කළුවර පෝය දවසක, සොහොනක් ළඟ හිවල්ලූ කෑ ගහද්දි, වන ලැහැබක, බිත්තියක් දොරක් නැති ගල් ගුහාවක ? මැදියමේ අකුණු ගගහා වහින විට, උල ලේනෙක් කෑ ගහන මොහොතක් ඔබටත් උදා වුණොත්, ඔබේ සිතට කුමක් වේවි ද?

හිත අමුතු ම භීතියකින් වෙලා ගනීවි නේ ද? ඇත්තෙන් ම මාරයාගේ හයවන සේනාංකය ඔබව වට කරලා, ජීවග‍්‍රහයෙන් ම හසු කරගෙන. ‘‘ඡට්ඨෝ හීරු පවුච්චතී.”

වන මැද බවුන් වඩනා මුනිවරයෙක්ගේ හිත මොනතරම් එඩිතර ද? ඒ භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවධියේ පවා අමාවක අඳුරේ භය ඇතිකරවන අවතාර බහුලව වෙසේ යැයි සම්මත තැන්වල වැඩ සිටියා. උන්වහන්සේ ඒ අත්දැකීම මෙලෙසින් විස්තර කොට වදාළා.

‘‘ඉතින් එතකොට වනයේ සතෙක් හරි එනවා, මොනරෙක් හරි ගස්වල අතු කෑලි පහළට දමනවා. හුළඟට හරි රොඩු කෑලි ටිකක් වැටෙනවා. ඇත්තෙන් ම මේවා තමයි භය භිරාන්ත අරමුණු එනවා කියන්නේ.”

ඒ භාග්‍යවතුන් වහන්සේ භය, තැතිගැනීම කුමක්දැයි නො දන්නා සෙයින් අකම්පිතව සිටියා. සම්බුද්ධත්වයට පත් වුණාට පසුවත් උන්වහන්සේට එරෙහි ව මාරයා තමන්ගේ සේනාව යොදවා තිබුණා.

තෙල් පාටට දිලිහෙන තිරිවානා ගලක් රස කෑමක් කියලා ඔට්ටුවෙන කපුටෙක් වගේ භාග්‍යවතුන් වහන්සේ භයට පත් කරන්න හිතුවා. තැති ගන්වන්න, මවිල් කෙලින් කරවන්න ඕන කියලා හිතුවා.

විශාල නාගයකුගේ වේශයක් මවා ගත්තා. ඇඟ තනි ගස් කඳකින් කරපු ඔරුවක් වගේ, පෙණය රා පෙරන පෙරහන් කඩයක් වගේ, ඇස් දෙක විශාල පිඟන් වගේ, විදුලිය කොටනවා වගේ දිව එළියට දානවා. කම්මලේ මයින හම පිඹිනවා වගේ ආශ්වාස ප‍්‍රාශ්වාස කළා. ඔබට මෙහෙම කියවන කොට හිතට මැවෙයි, බටහිර චිත‍්‍රපටයක දසුනක්. නමුත් එය මිනිසෙකුගේ හිතේ මැවුණු, තාක්ෂණයේ බලයෙන් පණ ගැන්වුණ දෙයක්. සැබෑවට ම ? ඝන අඳුරේ වැහිපොද වැටෙද්දි මෙවැනි දසුනක් දුටුවොත්?

ඇත්තෙන් ම, හරිම පුදුමයි, කෙලෙසුන්ගෙන් මිදුන සිත නො සැලී තියෙන්නේ හරියට ඉන්ද්‍රඛීලයක් වගේ.

භාග්‍යවතුන් වහන්සේ වදාළා.

නහං ඵලෙය්‍ය පඨවී චලෙය්‍ය
සබ්බේ ච පාණා උද සන්තසෙය්‍යුං
සල්ලම්පි චේ උරසි පතප්පයෙය්‍යුං
උපධීසු තාණං න කරොන්ති බුද්ධා’ති.

ආකාසේ පුපුරලා ගියත්, පොළොව පුපුරලා ගියත්, සකල සත්ව ප‍්‍රජාව ම භීතියෙන් වෙලී ගියත්, පපුවට තියුණු උල්වලින් ඇන්නත්, බුදුවරයන් වහන්සේලා කෙලෙස්වලින් රැකවරණයක් හොයන්නෙ නෑ.
එවැනි නො සැලෙන සිතක් තිබූ ශාස්තෘන් වහන්සේගේ ශ‍්‍රාවකයන් තුළත් ඒ නිර්භය බව නො අඩුව තිබුණා.

දවසක් එක් ස්වාමීන් වහන්සේ නමකට අලූතින් සිවුරක් සකස ගන්න වුවමනා වුණා. අමු සොහොනට වැඩම කළාට පස්සේ දැක්කා අලූත් මළ සිරුරක් රෙදි කැබැල්ලකින් ඔතා තිබුණා. මේ ස්වාමීන් වහන්සේ රෙදි කොණකින් අල්ලා එය ගන්නා අදහසින් ඇද්දා.

එවිට අර මළ සිරුර පෙරළී ගොස් සිට ගත්තා. පාළු සොහොනක ඇට සැකිලි, කුණු වෙන මළ කඳන් මැද මළ සිරුර හිට ගනිද්දි ඒ භික්ෂුව භයට පත් වුණේ නෑ. අමනුෂ්‍යයෙක් අධිගෘහිත ඒ සිරුර කෑ ගැසුවා.

‘‘මගේ රෙද්ද හොරකම් කරනවා නේ ද? මෙහෙ දෙනවා මගේ රෙද්ද” කියා මොර ගෑවා.

අර භික්ෂුව රෙදි කැබැල්ලත් රැගෙන වේගයෙන් ගොස් කුටියේ දොර වසා ගත්තා. අර මළ සිරුරත් දුවගෙන ගිහින් දොරේ හැපී එතන ම ආලින්දයේ වැටුනා. ඒ භික්ෂුව කුමක් කරන්න ඇත්ද? සුළු මොහොතක් ගෙවුණා. නැවත දොර ඇරලා මළ සිරුරේ මාපට ඇඟිල්ලෙන් ඇදගෙන ගොස් සොහොනට දමා භාග්‍යවතුන් වහන්සේ හමුවන්නට වැඩම කළා.

ඇත්තෙන් ම මෙය සුරංගනා කථාවක් නො වෙයි. වීරෝධාර, එඩිතර භික්ෂුවක් මුහුණ දුන් සිදුවීමක්.

එවන් සිතක් වැඩුවේ මේ ධර්මයෙන් ම යි. නො වැඩූ සිතකින් කොහොම නම් සත් හැවිරිදි පුංචි සිඟිත්තන් පැවිදිව වනයෙ කල් ගත කරන්න ද?

නමුත් බියජනක දේ ලෝකයේ නැතුවා නො වේ. එනිසා ම යි භාග්‍යවතුන් වහන්සේ වදාළේ, භයක්, තැති ගැනීමක්, ලොමුඩහ ගැනීමක් ඇති වුණ වෙලාවක, කිසිවිටක භයක් නිසා තැති නො ගන්න, පලා නො යන ඒ තෙරුවන මෙවන් ගුණයෙන් යුක්තයි කියා සම්බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ සිහිපත් කරන්නට කියා.

බිය, තැති ගැනීම හිත කෙලෙසනවා කියලා ඔබ මීට කලින් සිතන්නට නැතිව ඇති. නමුත් ඒ බය තැති ගැනීම් සිතේ මැඬපැවැත්වූ ජීවිතයක් ඇති භික්ෂුව පින් සලකා දන් පුදන්නට සුදුසු, අනුත්තර පින් කෙතක් බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.

භයභේරවසහෝ හෝති
උප්පන්නං භයභේරවං
අභිභුය්‍ය අභිභුය්‍ය විහරති.

(දුතිය ආහුණෙය්‍යභික්ඛු සූත‍්‍රය – අං. නි.)

එසේ නම් තරහක් ආසාවක් ඇති වුණා ම ඉන්ද්‍රිය සංවර කරනවා වගේ ඔබටත් දැන් පුළුවන් උපන් භය මැඬගෙන වාසය කරන්න. නමුත් භය නැති කරන්න හිතාගෙන වැඩිහිටියන් එපා කිව්ව දේවල් කරන්න යන්න එපා. ඔබ භය නැති වෙන්න පුළුවන්. ඔබට ඒ ගැන ගැටලූවක් නැති වෙන්නත් පුළුවන්. එහෙත් වැඩිහිටියන් යමක් පවසන්නේ හේතු ඇතුව යි.

දුර ඈත වනයේ ගත කළ, පාළු සොහොනක වාසය කරමින් ධූතාංග රැකි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලා සිහිපත් කරමින් ඔබටත් භයක්, තැති ගැනීමක්, ලොමුඩහ ගැනීමක් ඇති වුණ විටදි භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ගුණ ම සිහි වේවා!

සටහන
සුදීපා කුමුදුනී