නොවරදවාම කියවන්න….

වර්තමානයේ බොහෝ දෙනෙකුගෙන් ඇසෙනා අඳෝනාවකි “‍අයියෝ අපි දැන් කාලයක් තිස්සේ ධර්මය අහනවා, කියවනවා, ධර්මය හිතනවා, ඒත් අපට අවබෝධ වෙන්නේ නෑනේ.” යන්න.‍ ඇතැමුන් මෙබඳු වදන් කියනු ද ඇසේ. ඇතැමුන් කටින් නොකීවත් මෙබඳු අදහස් ඇතිව සිටී. මෙබඳු අදහස් ඇති අය ඉතා ඉක්මනින් අධර්මවාදී හොර රහතුන්, හොර මග ඵල කියන්නන් පස්සේ වැටී විනාශ වෙති. එය මහත් අවාසනාවකි.

‘ස්වක්ඛාතෝ භගවතෝ ධම්මෝ’ ආදී වශයෙන් කියැවෙන දහම් ගුණ පාඨයවත් එබන්දන් හට මතක නැතුවා වගෙයි. දහම් ගුණ අතරේ ‘පච්චත්තං වේදිතබ්බෝ’ යනුවෙන් ගුණයක් තිබෙනවා නේ ද? එනම්, මේ ශ්‍රී සද්ධර්මය තම තමන්ගේ නුවණේ ප්‍රමාණයට අවබෝධ වන බවයි.

බොහෝ දෙනෙක් සිතන්නේ තම තමන්ගේ ආසාවේ වේගයට, හදිස්සියේ තරමට ධර්මය අවබෝධ වේවි කියලයි. මේ අත්තනෝමතිකය වැරදි ය. ධර්මයේ කියවෙන්නේ එසේ නොවෙයි, නුවණේ ප්‍රමාණයට ධර්මය අවබෝධ වන බවයි.

කෙසේ ද නුවණ ලැබ ගන්නේ?

“සද්දහානෝ අරහතං – ධම්මං නිබ්බාන පත්තියා
සුස්සූසා ලභතේ පඤ්ඤං – අප්පමත්තෝ විචක්ඛණෝ”

(ආලවක සූත්‍රය – සුත්ත නිපාතය)

“අමා නිවනට පමුණුවාලන – දහම් පවසති රහත් මුනිවරු
මනා කොට ඒ දහම් අසාගෙන – ඇසූ දහමට සිත යොමාගෙන
පමා නොම වී – එයට නතු වී
විමසනා විට – නුවණ මතු වේ”

නුවණ මතු වෙන්නේ ඒ විදියටයි. ආසාවෙන් ධර්මය අසමින්, ධර්මය මතක තබාගෙන, ධර්මයේ ඇති අයුරින් ම විමසද්දී තමයි නුවණ මතුවෙන්නේ. නැති නුවණ මතු වෙන්නෙත්, තියෙන නුවණ දියුණු වෙන්නෙත් ධර්මය විමසීමෙනුයි.

1. ධම්මෝ පනේසෝ සුගතප්පසත්තෝ
තරණීව සංසාර මහණ්ණවස්ස
බ්‍රහ්මාසුරාදිහි නමස්සනිය්‍යෝ
රසෝ රසානං පරමෝ තිලෝකේ

සුගත වූ අපගේ බුදුරජාණන් වහන්සේ විසින් පසස්නා ලද මේ ශ්‍රී සද්ධර්මය වනාහි, සංසාරය නම් වූ මහා සැඩපහර තරණය කිරීමට ඇති සොඳුරු නෞකාවක් වැනි ය. බ්‍රහ්මයින් දෙවියන් විසින් ද නමස්කාර කරනු ලබන මේ ශ්‍රී සද්ධර්මය, තුන්ලොවේ ම ඇති රසයන් අතර උතුම් ම රසය යි.

2. මහාගදෝ මච්චුජරා පහානෝ
සබ්බිතිනාසාය විසේසමන්තෝ
සබ්බන්ථ දානේන ච කප්පරුක්ඛෝ
චින්තාමණි හද්දඝටෝව ධම්මෝ

ජරා මරණ පවා ප්‍රහාණය කරවන බැවින් මේ ශ්‍රී සද්ධර්මය නම් මහා ඖෂධයකි. ජීවිතයේ ඇති සියලු‍ උවදුරු නසාලීමට සමත් හෙයින්, ශ්‍රී සද්ධර්මය උවදුරු නසනා විශේෂ මන්තරයකි. සසරේ දුකට පත් සත්වයින් හට සියල් සැපත උදා කරවීමට සමත් හෙයින් මේ ශ්‍රී සද්ධර්මය නම්, සිතූ පැතූ දේ ලබාදෙන කප්රුකකි. චින්තාමාණික්‍යයකි. භද්‍රඝටයකි.

3. ධම්මං විනා නත්ථි පිතා ච මාතා
තමේව ඨාණං සරණං පතිට්ඨියා
තස්මාහි නෝ කිච්චමඤ්ඤුප්පහාය
සුණාථ ධාරේථ චරාථ ධම්මේ

ධර්මයේ සරණ හැර සසරගත අසරණ සත්වයින් හට මවකගේ පියෙකුගේ සරණක් නැත. සසරේ අසරණ වූ සත්වයා ආරක්ෂාව පිණිස, සරණ පිණිස පිහිටිය යුත්තේ මේ සද්ධර්මය තුළයි. එනිසා භවත්නී, නොයෙක් නොයෙක් දේ කරමින් කාලය ගත කිරීමේ ඵලක් තිබේ ද? නොපමාව ධර්මය ම අසන්න. ඒ ධර්මය මතක තබා ගන්න. පමා නොවී ධර්මයේ හැසිරෙන්න.

මේ ගාථා තිබෙන්නේ රසවාහිනී නම් උතුම් ග්‍රන්ථයේ ය. බලන්න එම ගාථා කොතරම් අරුත්බර ද? සසරේ යන සත්වයාට එකම සරණ, එකම පිහිට වන සද්ධර්මය අපට දැන් මුණගැසී තිබේ. මේ මොහොතේ අපි කළ යුත්තේ අපේ දක්ෂතා, අපේ අදක්ෂතා සෙවීම නොවේ. මේ මහාර්ඝ වූ සද්ධර්මය ම විශ්වාස කිරීමයි. බලවත් විශ්වාසයෙන් යුතුව ධර්මය අසමින්, කියවමින් ඉගෙන ගැනීමයි. ටික ටික හෝ ඒ දහම මතක තබා ගැනීමයි. ඒ ධර්මයේ හැසිරීමයි අපි මේ මොහොතේ කළ යුතු ම දෙය.

ඔබ මේ ධර්මය විශ්වාසයෙන් යුතුව අසමින් හෝ කියවමින් හෝ ඉගෙන ගත්තොත් (සුතා), ඒ ධර්මය මතක තබා ගත්තොත් (ධතා), ආසාවෙන් ධර්මය කියමින් වචනයෙන් පුරුදු කළොත් (වචසා පරිචිතා), ධර්මය සිතින් මෙනෙහි කළොත් (මනසානුපෙක්ඛිතා), ටික ටික හෝ ධර්මය පුරුදු පුහුණු කළොත් (දිට්ඨියාසුප්පටිවිද්ධා) ඒක කවදාවත් අපතේ යන්නේ නැත.

බලන්න ධර්මය නිසා ලැබෙන ආනිශංස…

මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙනගෙන, මතක තබාගෙන, වචනයෙන් පුරුදු කරමින්, සිතින් මෙනෙහි කරමින් ධර්මයේ හැසිරෙන විට තියුණු නුවණක් ඇති අය (දිට්ඨේව ධම්මේ අඤ්ඤං ආරාඨේති) මේ ජීවිතයේ ඉතා ඉක්මනින් ම මාර්ග ඵල සාක්ෂාත් කරයි. එනම්, ගොඩක් නුවණ තියෙන අය අරහත්වයට පත් වේ. ඊ ළඟට අනාගාමී වේ. ඊ ළඟට සකදාගාමී වේ. ඊ ළඟට සෝවාන් වේ. මේ මුල් ම ආනිශංසය යි.

(අථ මරණකාලේ අඤ්ඤං ආරාධේති) ඊ ළඟට ඊට වඩා තරමක් නුවණ මඳ අය මේ ජීවිත කාලෙම ධර්මයේ හැසිරෙන්නට මහන්සි වී මේ ජීවිතයේ අවුරුදු තිහක් හතලිහක් පනහක් අතනොහැර ධර්මයේ හැසිරිලා මියපරලොව යන්ට ලැබෙද්දී මරණාසන්න කාලයේ දී මාර්ග ඵල අවබෝධ කරයි. එය ඊ ළඟ ආනිශංසය යි.

ඊ ළඟ ආනිශංසය වන්නේ සුගතියේ ඉපදීම යි. මෙය හොඳින් තේරුම් ගන්නට ඕන දෙයකි. අපි මේ ජීවිතේ මනුස්ස ලෝකේ කියන සුගතියේ උපන්න නිසා නේ ද අපට ධර්මය කතා කරන සත්පුරුෂ උත්තමයෝ මුණගැසුනේ? ධර්ම කතාව අසන්න ලැබුණේ? ඒ ඇහෙන දහම් පද එකක් දෙකක් හෝ තේරුණේ? ඊ ළඟට දාන සීල භාවනා ලෙස පින් කර ගන්න ලැබුණේ? අපි හිතමු මේ මිනිස් ලෝකෙ අවුරුදු අසූවක් විතර ඉඳලා අපි මැරුණා කියා. ඊට පස්සේ ආයෙ උපදින්නේ දහම් කතාවක් නැති ලෝකයක නම් ඔක්කොම ඉවරයි නේ ද?

නමුත් යමෙක් ධර්මය අසමින් දරා ගනිමින් මේ ජීවිතය ධර්මයේ හැසිරුනොත් එයා මරණින් මත්තේ සුගතියේ උපදියි. එනම්, ආයෙමත් සත්පුරුෂයෝ මුණගැසෙන, දහම් කතාව ඇසෙන, පින් කළ හැකි තැනක එයා උපදිනවා යන්නයි. මේ සුගති උපත මේ ජීවිතයේ සල්ලි තිබුණට, ඉගෙනගෙන ඉහළට ගියාට, උපාධි තිබුණට, වංශවත් වුණාට, ප්‍රසිද්ධ වුණාට, මේ කිසිම දේකින් ලබා ගන්ට නොහැකි ය. නමුත් ධර්මයේ හැසිරෙන කෙනා එහි ආනිශංසයක් ලෙස සුගතියේ උපදියි.

සුගතියේ උපන්නට පස්සේ….

1. ධර්මය අසා දරාගෙන වචනයෙන් පුරුදු කරගෙන සිතින් විමසා නුවණින් තේරුම් ගත් කෙනා සුගතියේ උපන්නාම ලැබෙන පළමුවෙනි වාසනාව නම් තමන්ට ම ඒ ධර්මය සිහි වීම යි. එතකොට එහි දී තවදුරටත් ඒ ධර්මය ම විමසද්දී විශේෂ අවබෝධයක් කරා යයි.

2. කෙනෙකුට ඒ විදිහට තමන්ට ම ධර්මය සිහි නොවෙන්න පුළුවන. ඒ වුණත් දෙව්ලොවට වැඩම කොට ඉර්ධිමත් භික්ෂුවක් ධර්මය කියයි. ඔහුට ඒ ධර්මය අසන්නට ලැබෙනකොට ඉක්මනින් ම අවබෝධය කරා යයි.

3. එහෙමත් නැති නම් දෙව්ලොවට වැඩම කොට ඉහළ බ්‍රහ්ම ලෝකයක බ්‍රහ්මරාජයෙකු හෝ ධර්මාවබෝධ කළ දෙවියෙක් හෝ දහම් කතාව කරයි. එය ශ්‍රවණය වෙද්දී තමන් පුරුදු කරපු ධර්මය මතක් වී වේගයෙන් ධර්මාවබෝධය කරා යයි.

4. ඊ ළඟට මේ විදිහටත් සිද්ධ වෙයි. මනුස්ස ලෝකයේ තමා සමඟින් හිතවත්ව හිටපු කෙනෙක් දෙව්ලොව ඉපිද එහි දී මුණගැසෙයි. ඒ හමුවීමෙන් අතීතය මතක් වෙද්දී, ධර්මය සිහියට එයි. ඒ විදිහට ධර්මය සිහි වීත් සුගතියේ දී අවබෝධ කිරීමේ වාසනාව ලැබෙයි.

මේ සුගතිය තුළ දී ධර්මාවබෝධයට අවකාශය සැලසෙන විදිහ ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අංගුත්තර නිකායේ සෝතානුධත සූත්‍ර දේශනාවේ දී ය. සුගතියේ ඉන්න කාලයේ දී ධර්මය අවබෝධ නොවුණොත් මොකද වෙන්නේ?

සුගතියේ දී අවබෝධ නොවුණොත්….

ධර්මය සිහි වෙලත් කෙනෙකුට සුගතියේ ගත කරන දීර්ඝ කාල සීමාවේ ධර්මය අවබෝධ නොවුණොත්, තමන්ගේ සිතේ තිබෙන බලවත් ධර්මඡන්දය (ධර්මයට ඇති කැමැත්ත) නිසා පසේබුදුවරුන්ගේ යුගයක ඉපදී (පච්චේක බුද්ධෝ භවිස්සති) පසේබුදුවරයෙක් බවට පත් වෙයි. ඒ අයුරින් හෝ තමා පුරුදු කළ ධර්මය ආනිශංස උපදවා දෙයි.

ඒ විදිහට පසේබුදු බවට පත් නොවුණොත් අනාගතයේ පහළ වන සම්බුදුරජාණන් වහන්සේනමකගේ සසුනක වහා ධර්මාවබෝධ කරන කෙනෙක් බවට පත් වෙයි.

ඒ නිසා මේ ආනිශංස සියල්ල පහන් සිතින් සිහිකරනා නිරහංකාර නුවණැත්තෝ උතුම් සද්ධර්මය අසත්වා! කියවත්වා! මතකයේ දරා ගනිත්වා! වචනයෙන් පුහුණු කරත්වා! ධර්මය නුවණින් තේරුම් ගනිත්වා!

අපට මතක හිටින්නෙ නෑ…

තවත් ප්‍රශ්නයකි, ධර්මය ඇහුවට කියෙව්වාට අපට මතක හිටින්නෙ නෑ යන්න. මේ මැසිවිල්ල අපි බැහැර කර ගත යුතුම යි. හේතුව, මතක හිටින්නේ නෑ කියමින් මැසිවිලි නැගුවා කියා අපට සැලසෙන සෙතක් නැති නිසයි.

අප කළ යුත්තේ තිලෝගුරු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා ගුරු තන්හි තබා පුද දුන් සද්ධර්මයට අප්‍රමාණ ගෞරවයකින් ධර්මය ඉගෙන ගැනීමයි. ඒ තුළින් සැලසෙන යහපත අප්‍රමාණයි.

මල් සුවඳ විහිදෙන මුඛයක්…..

සැවැත්නුවර එක් ධර්මකථික භික්ෂුවක් විය. දහම් දෙසනා විට උන්වහන්සේගේ මුවින් නිල් මහනෙල් මල් සුගන්ධය විහිදෙයි. මේ අසිරිය දැක පසේනදී කොසොල් මහරජු භාග්‍යවතුන් වහන්සේගෙන් විමසී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ, “මහරජ, ඒ භික්ෂුව අතීතයේ සද්ධර්මය අසමින් ප්‍රීතියෙන් සාදුකාර දුන්නේ ය. ඒ පිනෙන් ය ඒ භික්ෂුවගේ මුවින් මල් සුවඳ විහිදෙන්නේ.” යැයි‍ වදාළ සේක.

“සද්ධම්ම දේසනාකාලේ – සාධු සාධූති භාසතෝ
මුඛතෝ වායතේ ගන්ධෝ – උප්පලාව යථෝදකං”

(මනෝරථපූරණී අට්ඨකතා)

සදහම් දෙසනා කාලයේ (ඒ දහම් අසා පහන් සිතින්) ධර්මයට යමෙක් සාදුකාර දෙන්නේ වෙයිද, ඒ සාධුකාර දුන් මුව ඇති තැනැත්තේ උපනූපන් ආත්මයේ මහනෙල් මල් සුවඳ විහිදෙන මුව මඬලක් ඇත්තේ වෙයි.

ඒ ධර්මයට සාධුකාර දීමේ අනුසස් ය. නොයෙක් ක්ලේෂ සහගත ගීත ස්වර ආදිය අසමින් එයට ලොල්ව දුගතියේ යන කෝටි ගණන් ප්‍රජාව අතරේ, දහම් ස්වරයට හිත පැහැදී මැඩියන් වැනි තිරිසනුන් පවා සුගති සම්පත් ලද බැව් සත්‍යයකි.

එහෙයින් මේ ලද දුර්ලභ මනුසත් දිවිය පුරාම අපට ශ්‍රී සද්ධර්මය ම අසන්නට ලැබේවා! පහන් සිතින් ධර්මය අසනා පිනෙන් අපටත් ධර්මාවබෝධයෙන් සැනසෙන්නට වාසනාව ලැබේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.