වෙනුවෙන් ආගමික කටයුතු සිද්ධ කළා. ප්‍රසිද්ධියට පත්වන්න පෝස්ටර් කටවුට් ගැහුවා.

තවත් සමහරු ප්‍රසිද්ධ වෙන්න, ජනප්‍රිය වෙන්න බලාගෙන උතුරු මිනිස් දම් තමන් තුළ පවතිනවා කියලා කියන්න ගත්තා. “මම බුදු කෙනෙක්…” “මම රහත්…” මේ ආදි වශයෙන් ප්‍රසිද්ධිය, ජනප්‍රිය භාවය වෙනුවෙන් ධර්මය පවා යොදා ගත්තා.

දුරාචාරයේ යෙදුණා. අපරාධ සිද්ධ කළා. කල්ලි හදාගෙන වරදේ හැසිරුනා. රට ජාතිය ආගම පාවා දුන්නා නිලතල, පදවි, තානාන්තර, මිල මුදල් වෙනුවෙන්.

අනෙකා මැඩගෙන, පාගාගෙන කොහොමහරි උඩට යන්නත් බැලුවා.

කේළාම් කිව්වා. අභූතයෙන්, අසත්‍යයෙන් චෝදනා කළා. කැළෑ පත්තර ගැහුවා. කටකතා පැතිරෙව්වා.

සිතන්න එපා ‘අනේ අපි නම් මෙහෙම නෑ’ කියලා. අද නො වුණත්, හෙට එහෙම නො වේවි කියලා සහතික දෙන්න පුළුවන්කමක් අපට නෑ…

මේ දේවල් ලෝකයේ සිද්ධ වෙන්න ගත්තේ අද ඊයෙක නෙමෙයි. දුරාතීතයේ ඉඳල ම මෙවැනි දේ සිද්ධ වුණා.

බොහෝ අයට වුවමනා වුණේ එක පාර ලොකු වෙන්න, එක පාර දැවැන්ත වෙන්න, එක පාර ම යෝධ වෙන්න. අවසානයේ ලොකු නො වී ම ලොකුයි කියලා හිතා ගත්තා. දැවැන්ත නො වී ම දැවැන්තයි කියලා හිතා ගත්තා. යෝධ නො වී ම යෝධයි කියලා හිතා ගත්තා. තමන් එහෙමයි කියලා ලෝකෙට කියන්නත්, පෙන්වන්නත් පටන් ගත්තා. තමනුත් රැවටුනා. සෙසු ලෝකයාත් රවටනු ලැබුවා. අවසානේ හිස් අතින් මියැදෙන හිස් මිනිස්සු අතරට එකතු වෙන්නයි සිද්ධ වෙන්නේ…

මේ දේ ඔබට, මට සිද්ධ නොවෙන්නයි එක පාර ලොකු නො වී අනුපිළිවෙළින් මේ ගමන යමු කියලා අපි ඔබට යෝජනා කරන්නේ. ඔව්… එකපාර මහා සාගරයක් වෙන්න නො සිතා අපි වැවකින් පටන් ගනිමු. වැවට කළ හැකි දේ අපමණයි. පුංචි තැනින් පටන් ගත්ත ම, එතැනින් ශක්තිමත් පදනමක් හදා ගත්තම ටික ටික, ටික ටික මෝරා යාම කළ හැකියි. මෝරා නො ගොස් ම මේරුවා යැයි සිතා කටයුතු කරන්න ගියොත් සිද්ධ වෙන්නේ අනතුරේ වැටෙන එක විතරයි.

සතුරන් හඳුනාගනිමු

අපි කාටත් තිබෙන ජීවිත ඉලක්කය මේ ලිපියේ ආරම්භයේ දී ම සිහිපත් කරනු ලැබුවා. සරල ව කීවොත් අපට වුවමනා සතුටින් ජීවත් වන වටපිටාවක්. අපට වුවමනා මේ දේ අපට හිමි වීම වළක්වන සතුරෝ ඉන්නවා. ඒ සතුරන් හඳුනාගැනීම අප මුලින් ම කළ යුතුයි.

මේ සතුරෝ එසේ මෙසේ අය නෙවෙයි. අපට සිද්ධ වෙන පුංචි ම යහපත පවා වළක්වන්න ඒ අයට පුළුවන්. විශාල යහපත වළක්වාලීම ගැන කවර කථා ද? අපි කොහේ කොතැනක හිටියත් අපට පහර දෙන්නත් ඒ අයට පුළුවන්. ඒ පහරදීම නවත්තන්න රක්ෂණ ක්‍රමයක් පටන් ගන්න කිසිම රක්ෂණ සමාගමකට බෑ. අපි දන්නෙත් නැතිව ඉද්දී ම අපට මේ අය පහර දෙනවා. කාලෙකට පස්සේ හොඳට හිතලා බලද්දි අපට ම පේනවා ‘ආන්න අහවලා මට හොඳට ම හතුරුකම් කළා නේ ද?’ කියලා. දැන් ‘අහවලා’ ව මතක් වුණා ද?

අල්ලපු ගෙදර අයිතිකාරයා…? අසල්වැසියෝ? රැකියාව කරන තැන ‘බොස්’? ඔබත් එක්ක ම රස්සාව කරන උදවිය? ප්‍රසිද්ධියේ ම ඔබට තර්ජන, ගර්ජන කළ උදවිය? ඔබේ දේශපාලන ප්‍රතිවාදියා? ඔබේ ම ලේ ඤාතීන්? අණවින කොඩිවින පිල්ලි? යක්ෂ භූත පිශාචයන්? මේ විදිහට හතුරන් කියලා හිතෙන අය ගැන කියන්න ගියොත් අපට බොහෝ වෙලාවක් ඒ වෙනුවෙන් වෙන් කරන්න සිද්ධ වේවි.

ඔය නම් කරන අය අතරේ සැබෑවට ම අපේ දියුණුව අකැමැති, අපට යහපත සිද්ධ වෙනවා දකින්න අකැමැති කිහිප දෙනෙක් ඇති. හැබැයි, සැබෑ සතුරෝ ඒ අය නම් නෙමෙයි. සැබෑ සතුරෝ ඉන්නේ බාහිර නෙමෙයි; අභ්‍යන්තරයේ…

ඇතුළෙ ඉන්න හතුරෝ

බාහිරයේ එකදු හතුරෙක්වත් නැති වුණත් අපට අප බලාපොරොත්තු වන සතුට පිරුන ජීවිතය හිමි වන්නේ නැහැ මේ ඇතුළේ ඉන්න හතුරෝ සිටිනතාක් කල්. බාහිරය හතුරන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගියත් අපට ගැටලුවක් නෑ මේ ඇතුළේ ඉන්න හතුරන් ව අපි මැඩ පවත්වා අවසන් නම්.

ඒ හතුරන් ව මෙන්න මෙහෙම ප්‍රකට ව හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒ හඳුනාගැනීම කරන්න සිහි නුවණ උපදවාගෙන මැදහත් ව කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනි.

කාගේ හෝ නුගුණ ගැන කියන්න හිතෙනවා නම්… නුගුණ සිහි කරනවා නම්… නුගුණ කියනවා නම්…

කා තුළ හරි තියෙන ම අඩුපාඩු තවත් පිරිසකට කියමින් සිනහවට ලක් කරනවා නම්… තනිව හෝ ඒ ආකාරයෙන් අඩුපාඩු සිතමින් උපහාසයට ලක් කරනවා නම්… අඩුපාඩු සොයන අදහසින් අන්‍යයන් ව සහ අන් වැඩපිළිවෙළවල් විමසීමට ලක් කරනවා නම්…

“අසවලා මෙහෙම කිව්වා, අසවලා මෙහෙම කළා” කියන වචන නිතර නිතර භාවිතයේ තිබෙනවා නම්… එසේ තිබීම නිසා අන්‍යයන් අතර අසමඟිකම්, නොහොඳ නෝක්කාඩු වර්ධනය වෙනවා නම්… අසන, දකින දේ කා සමඟ හෝ කථාවට මාතෘකාවක් කර ගන්න ම හිතෙනවා නම්…

අනුන්ගේ දියුණුව දකිද්දී ’උන්ට හරියන හැටි’ කියලා හිතෙනවා නම්… ‘වැඩි කලක් නොයා උඩින් බිමට වැටෙයි’ කියලා හිතෙනවා නම් සහ ‘එහෙම වෙයන්’ කියලා හිතෙනවා නම්…

‘අහවලාට ලැබුණා, මට නෑ…’ ‘අහවලාට විතරයි, මට නෑ…’ කියලා පැමිණිලි තිබෙනවා නම්… අනුන්ගේ ලැබීම් වළක්වන්නට උපාය යොදනවා නම්… සිතුවිල්ලකින් හෝ ඔවුන්ට නොලැබෙනවා නම් හොඳයි කියලා හිතෙනවා නම්…
තරඟයට පින්කම් කරන්න හිතෙනවා නම්…

මේ බොහොම පුංචි කාරණා කිහිපයක් පමණයි. මේ දේවලුත්, තවත් මෙවැනි දේවලුත් ඔබ, මා තුළ පවතිනවා නම් ඒ කියන්නේ අපි මේ සිද්ධ කරන්නේ මරණ ගණනාවක් මැද්දේ ඉඳගෙන පැණි කනවා වගේ වැඩක්…

ලෝකෙට පෙනෙන්නේ හිනා වෙලා, කථාබහ කරලා, පින් දහම් කරලා, පෝයට සිල් සමාදන් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අභ්‍යන්තරයෙන් අඛණ්ඩ ව සතුරන්ගේ පහරදීම් ලබන, රිදි රිදී ම ඉන්න කෙනෙක් විතරයි මේ ඉන්නේ.

සුවපහසුවෙන් පිරුන සමාජ ක්‍රමයක් අපේක්ෂා කළ අපට සුවපහසුව අහිමි වෙලා තියෙන්නේ බොහෝ සංකීර්ණ කරුණු කාරණා නිසා නෙමෙයි… මෙන්න මේ පුංචි තැන් ටික අපට හරියට හදා ගන්න නොහැකි වීමයි මේ බොහෝ අර්බුදයන්ගේ මුල.

සතුරන් නසන්නට බලකායක්

සතුරන්ගෙන් තොර තැනක අපට තිබෙන්නේ ආරක්ෂාවක්, බිය රහිත බවක්. ලෝකයේ සියලු සතුරන් පරදවා බය රහිත බවට පැමිණි අග්‍රතමයා, ශ්‍රේෂ්ඨතමයා, ජ්‍යේෂ්ඨතමයා තමයි අප සරණ ගිය සම්බුදුරජාණන් වහන්සේ.

උන්වහන්සේ එතෙරට වැඩම කළා. එතෙර වීම පිණිස දෙව් මිනිස් ලෝකයාට ධර්මය දේශනා කොට වදාළා. කුමකින් ද එතෙර වුණේ? කුමකින් එතෙර වීම පිණිස ද ධර්මය දේශනා කොට වදාළේ? කෙලෙස් ගිරි දුර්ගයෙනුයි එතෙර වුණේ… කෙලෙස් ගිරි දුර්ගයෙන් එතෙර වීම පිණිසයි ධර්මය දේශනා කොට වදාළේ. ඔබටත්, මටත් අභ්‍යන්තරික ව පහර දෙන්නේ කෙලෙස් සතුරන් ම යි. ඒ සතුරන් මැඩලන්න ඔබටත්, මටත් තිබෙන්නේ එක ම ක්‍රමය යි. එක ම පිළිවෙත යි. ඒ තමයි ඔබේත්, මගේත් ශාස්තෘන් වහන්සේ පෙන්වා වදහළ ක්‍රමය, පිළිවෙත.

අද අපි කථා කරන්නේ පුංචි කාරණා කිහිපයක් පමණයි. ඒ කාරණාවන්ට අයිති වෙන්නේ ගුණ දැකීම, ඉවසීම, මෛත්‍රිය, මුදිතාව සහ උපේක්ෂාව කියන උතුම් ගුණධර්ම. ලොකු ආරක්ෂාවක් ලබා දෙන්න පුළුවන් බලමුළුවක් මේ. හරියට සේනා සංවිධානය කර ගත්තොත් අද අපි ඉන්න පීඩාකාරී වටපිටාව සහමුලින් ම වෙනස් කරලා අපට සුවපහසුව ඇති කරලන්න තරම් අති ප්‍රබල සේනාවක් මේ…

නුගුණ නොව ගුණ දකිමු…

පහසු වැඩක් නෙවෙයි මේ. හැබැයි අමාරුවෙන් හරි පුරුදු කර ගත්තොත් හරි ම සුන්දර කටයුත්තක්.

නුගුණ දකින්න දකින්න සිද්ධ වෙන්නේ අප තුළ තරහව, නොරිස්සුම, කලකිරුණු ස්වභාවය ඉස්මතු වීම. නුගුණ කීමෙන් අප කරන්නේ තවත් පිරිසක් තුළ ඒ ස්වභාවයන් ම ඉස්මතු කරලීම. හැබැයි ගුණ දකිද්දී, ගුණ ප්‍රකට කරවද්දී ක්‍රමයෙන් වැඩී යන්නේ පිරිසේ සමඟිය.

දුතිය ආඝාත පටිවිනය සූත්‍රයේ දී ‘ගුණ දැකීම’ පිළිබඳ ව අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ අපට සුන්දර ධර්ම පර්යායකින් අවවාද කරනු ලබනවා.

“යම් පුද්ගලයෙක් අපිරිසිදු කායික ක්‍රියාවලින් යුතුයි. නමුත් පිරිසිදු වාචසික ක්‍රියා තිබෙනවා. එය මෙනෙහි කොට ඔහු කෙරෙහි උපන් වෛරය දුරු කළ යුතුයි.

යම් පුද්ගලයෙක් අපිරිසිදු වාචසික ක්‍රියාවලින් යුතුයි. නමුත් පිරිසිදු කායික ක්‍රියා තිබෙනවා. එය මෙනෙහි කොට ඔහු කෙරෙහි උපන් වෛරය දුරු කළ යුතුයි.

යම් පුද්ගලයෙක් අපිරිසිදු කායික ක්‍රියාවලිනුත්, අපිරිසිදු වාචසික ක්‍රියාවලිනුත් යුතුයි. එහෙත් කලින් කලට සුචරිත ක්‍රියා ඔහු තුළ දකින්ට ලැබෙනවා. එය මෙනෙහි කොට ඔහු කෙරෙහි උපන් වෛරය දුරු කළ යුතුයි.

යම් පුද්ගලයෙක් අපිරිසිදු කාය, වාචසික ක්‍රියා ඇතිව ඉන්නවා. කලින් කලට හෝ සුචරිත ක්‍රියා දකින්ට ලැබෙන්නෙත් නෑ. ‘අනේ මේ කෙනා සිතින්, කයින්, වචනයෙන් යහපතේ හැසිරෙනවා නම්, සුගතියේ උපදිනවා නම් කොච්චර හොඳ ද’ කියා සිතා ඔහු කෙරෙහිත් වෛරය දුරු කළ යුතුයි.

යම් පුද්ගලයෙක් පිරිසිදු කාය වචී ක්‍රියාවන්ගෙන් යුතුයි. කලින් කලට සුචරිත ක්‍රියාවන්වලත් යෙදෙනවා. එය මෙනෙහි කොට ඔහු කෙරෙහි උපන් වෛරය ද දුරු කළ යුතුයි.”

බලන්න, ගුණ දකින ධර්මය මොන තරම් ලස්සන ද?

සතුට පිරුන ජීවිතයකට අපටත් වුවමනා තරහව නැති, වෛරය නැති, සමඟි සම්පන්න වටපිටාවක් නේ ද? ඔන්න එහෙනම් මේ සෙබළාගෙන් අඩු නැතිව වැඩ ගන්න. අත්නොහැර ගුණ දකින්න…

මෙත් සිතින් ඉවසමින්….

කැලෑවේ රජයන නීතියක් තිබෙනවා. ‘දතට දතක්… නියට නියක්…’ පහරට පහර ගැසීම තමයි කැලෑවේ නීතිය. ඔය නීතිය අප ළඟත් තියෙනවා.

‘බැණ්නොත් බණිනවා… ගැහුවොත් ගහනවා…’ තවත් දුර ගිහින් ‘එකක් කළොත් දෙකක් කරනවා’ කියන අනුපාතයට පවා මේ දේවල් අපේ හිත්වල මුල් බැහැගෙන තියෙනවා. කාගේ හරි රළු පරළු වචනයකට රළු පරළු උත්තරයක් නොදුන්නොත් ඒක මදිකමක්, නිවටකමක් කියලා හිතෙනවා. එහෙම නිවට වෙන්න පුළුවන් ද? ඉතින්, එකට දහයක් හරි කියනවා, කරනවා…

දැන් නිවටකම ඉවර ද?

කෙනෙක් ද්වේෂයෙන් යම් දෙයක් කළා. එයා අසූචි ගා ගත්තා. ඒ අසූචි ගා නොගත්තොත් ඒක නිවටකමක් කියලා හිතලා අපිත් අසූචි ම ගා ගත්තා. වැඩියෙනුත් ගා ගත්තා. සතුටු වෙන්න දෙයක් ද ඒ?

සුර අසුර යුද්ධයක් ඇති වුණ එක් අවස්ථාවක සුරයන් ජය ගත්තා. වේපචිත්ති නම් වූ අසුර නායකයා සිතුවිලි බන්ධනයකින් ගැට ගසා තව්තිසාවේ සුධර්මා දිව්‍ය සභාවට ගෙන එනු ලැබුවා. වේපචිත්ති අසුරයා ‘සුරයන් ධාර්මිකයි, අසුරයන් අධාර්මිකයි’ කියා සිතන්නේ යම් මොහොතක ද ඔහු බැඳී ඇති ගැට ලිහිල් වනවා. ‘සුරයන් අධාර්මිකයි, අසුරයන් ධාර්මිකයි’ කියා සිතන්නේ යම් මොහොතක ද දෑත දෙපය ගෙල යන පස් ස්ථානයන්ගේ ගැට තද වනවා.

සුධර්මා දිව්‍ය සභාවේ රඳවනු ලැබූ මේ බන්ධනයෙන් බැඳී සිටි අසුරයා දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු එහි පිවිසෙන විටත්, නික්ම යන විටත් අසභ්‍ය වචනයෙන්, පරුෂ වචනයෙන් බැණ වදිනවා. ඒත් සක් දෙවිඳු වචනයකින් හෝ නොබැණ නිහඬ ව සිටිනවා. මේ වෙලාවේ මාතලී දිව්‍යපුත්‍රයා හා සක් දෙවිඳු අතර මෙහෙම කථා බහක් ඇති වුණා.

“පින්වත් සක් දෙවිඳුනි, වේපචිත්තිගේ නපුරු වචන ඉදිරියේ, ඒවා අසමින් ඉවසගෙන ඉන්නේ මොකද? භයට ද? බැරිකමට ද?”

සක් දෙවිඳුන් මෙසේ පිළිතුරු දුන්නා.

“මං වේපචිත්තිට භයෙන් ඉවසනවා නෙමෙයි. බැරිකමකට ඉවසනවාත් නො වෙයි. බුද්ධිමත්ව කටයුතු කරන මං වගේ කෙනෙක්, මේ බාලයෙක් එක්ක හැප්පෙන්න යන්නේ මොකටද?

අනුන්ට කේන්ති ගිය බව දැනගෙන, තමන් සිහි නුවණින් යුක්තව සන්සිඳෙනවා නම්, මං හිතන්නේ බාලයා ව පාලනය කරන්න ඒක තමයි හොඳ කියලා.”

මාතලී රථාචාර්යවරයා මෙහෙම ප්‍රතිචාර දැක්වුවා.

“සක් දෙවිඳුනි, ඔය ඉවසීම ගැන මම එක්තරා වරදක් දකිනවා. යම් විටක ඉවසන කොට, මෝඩයා හිතන්නේ මෙයා මේ මට භයෙන් ඉවසනවා කියලා…”

ඉවසීමේ ගුණය ම අගය කරන සක් දෙවිඳුගේ පිළිතුර මෙය යි.

“මෙයා මේ ඉවසන්නේ මට භයෙන් ය කියලා කෙනෙක් හිතුවත් කමක් නෑ. නැතත් කමක් නෑ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇතිකර ගැනීම යි. ඉවසීමට වඩා උතුම් දෙයක් නෑ…”

මේ පුවත වදාරමින් සම්බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙසේ අවවාද කොට වදාළා.

“පින්වත් මහණෙනි, ඔය ශක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ ම පුණ්‍ය විපාකයෙන් ජීවත් වන කෙනෙක්. තව්තිසා දෙවියන් අතර සැප සම්පත්වලිනුත්, අධිපති බවෙනුත් ආණ්ඩු කරන කෙනෙක්. එබඳු කෙනෙක් පවා ඉවසීමේ, කීකරු බවේ ගුණ කියනවා නෙව. ඉතින් පින්වත් මහණෙනි, මෙබඳු ඉතා පිරිසිදු ව දේශනා කරන ලද ධර්ම විනය ඇති ශාසනයේ පැවිදි වෙලා ඉන්න ඔබත් ඉවසන්න ඕන. කීකරු වෙන්න ඕන. මේ ශාසනය ශෝභමාන කරන්න ඕන.”

(වේපචිත්ති සූත්‍රය – සං. නි. 01)

ඉවසන බලවත්තු වෙමු නේ ද අපිත්?

ලොවේ සියලු ම සතුන් සැප සතුට ලබත්වා…!

අන් අයගේ දියුණුව දැක සතුටු වීම ධර්මය තුළ හඳුන්වන්නේ මුදිතාව කියලයි. සියලු කුසල් දහම්වල යෙදීම පිණිස කැමැත්ත බලවත් කරලන, අරතිය දුරලන උතුම් ගුණධර්මයක් මේ. චිත්ත පීඩා බහුල කරවන, සහනය බැහැර කරලන ඊර්ෂ්‍යාව දුරු කරලා අනුන්ගේ සැපත, යහපත, දියුණුව දැක සතුටු වීම කියන්නේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

වෙන කෙනෙක්ගේ දක්ෂකමක් ගැනත් ලෝකය අසතුටු වෙනවා. වෙන කෙනෙක් ලස්සනට හැඳ පැලඳ හිටියත් අසතුටුයි. උසස් වීමක්, පදවි තානාන්තරයක් ලැබුවත් අසතුටුයි. ගමේ දායක සභාවේ සභාපති වුණත් අසතුටුයි. වෙන කෙනෙක් වැඩි වෙලාවක් බණ භාවනා කළත් අසතුටුයි. වෙන කෙනෙක් සුවපහසුවෙන් පින් දහම් කරනවා නම් ඒ ගැනත් අසතුටුයි. එහෙම අසතුටු වෙන්න වෙන්න සිද්ධ වෙන්නේ අපේ සුවපහසුව අහිමි වීම මිසක් ඒ අයගේ සුවපහසුව අහිමි වීම නෙමෙයි.

‘ලද සැපතින් නොපිරිහෙත්වා! සියලු සැපතින් වැඩෙත්වා!’ කියන මුදිතා චිත්තය උපදවාගෙන ඔවුන්ගේ සැප සතුට අබියස අපටත් සතුටු වන්නට හැකි නම් එය ම තමයි අපට ප්‍රමාණ රහිත සැප සතුට උදා කර දෙන රැකවලා. කුසල් දහම්හි යෙදෙන්නට ඇති අකැමැත්ත එයින් දුරු ව යන නිසා මෙලොවත්, පරලොවත් යහපත ම සලසන, නිවීමට සන්සිඳීමට මඟ කියන කුසල අරමුණු අප තුළ දියුණු කර ගන්නට එය ම පදනම බවට පත් වනවා. දෙලොව සැප සේ ම නිවන් සැපය ද සලසන පින් දහම් කරන්න කවුද අකැමැති? ඔන්න සෙන්පතියා. බඳවා ගන්න ඔබේ බලකායට…

බෙදා හදාගෙන කන්නට පෙර…

අපට බොහෝ වරදින, වැරදීමක් ය කියලා කිසිසේත් ම නො සිතෙන තැනක් තමයි ‘සාධාරණය සහ අසාධාරණය සොයා යාම.’ අප මේ කියන්නේ මේක සාධාරණ ලෝකයක් කියලා නෙමෙයි. ලෝකයේ අසාධාරණ බොහෝ කොට සිදු වනවා. සසර ගමනක යෙදෙන අතරේ සාධාරණය – අසාධාරණය මත්තේ හැප්පෙන්නට ගියොත් අපට අඩුවක් නැතිව ම ද්වේෂයෙන් බැට කන්නයි සිද්ධ වෙන්නේ. සුදුසු කෙනාට සුදුසු දේ නොලැබීමේ පටන් අප විසින් අසාධාරණයි කියා කියනු ලබන, සිතනු ලබන බොහෝ දේවල් තිබෙන බව සැබෑවක්. හැබැයි, ඒ දේවල් එසේ නො වේවි කියා බලාපොරොත්තු වන්නට අපට බැහැ. බ්‍රහ්ම ලෝකයේ සැප සේ වාසය කරන බ්‍රහ්මරාජයෝ ආයුෂ කෙළවර, පුණ්‍ය විපාක අවසන් වෙලා අපාගත වෙන්න බැරිකමක් නැති නම්… දැහැමි ව සිව්දිශා පාලනය කළ සක්විති රජවරුන් ඒ පිනෙන් ලද දිව්‍ය ජීවිත අවසන් ව තිරිසන් සතුන් ව ඉපදුණා නම්… අපට වෙන අසාධාරණය මොකක්ද? ගණන් ගන්නවත් දෙයක් නෙමෙයි. අනික, සිතින් වේවා කයින් වේවා වචනයෙන් වේවා සිතන කරන කියන දේ තම තමනුයි අරන් යන්නේ.

කර්මය ස්වකීය දේ කරගෙන, කර්මය ඤාතියා කරගෙන, කර්මය පිළිසරණ කරගෙන, කර්මය උප්පත්ති ස්ථානය කරගෙන යන මේ ගමතේ තම තමන් වපුරන දේ තම තමන් අස්වැන්නට නෙළන බව සිහි කරගෙන උපේක්ෂාවට පත් වන්නට පුළුවන් නම් අසාධාරණ ලෝකයක වුණත් නුවණැත්තන්ට, පිනැත්තන්ට සාධාරණ වූ සතුට සැනසීම අපට දුර නැහැ…! ඒ නිසා අනුන්ගේ අඩුපාඩු අපේ අඩුපාඩුවලට බෙදා හදා නො ගෙන උපේක්ෂාවට පත් වන්න උත්සාහ කරමු.

හෙටින් උදාවන ලෝකය සැමට ම සුවදායක කරමු…!

දැන් ම පටන් ගත යුතු වැඩපිළිවෙළක් මේ. අපට වුවමනා විදිහට ලෝකය වෙනස් කරන්නට නම් ලෝකය නතු වන විදිහට අප වෙනස් විය යුතුයි.

අද වගේ පොසොන් පුන් පොහෝ දිනයක අපට ධර්ම දායාදය ලබා දෙමින් හෙළදිව වැඩම කළා වූ මිහිඳු මහරහතන් වහන්සේ මෙහි නිදන් කළ සද්ධර්ම නිධානය ගොඩගන්න නම් අප පුංචි ම තැන පටන් ගුණධර්ම දියුණු කළ යුතු ම වනවා. මේ ධර්මයේ තිබෙන ආශ්චර්යවත් ම ස්වභාවයක් තමයි ගුණධර්මයන්ගේ වැඩී යාමට අනුලෝම ව ධර්මය දියුණු වීම, ධර්මයේ දියුණු වීමට අනුලෝම ව ගුණධර්ම වැඩී යාම. ලෝකයේ යම් පිරිසක් සුව සේ වාසය කළා නම් ඒ මේ ධර්ම මාර්ගය තුළ ගුණධර්මයන්ගේ විපුල බවට, මහත් බවට පැමිණි උතුමන් ම යි. අපත් සුව සේ වාසය කරනවා නම් ඒ අවස්ථාව අපට ලැබෙන්නේ මේ ක්‍රමයෙන් ම යි.

හෙට වෙනකල් බලා සිටින්නට දෙයක් මෙහි නැහැ. හෙට ඉඳියි ද කවුද දන්නේ? අපි හැමෝම මැරෙන මිනිස්සු. ඒ නිසා අද ම පටන් ගන්න. දැන් ම පටන් ගන්න. මේ පටන් ගැන්ම හෙට ලෝකය තුළ සියලු දෙනාට සුවදායක වටපිටාවක් නිර්මාණය කරනවා ය යන විශ්වාසයෙන් පටන් ගන්න.

ඒ ලෝකය නිර්මාණය කරන්නට ඔබත්, මාත් දරන දායකත්වය තුළ අප සමීප වන්නේ අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේට… ශාන්ත වූ, ප්‍රණීත වූ අමා මහා නිවනට…!

සටහන – උදුලා පද්මාවතී

Leave a Reply

Your email address will not be published.

x

Check Also

යෂ්ටි හුවමාරුව

වර්තමානය වන විට, මේ අති දුර්ලභ බුද්ධෝත්පාද කාල පරිච්ඡේදය කෙමෙන් කෙමෙන් ඉක්ම යමින් ඇත. අනිත්‍ය ධර්මයට සියල්ල යටත්ව සිටිනා ලෝකයක මේ අති උත්තරීතර පරිච්ඡේදය වුව, සදාකාලිකව රඳවා ගත හැකි නො වේ.