ආදරයේ රන් පුදසුන අබියස – පුදන කිරුළ ඔබ
යසෝදරා…

මැදින් පුන්සඳ අහසේ නැගී සඳ එළියෙන් මුළු කපිලවස්තුව ම නැහැවෙමින් තිබේ. ලොවක් නිදන මොහොතක එක් සුවිසල් මැදුරක තවමත් පහන් නොනිවා දැල්වෙමින් තිබේ. ඒ වෙනකක් නොව කපිලවස්තුවේ අග්‍ර රාජ වූ සුද්ධෝධන නිරිඳුන්ගේ මාලිගය යි. සඳ එළියෙන් ඒකාලෝක වූ මන්දිරයේ සඳලුතලයේ රන් රුවින් බබළන, නිල්වන් විසල් නෙත් ඇති, එහෙත් කසාවත් දරාගත්… මනමෝහනීය රූ සපුවෙන් බබළන තැනැත්තියක් වලාවන් සමඟ එබිකම් කරන පුන්සඳ දෙස බලා සිටියි. වෙහෙසකර වූ නෙත් යුග කඳුළින් පෙඟී පිරී, හදේ නැගුණු සෝ සුසුමන් වාතලයට එක් කරමින් ඕ බලා සිටී. ඒ මීට සත් වසකට පෙර අභිනික්මන් කළ අප මහ බෝසතුන්ගේ සෙනෙහෙබර බිරිඳ ව සිටි යසෝදරාව යි.

සත් වසකට පෙර පායා ආ ඇසළ සඳ ඇගේ දිවි මග වෙනස් කළේ ය. අද පායා නැගුණු මේ මැදින් පුන්සඳ ඇගේ දිවි මග නැවතත් වෙනතක යොමු කළේ ය. එදා මෙදා තුර ගෙවුණු අතීතය සිතුවමක් මෙන් ඇගේ සිතේ මැවී ගියේ ය.
එදා ස්වයංවරය දා සියලු ශාක්‍යයන් පරදවා ශිල්ප දැක්වූ හැටි… මහා දුන්න ගෙන ඊතල විදින විට තම හද සැලුණ හැටි… මුළු නුවරක් සරසවා අනාගත සක්විති රජෙකුගේ ස්ත්‍රී රත්නයක් වන්නට සරණ මංගල්‍යය කළ හැටි… පුරා දහතුන් වසක් නොකියූ සෙනෙහස දෑසින් දුටුව හැටි… කල් යත්ම ජීවන ගමන ගැන ඇය නොසිතූ – එහෙත් සිතිය යුතු දේ කියන විට, ඇය නොපැතූ – එහෙත් වෙන් වීම ඒකාන්තයෙන් සිදුවන බව ඇයට දැනුන’යුරු සිහිපත් විය.

පුංචි රාහුල කුමරු සරසවාගෙන සිද්ධාර්ථ කුමරුන් සොයා යන විට, දැලකට නොබැඳෙන සුළඟක් සේ, දිය මත නොතැවරෙන පියුමක් සේ, නොනැවතී සයුර කරා වදින නදියක් සේ රාහුල කුමරු උපන් ඒ ඇසළ සඳ කැන් මැද දෙව් මිනිසත් වගට සෙත සලසන්නට අභිනික්මන් කළ දා… ඇයට සිහිපත් විය.

සුදොවුන් රජතුමා හඬා වැටෙන විට, ප්‍රජාපතී බිසොවුන් ඉකිබිඳින විට, වෙනදාට කෙළිලොල් නන්දයන්, නන්දාවන් මුනිවත රකින විට… ඡන්නයන් අසිපතත්, සළුවත් රැගෙන එන විට දුක වාවා ගත නොහැකිව සිහිසන් නොමැතිව හඬා වැටුන’යුරු… මුළුමහත් මාලිගයත්, මුළු රාජධානියත් හඬා වැටුන’යුරු ඇයට සිහිපත් විය.

දෙව් මිනිස් වගට සෙත පිණිස සේ ම තමාටත්, රහල් කුමරුන්ටත් සෙත සුව පිණිස අභිනික්මන් කළ තම ස්වාමි දේවයන්ට ඇය මුළු හදින් සෙත් පැතුවා ය. නොපෙනෙන දෙවියන් යදිමින්, නොයෙක් උපවාස කරමින් තම ස්වාමි දේවයන්ට රැකවල් පැතුවා ය.

සිද්ධාර්ථ කුමරුන් වනගත වූ බව දැන නොයෙක් රජ දරුවන් විවාහ අපේක්ෂාවෙන් එවූ නොයෙක් තුටු පඬුරු දෙස නෙත’ගින් වත් නොබලා මුළු හදින් පතිවත රැක්කා ය.

එදා සිට සත් වසක් ගෙවී ගියේ සිහිනයක් මෙනි. නොබෝදා සිද්ධාර්ථ ශ්‍රමණයන් වහන්සේ විමුක්තිය සාක්ෂාත් කළ බවත්, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන් වගට පත් බවත් සුදොවුන් නිරිඳු ඇයට කීවේ ය. කාළුදායි ශ්‍රමණයන් වහන්සේ ඉක්මනින් ම සම්මා සම්බුදුරජුන් කපිලවස්තුවට වැඩම කරවන බව අසා ඇය යළිත් හඬා වැටුණා ය. දුර ඈත වෙල් යායන් මැදින් නුවරට පැමිණ විසුරුවා හළ ඇහැළ මල් මිටක් මෙන් විසි දහසක් ශ්‍රමණයන් වහන්සේලා පිරිවැරූ භගවත් මුනිරජුන් වඩින’යුරු ඇය සඳලුතලයේ කොණකට වී බලා සිටියා ය.

අද දහවලේ භගවත් මුනිරජුන් මාලිගයට වැඩමකොට දන් පැන් වළඳන විට ඇය නොගියේ දුක වාවා ගන්නට බැරි තැන ය. යහනේ වැතිරී කඳුළු සලමින් සිටින විට දොර කවුළුව අතරින් සත් වසක් නොඇසුණ හඬින් “යසෝදරාවෙනි…” යි අමතන විට මොහොතකට ලොව නැවතුනා යැයි ඇයට දැණින. ඕ තොමෝ එක්වන් හඬින් හඬා වැළපී සිරිපා පියුම් වන්දනා කොට දුක නිවා ගත්තා ය. ඕ ඉවතට ගන්නට උත්සාහ කළ සුදොවුන් නිරිඳුන් වළකා භගවත් මුනිරජුන් පැවසූ වදන් ඇගේ දෙසවන තවමත් නින්නාද වේ.

සඳ කිඳුරියක ව සිටි පෙම්වත් කිඳුරාණන්ගේ දිවි බේරාගත් අයුරු…. මානස විලේ හංසරාජයා රැකගත් අයුරු…. මන්ද්‍රී බිසව වී වෙස්සන්තර රජුට සම්බුදු බවට උරදුන් අයුරු…. සසර පුරා සෙවණැල්ලක් සේ සම්බුදු බවට පෙරුමන් පුරනා මහ බෝසතුන් හට උවටැන් කළ අයුරු…. අනේක ජීවිතවල එක්ව ආ ගමන අවසන් වූ බව ඇය වටහා ගත්තා ය.

භගවත් මුනිරජුන් අමා දම් දෙසා නික්ම වඩිනා විට සුළැඟිල්ලේ දැවටී ශ්‍රමණ පුතෙකු වන්නට රාහුල කුමරුන් යන’යුරු දැක දෑස කඳුළින් තෙමී ගියත් එය තම පුත් කුමරුන්ගේ උරුමය බව ඇය පසක් කර ගත්තා ය.

සත් වසක් පුරා සෙනෙහස ලැබ දුන් තම පුත් රුවන සම්බුදු පෙළහරට එක් වී අවසන් ය. මුණුපුරු රාහුලයන් පැවිදි වූ වග අසා සුසුමන් හෙළන සුදොවුන් නිරිඳුන් තවමත් අවදියෙනි. නන්ද කුමරුන් ඒ සියලු දේ මැද හෙට සිදුවන සරණ මංගල්‍යය සැලසුම් කරමින් සිටී. එනමුදු ඔහුගේ ඉරණම එය නොවන වග ඇය සිතුවා ය.

ගලා හැලෙන සඳ එළියෙන් මුළු කපිලවස්තුව ම නැහැවෙද්දී සියලු රටවැසියන් ම පාහේ කිසිදා නොඇසූ අමා දහම් අසා අමන්දානන්දයට පත්ව නොනිදා සිටින බව මැදුරු තුළ දැල්වෙන පහන් ආලෝක කියයි.

යසෝදරාව සසරේ පැතුම් ලෙස ම ඒ ආ ගමනේ අවසන් ඉමට තමන් පැමිණි බව වටහා ගත්තා ය. ඒ අමා පැතුම, දැල්වෙන පහනක් සේ තිර අදිටනකින් තම හදවතේ රුවා ගත්තා ය. විසි දහසක් රහතුන් පිරිවැරූ ශ්‍රමණ පුතුන් වැඩ සිටින, භගවත් මුනිරජුන් වැඩ සිටින නිග්‍රෝධ අරම දෙසට දෑත් එක්කොට වන්දනා කළා ය. සන්සුන් පියොවින් නෙත් කඳුළු පිස දමා ඇය ගමන් කළේ ප්‍රජාපතී ගෝතමී බිසවුන්ගේ යහන් ගැබටයි. ඒ, කාන්තා විමුක්තියේ කාහල නාදය අරඹන්නට කරන මේ වෑයම තමන්ගේ ජීවිතයේ එක ම සිහිනය නිසා ය.

පසු කලෙක ඒ උත්තමාවෝ විමුක්තිය සොයා අභිනික්මන් කොට ගෞතම සසුනේ පැවිදිව සුව සේ ම අමා නිවන සාක්ෂාත් කළෝ ය.

මෙසේ අප මහ බෝසතාණන් වහන්සේගේ ගිහි කල බිසව ව සිටි, සසරේ අප්‍රමාණ කැප කිරීම් කොට අප බෝසතුන් හට සුව සේ පාරමී පුරන්නට උරදුන්, ගෞතම සසුනේ මහා අභිඤ්ඤාලාභී භික්ෂුණීන් අතර අග්‍ර ව වැඩ සිටි යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේට අපගේ නමස්කාරය වේවා…!

– මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි