ඉස්සර දවල් කාලයේ ගෙවල් දොරවල් ඇරලා දාලා අපට ගමනක් වුණත් ගිහින් එන්න පුළුවන්. ඒ වගේ ම අපි දන්නවා මීට පරම්පරා දෙක තුනකට කලින් අපේ පැරැන්නන්ගේ ගෙවල්වල දොර අගුලූ කියා දෙයක් තිබුණෙත් නැහැ. ඒත් දැන්…. කුස්සියේ වැඩක් කරමින් හිටියත් සාලෙ දොර අගුලූ දාලා තියන්නට ඕන. ඒ තරමට ම සොර සතුරු උපද්‍රව විසින් සමාජය වෙලාගෙන අවසන්.

අපි කිසිසේත් ම නො සිතන ආකාරයේ උපායන්ගෙන් සිදු කරන මහා පරිමාණයේ හා කුඩා පරිමාණයේ වංචා දූෂණ පිළිබඳ ප‍්‍රවෘත්ති තොරක් නැතිව අසන්නට දකින්නට ලැබෙනවා. මේ සියලූ දෑ සනාථ කරන්නේ අද සමාජයේ ගුණධර්ම පිරිහීම නො වෙයි ද? ඒ වගේ ම මෙකල වාර්තා වන සිද්ධි දෙස බැලූ විට පෙනෙන්නේ රටේ නීතිය ද බොහෝ සෙයින් හෑල්ලූවට ලක්ව ඇති බවක්. බොහෝ දෙනෙක් නීතිවිරෝධි ක‍්‍රියාවන් කරමින් සිටිනවා වගේ ම නීතියේ රැහැනට හසු නො වීමට නොයෙකුත් උපායන් ද යොදනවා.

සමාජයක යහපැවැත්ම උදෙසා නීතිරීති තිබීම අත්‍යාවශ්‍ය දෙයක්. අප වාසය කරන්නේ විෂම වූ සමාජයක යි. සිල්වතුන්, ගුණවතුන් වගේ ම සොරුන්, බොරුකාරයන්, වංචනිකයන්, ඝාතකයන්, බේබද්දනුත් සමාජයේ අඩුවක් නැතිව ම ඉන්නවා. රටක නීති සම්පාදනය වෙන්නේ වැරැද්ද සහ නිවැරැද්ද සමාජ සම්මතයන්ට අනුව නිර්වචනය කරගනිමින්, වැරදිවලට දඬුවම් ලබා දී වැරදිකරුවන්ගෙන් සමාජයට වන හානිය වළක්වාලීමේ හා අවම කරගැනීමේ වුවමනාවෙන්. කෙනෙක් නීතියෙන් වැරදිකරුවෙක් බවට පත්වීම හරහා සමාජය තුළත් ඒ කෙනාව වැරදිකරුවෙක් බවට පත් කෙරෙනවා. නීතියෙන් දඬුවම් ලැබීමට ඇති භය නිසා බොහෝ මිනිසුන් නීතියේ රාමුවට අදාළ වන වැරදි සිදු කිරීමෙන් වැළකී සිටින්නටත් උත්සාහ කරනවා.

වැරදි කිරීමත්, වැරදිවලට දඬුවම් කරමින් නීති සකස් කිරීමත් ඇරඹුණේ බොහෝ දුරාතීතයේ දී යි. නෛතික ව්‍යුහයකට සමාජය හැඩ ගැසීමේ ඉතිහාසය පිළිබඳ නොයෙකුත් මත පළ කෙරී තිබෙනවා. ක‍්‍රි. පූ. 3000ක් තරම් වූ ඈත ඉතිහාසයේ පුරාණ ඊජිප්තුවේ පැවති නීතිය වත්මන් ලොව පිළිගන්නා ආකාරයට ලෝකයේ පැවති පැරණිතම නීති පද්ධතිය වෙනවා. එහෙත් ලෝකයේ නීති සම්පාදනය වීමට ඊටත් එහා ඉතිහාසයක් තිබෙන බව තථාගතයන් වහන්සේ පෙන්වා දී වදාළා. මේ විස්තරය අන්තර්ගත වෙන්නේ දීඝ නිකායේ චක්කවත්තී සීහනාද සූත‍්‍රයේ.

සකල ලෝකය ම ධර්මයෙන් පාලනය කළ ‘දළ්හනේමි’ සක්විති රජුගෙන් ඇරඹි චක‍්‍රවර්තී රාජ්‍යය සක්විති රජවරුන්ගේ පරම්පරා හතක් වනතුරු එකදිගට පැවතියා. ඒ සියලූ රජවරුන් ධර්මයට ම සත්කාර කරමින් ධර්මය ම අධිපති කරගනිමින් වාසය කළා. නිති පංචශීලය ආරක්ෂා කළා. සියලූ වැසියන්ටත්, සතා සිව්පාවන්ටත් ධාර්මිකව සංග‍්‍රහ කළා. දිළින්දන් වස්තුවෙන් පෝෂණය කළා. සිත දමනය කරන, සිත සන්සිඳුවන ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරු සොයාගෙන ගිහින් කුසල් කියන්නේ මොනවා ද?, අකුසල් කියන්නේ මොනවා ද?, වැරදි සහගතයි කියන්නේ මොනවා ද?, වැරදි නැත කියන්නේ මොනවා ද?, සේවනය කළ යුතු හා සේවනය නො කළ යුතු දේවල් මොනවා ද?, කළ යුතු කුමක්ද?, නො කළ යුතු කුමක්ද? කියා විමසා සිටියා. සක්විති වත් යනුවෙන් හැඳින්වූ ඒ පිළිවෙළටයි සෑම චක‍්‍රවර්තී රාජ්‍යයක් ම පාලනය වුණේ.

මේ පරම්පරා හතෙන් පසුව රජ බවට පැමිණි කුමරු සක්විති වත් පිළිපැද්දේ නැහැ, ඒ ගැන සොයා බැලූවෙත් නැහැ. අමාත්‍යවරු මෙයින් සිදුවන හානිය වටහාගෙන රජුට සක්විති වත් ගැන පැහැදිලි කරදුන්නා. ඔහු එය පිළිගත්තා. එහෙත් ඉටුකළේ එයින් කොටසයි. සියල්ලන්ට ම ධාර්මික රැකවරණය සැලසීමට මේ රජු යොමු වුණත් දිළින්දන් ධනයෙන් පෝෂණය කිරීම ඔහුගෙන් මඟ හැරුණා. එයින් එන්න එන්න ම ඔවුන්ගේ දිළිඳුකම වැඩි වුණා. ජීවත් වෙන්න අපහසු වෙද්දි ඔවුන් කළේ අන් සතු වූ නුදුන් දෙය හොරෙන් ගැනීම. එය තමයි ලොව සිදු කෙරුණ පළමු දුරාචාරය.

මේ එක හොරෙක් රාජ පුරුෂයන්ට හසු වුණා. රජු ඉදිරියට ඔහුව ගෙනගිය පසු ඔහු කියා සිටියේ ජීවත් වීමට ක‍්‍රමයක් නැති නිසා සොරකම් කළ බවයි. එවිට රජතුමා ඔහුට ධනය දුන්නා. යහපත්ව ජීවත් වෙන්න අවවාද කළා. එහෙත් අනෙක් දිළින්දන් තවමත් හිටපු අඩියෙමයි. ඔවුනුත් සොරකම් කරන්න ගත්තා. කිහිප දෙනෙක් ම රාජ පුරුෂයන්ට හසු වෙලා පෙර පරිදි ම රජුගෙන් ධනය ලැබුවා. ඒත් එන්න එන්න ම සොරකම් වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. එවර රජු හිතුවා ‘මේක හරියන දෙයක් නෙමෙයි. දඬුවම් පමුණුවන්න ඕනේ…’ මෙහෙම හිතලා රජු සොරෙකුට මරණීය දණ්ඩනය නියම කළා. ඔන්න ලෝකයේ සිදු වුණු දෙවැනි වැරැද්ද, ප‍්‍රාණඝාතය…
ඔන්න ඔය ආකාරයෙන් ක‍්‍රමයෙන් බොරු කීමත්, කාම මිථ්‍යාචාරයත් ඇති වුණා. දළ්හනේමි සක්විති රජුගේ සමයේ අවුරුදු 80000ක් වුණ මිනිස් ආයුෂ අවුරුදු 5000කට අඩු වුණා. අධර්ම රාගයෙන්, බොරුවෙන් ජීවත්වන මේ මිනිසුන් පරුෂ වචන කියන්නත් පටන් ගත්තා. අනුන්ගේ දෙයට ආශා කළා. තරහ සිත් පැවැත්වුවා. පින් පව් පිළිබඳ විශ්වාසය අඩු වෙලා ගියා. මිථ්‍යා දෘෂ්ටිවල බැස ගත්තා. මව පියාට, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන්ට සැලකීම අඩු වුණා. ආයුෂ ප‍්‍රමාණය අවුරුදු සියය තෙක් පහළ බැස්සා…

තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළා තව තවත් මේ පිරිහීම දුරදිග යන බව. හිතාගන්න වත් අපහසු වුණත් යම් කලෙක මනුෂ්‍යයන්ගේ ආයුෂ අවුරුදු 05 දක්වා අඩු වෙනවා. ඒ තමයි බුද්ධ භාෂිතය. තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී වසර සියයක් පමණ වුණ පරමායුෂ දැන් වසර හැටපහකට හැත්තෑවකට අඩු වෙලා නේ ද? අපේ ආයුෂ ප‍්‍රමාණය, ගුණ ධර්ම අතින් අපේ පිරිහීම පෙන්වන දර්ශකයක් වෙලා…

මේ සිත කියන්නෙ පුදුම සහගත දෙයක්. සුමඟට යොමු කළොත් ඉතා ප‍්‍රණීත වූත්, සුන්දර වූත් ප‍්‍රතිඵල ගෙන දෙන දෙයක්. ඒ වගේ ම නො මඟට යොමු කළොත් තමාටත්, අනුන්ටත් බොහෝ අහිත පිණිස පවතිනවා. කෙනෙකුට පුළුවන් සිත තුළ පවතින නිර්මාණශීලී හැකියාව සමාජයට හිත පිණිස, වැඩ පිණිස යොදවන්නට. ඒ වගේ ම තමයි ඒ හැකියාව වැරදි දෙයකට භාවිත කළොත් ‘මනුෂ්‍යයෙකුට මෙතරම් පහත් තත්ත්වයකට ඇද වැටෙන්නට පුළුවනි ද?’ කියා සිතෙන ආකාරයේ අතිශය පිළිකුල් සහගත, නින්දිත වැරදි සිදු වෙනවා. මෙවැනි දේවල් ගැන අපට නිරන්තරයෙන් අහන්නට, දකින්නට ලැබෙනවා.

සමාජය තුළ අලූත් දේවල් නිතර නිතර එළි දකිනවා. ඒ අලූතින් එන අංගය සමඟ අලූත් අලූත් වැරදිත් ඇති වෙනවා. ඒ අලූත් වැරැද්දට දඬුවම් කරන්න අලූතෙන් ම නීති හදන්නත් වෙනවා. හොඳම නිදසුනක් තමයි අන්තර්ජාලය හා සම්බන්ධව සැකසුන නීති රීතීන්. මේ තමයි ලෝකය ගමන් කරන රැල්ල. වැරදි නො කර සිටිනවා නො වෙයි; නව නීති ඇති කර පාලනය කළ යුතු ආකාරයට අලූත් අලූත් වැරදි සිදු කරනවා….

නීති පද්ධතිය හැම මොහොතක ම නිවැරදි නො වන්නටත් පුළුවනි. වැරැද්ද තීරණය වන්නේත්, දඬුවම් තීරණය වන්නේත් එකින් එක කරුණු ගළපා මිස සිදු වූ දෙය ඒ ආකාරයෙන් ම දැනගෙන නො වෙයි. එනිසා ඇතැම් විට නීතිය ඉදිරියේ වැරදිකරුවන් නිවැරදිකරුවන් බවටත්, නිවැරදිකරුවන් වැරදිකරුවන් බවටත් නිර්ණය වන්නට පුළුවනි. ලොව පිළිගත් මතය තමයි, ලිඛිත නීතිය ප‍්‍රබලයා විසින් බිඳ දැමෙන, දුබලයා ව පටලා ගනු ලබන මකුළු දැලක් ය කියන එක.

ඒ කොහොම වුණත් කෙනෙක් නො කළ වරදකට නීතියේ රැහැනට හසු වීම නීතියේ අඩුපාඩුවක් ම කියා කියන්නටත් බැහැ. එය ඇතැම් විට පූර්ව කර්ම විපාකයක ප‍්‍රතිඵලයක් වන්නටත් පුළුවනි. තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේත් ඉතා සිල්වත්, ගුණවත් ස්වාමීන් වහන්සේලා රාජ නීතිය තුළ මරණීය දණ්ඩනය ලද බව අප අසා තිබෙනවා.

පවතින ඕනෑම නීතියකින් වැට බැඳෙන්නේ කයත්, වචනයත් මුල් වී කෙරෙන වැරදිවලටයි. එහෙත් ඒ සියල්ලට ම මුල් වෙන්නේ නම් මේ සිත ම යි. කයෙන්, වචනයෙන් සිදුකෙරෙන හොඳ හෝ නරක දේවල් පළමුව හට ගන්නේ මේ සිත තුළයි. ඒ නිසා සිත සංවරයට පත් කරගැනීම ම යි වටින්නේ.

බොහෝ දෙනා නීතිවිරෝධි ක‍්‍රියාවන්වල නො යෙදෙන්නේ නීතියෙන් දෙන දඬුවමට බියෙන් බව අප පෙරත් සඳහන් කළා. ඒ සියලූ වැරදි සහමුලින් ම නවතා දැමෙන ක‍්‍රමයක් තමයි සීල සංවරයට පත්වීම. කෙනෙක් සීල සංවරයට පැමිණෙන්නේ කර්ම විපාකය පිළිබඳ වැටහීම ඇති කරගැනීමෙන්. සීල සංවරයට පැමිණෙන කෙනා තමන් සමාදන් වූ සිල්පද නිතර සිහි කරමින් යළි යළිත් සංවර භාවයට පත්වෙනවා.

යමෙක් සීලය තුළ ස්වයං සංවර භාවයට පත් වෙනවා නම් එහි තේරුම තමයි නීතිගරුක පුද්ගලයෙක් සමාජයට දායාද වෙනවා කියන එක.

යම් විටෙක අපට නො කළ වරදකට දඬුවම් ලැබෙන්නට පුළුවනි. ඒ කර්ම ස්වභාවය බව අවබෝධයෙන් කටයුතු කළොත් මත්තෙහි දුක් විපාක පිණිස එයින් කර්මයන් සකස් වන්නේ නැහැ. නමුත් සැබැවින් ම අප විසින් වරදක් කළා නම්, නීතියෙන් දඬුවම් නො ලැබුණත්, නිසැකයෙන් ම මත්තෙහි දුක්විපාක පිණිස එයින් කර්ම සකස් වෙනවා. ඒ නිසා තමන්ගේ සැපය කැමති කෙනා කළ යුත්තේ සීලය තුළ සංවර වීම නේ ද? කෙනෙකු සිල්වත් වීමේ සමාජයේ සොර සතුරු බිය, ප‍්‍රාණඝාත බිය ආදියත් දුරු වීමට හේතු වෙනවා. කෙනෙක් පංචශීලය ආරක්ෂා කරයි නම් ඒ කෙනා ලෝකයට අප‍්‍රමාණ ලෙස අභය දන් දෙන බවත්, අවෛරය දන් දෙන බවත්, නිදුක් බව දන් දෙන බවත් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළා.

ශීලයෙන්, ගුණධර්මවලින් පිරිහුණ සමාජයකට පරිපූර්ණ රැකවරණයක් සලසා දීම නීතියට වත් කළ නො හැකි දෙයක්… ඒ නිසා, සමාජයට ආදරය කරන අප කළ යුත්තේ පංචශීල ප‍්‍රතිපදාව තුළ පිහිටා නීතිගරුක වූත්, සුවපත් වූත් සමාජයක් බිහි කිරීමට උපකාරී වීමයි…

සටහන – කෝසල සමරසේකර