යොවුන් වියේ දී ආදර බැඳීම් සදා ගන්නා බොහෝ පිරිසක් සිටිනවා. ඒ ආදර බැඳීම් බිඳ වැටී විරහ වේදනා විඳින්නවුන් ද බොහොමයක් සිටිනවා. ගීත, නවකථා, ටෙලිනාට්‍ය වැනි කලා මාධ්‍යයන් තුළ ආදරයත්, විරහවත් බහුල ව භාවිත වන තේමාවක් බවට පත් වන්නට එයත් එක හේතුවක්.

ආදර බැඳීමක දී ජීවිතාපේක්ෂා බහුල කොට ගන්නා අය විරහවේ දී ජීවිතාපේක්ෂා සියල්ල ම අත්හැර ගන්නා ස්වභාවයක් අප අත්විඳිනවා. තමාත්, තමා අවට සියල්ලත් එපා කරවන සුලු ඒ ස්වභාවයේ ගිලී යාම තුළින් විරහව විඳවන්නේ නැති නම් ද්වේෂය තුළ දැඩි, දයාවිරහිත ස්වභාවයකට පත්ව විරහව විඳ දරාගන්නා පිරිස ම යි වැඩි. ඔය කවර දේ සිදු වුණත් තමාට හෝ අනුන්ට හෝ තමාටත්, අනුන්ටත් යන දෙපසට ම හෝ අහිත පිණිස, අයහපත පිණිස පවතින දේවල් ම යි එවිට සිතන්නේ, කියන්නේ සහ කරන්නේ. පුහුදුන් ලෝකයට නම් එය ගැළපී යන්නක්. එසේ වූවත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයනට එය ගැළපෙන්නේ නැහැ. ඒ නිසා, අප විරහව ධර්මය තුළ පිහිටමින් විඳ දරා ගන්නට හැකි ආකාරයන් ගැන සටහනක් තබන්නට සිතුවා…

ආදරයත්, විරහවත් පැමිණෙන්නේ තෙරුවන් සරණ නොගිය පිරිස කෙරෙහි පමණක් නො වෙයි; තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් කරා ද මේ ජීවිත අත්දැකීම් පැමිණෙනවා. තෙරුවන් සරණ යාම තුළ අප, උපන්නා වූ සත්වයනට පොදු ඉරණමින් මිදී යන්නේ නැහැ. ජරා, ව්‍යාධි, මරණ සේ ම ප්‍රිය විප්පයෝග දුකත්, අප්‍රිය සම්පයෝග දුකත් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් කරාත් පැමිණෙනවා. ඒ නිසා, සිල් රකින, පින් කරන, දන්පැන් පුදන අපටත් මෙසේ වනවා ද කියා ඒ සීලයට හෝ පිනට හෝ සරණට හෝ ගර්හා කළ යුතු නැහැ. ඒ උතුම් සරණ තමයි උපන් සත්වයනට පොදු වූ මේ සාධකවල දී පොදු හැසිරීම් රටාවනගෙන් අත්මිදුනු වෙනසක් අප තුළ උපදවන්නට උපකාරක වන්නේ…

රාගයෙන් හිස් නො වූ ජීවිත ඇති අප තුළ රාගය බලපවත්වනවා ම යි. එනිසා ම සාංසාරික බලපෑමකින් වේවා, එවැනි බලපෑමක් නොමැතිව හෝ වේවා යම් යම් පුද්ගලයන් කෙරෙහි අප සිත්හි ආසක්ත භාවයන් ඇති වන්නට පුළුවනි. එවිට අපේ සිත වැඩිපුර ම ඒ පුද්ගලයා හා සම්බන්ධ ගනුදෙනුයි සිදු කරන්නේ. දකින රූපයක් පාසා, ඇසෙන හඬක් පාසා, විඳින සුවඳක් රසයක් පහසක් පාසා, සිතෙහි අරමුණක් අරමුණක් පාසා රාග මිශ්‍රිත ව සිත් ගත් පුද්ගලයෙකු විසින් යටපත් කොට ගත් අවස්ථා අපේ ජීවිතවල ඕනෑ තරම් තිබුණා. කාමයන් කෙරෙහි වන රාගය සිතෙහි පවත්නා තාක් කල් ඉදිරියටත් අපට එය වළක්වන්නට ලැබෙන්නේ නැහැ…

ඔය ආකාරයට අපේ සමස්ත ජීවිතය තුළ ම ‘එක ම එක්කෙනා’ විදිහට අප තෝරා ගත් කෙනා ස්වාමි පුරුෂයා හෝ භාර්යාව ලෙස සමීප කර ගන්නට නොහැකි ආකාරයෙන් සම්බන්ධතා බිඳී යාම යි සාමාන්‍යයෙන් ‘විරහව’ කියා හඳුන්වන්නේ. ඇස්වලින් ගලන කඳුළින්, ළයෙහි පිරෙන සුසුමින්, සියොලඟ දවාලන තැවුලින් යුතුව යි ඒ විරහ වේදනාව බොහෝ දෙනෙකු වෙත පැමිණෙන්නේ. කන්න බොන්නට බැරි, නින්ද යන්නේ ද නැති, කිසිදු කටයුත්තක් නිසියාකාරව ඉටු කරන්නට සිත හදා ගන්නට බැරි දරුණු ගනයේ වේදනාවක් බවට බහුතරයකට එකී වේදනාව පත් වනවා. ජීවිතයේ නොමැකෙන රිදුමක් ඇති කරවන්නක් ලෙස විරහ වේදනාව බොහෝ දෙනෙකු විසින් අර්ථ දක්වන්නේ එනිසයි. අප පෙර කී ලෙසින් ම ඇතැමෙකු විරහව දරා ගත නොහැකි ව තම ජීවිතය නසා ගන්නවා. නැති නම් පෙර තමන් මහත් ස්නේහයෙන් බැඳී ගත්, නොදැක සිටින්නට බැරි තරම් වූ ආදරණීයයාගේ ජීවිතයට හානි පමුණුවනවා. ඒ අකුසලයනුයි යි අප පිටුදැකිය යුත්තේ…

විරහව ඔබ කරා පැමිණි මොහොතට ඔබ කළේ කුමක් ද? හඬන්නට, වැළපෙන්නට, සුසුම් හෙළන්නට ඇති. නොකා නොබී නොනිදා සිටින්නට ඇති. ඇඳුමක් පැලඳුමක් පිරිසිදුකමක් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා ඉන්නටත් ඇති. ඔබ කෙරෙහිත්, අන් අය කෙරෙහිත් අමනාප සිතින් යුතුව සිටින්නට ඇති. මැරෙන්නට සිතන්නට ඇති. වාසනාවකින් ඔබ එසේ කර ගත්තේ නැහැ. විරහව ඔබට පීඩා ගෙනෙද්දී සැබැවින් ම ඔබ කළ යුතුව තිබුණේ එය ද? ප්‍රිය විප්පයෝගය පිරිවර කොටගත් මේ ජීවිතයේ විරහව ඔබට පීඩා පමුණුවන යම් දවසක් එළඹුණහොත් ඔබ කුමක් කරාවි ද? නැවත නැවතත් හැඬුම් වැළපුම් දුක් දොම්නස් සුසුම් හෙළීම්, තමා තමා ව ම පෙළීම් ආදිය ම ද ඔබ තෝරා ගනු ලබන්නේ? අප එසේ කළහොත් අප තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් ලෙස නොකළ යුත්තකුයි ඒ සිදු කරන්නේ.

තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් ලෙස අපට එවැනි අවස්ථාවන් මේ ආකාරයෙන් ධර්මානුකූල ව සන්සිඳුවාලන්නට හැකියි…

අප ආදරයෙන් සරණ ගිය ශාස්තෘන් වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍යය විග්‍රහ කොට පෙන්වා දෙද්දී ‘ප්‍රියයන්ගෙන් වෙන් වීම ද දුකකි’ කියා යම් ධර්මයක් වදාළා (දම්සක් පැවතුම් සූත්‍රය). බලන්න, විරහව නම් වූ අප බොහෝ සෙයින් දවන තවන ඒ දුක් වේදනාව උපන්නේ ප්‍රිය දෙයින් වෙන් වන්නට සිදු වූ නිසා නේ ද? එහෙම නම් අප සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අවබෝධය ඒකාන්තයෙන් ම විශිෂ්ටයි, ඒකාන්තයෙන් ම පරිපූර්ණයි. ප්‍රිය දෙයින් වෙන් වීම කියන්නේ දුකක් ම යි. දුක පැත්තේ පවතින දෙයක් ම යි. සාදු සාදු! මට සරණ යන්නට ලැබුණු ශාස්තෘන් වහන්සේගේ අවබෝධය ම යි හරි. උන්වහන්සේ ඒකාන්තයෙන් ම සම්මා සම්බුද්ධයි! උන්වහන්සේ ඒකාන්තයෙන් ම දුක අවබෝධ කොට වදාළා. මා මුහුණ දී සිටින්නේ උන්වහන්සේ විශිෂ්ට අවබෝධයෙන් යුතුව පෙන්වා දී වදාළ ධර්මතාවයකටයි. අනේ ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ඒ පර්යායෙන් අපට අප විඳින දුක තුළ ම සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය දකිමින් සිත පහදවා ගන්නට පුළුවනි. එයට යි ‘ශ්‍රද්ධාව’ කියන්නේ…

විරහවේ දී නෙතට ඉනූ සහ උනන කඳුළු තුළ තිබෙන්නේත් සාංසාරික කථාවක්. ගෙවාගෙන පැමිණි සසරේ ප්‍රිය විප්පයෝග දුක නිසාවෙන් නෙතින් ගලා ගිය කඳුළුත් සතර මහා සාගර ජලයට වඩා වැඩි බවයි සම්බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ (අනමතග්ග සංයුත්තය). මේ ජීවිතයේ ලද විරහ වේදනාව නිසා ගැලූ කඳුළු සියල්ල එක් කොට ගත්තත් ලීටරයක්වත් නැහැ නේ ද? ඉදින් මේ දුකින් ම ගැලූ කඳුළු ප්‍රමාණය සතර මහා සාගර ජලයට වැඩි වන්නට අප කොතරම් නම් වාර ගණනක් ප්‍රිය විප්පයෝග දුකින් හඬන්නට ඇති ද? නැවතත් මේ කරන්නේ ඒ කඳුළු සයුර පුරවන එක පමණ ම යි නේ ද? සසර යනු එවැනි විපත්වලින් සැදි දුක්ඛිත ගමනක්. ඒ නිසා ම යි සම්බුදුරජාණන් වහන්සේ සසර දුකින් නිදහස් වන්න කියා ධර්මය දේශනා කොට වදාළේ. උන්වහන්සේගේ අවබෝධය ම යි හරි. මේ කඳුළු සාගරය පුරවමින් යන ගමනට අප කැමති නොවිය යුතුයි. ඒ පර්යායෙනුත් අපට විරහ වේදනාව තුළ ධර්මය දකිමින් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ම පැහැදීම උපද්දවන්නට පුළුවනි.

අපට අහිමි වූ කෙනා අපට අප්‍රිය අමනාප ස්වරූප ඇතිව සිටි කෙනෙක් නම් ඒ අහිමි වීම කෙරෙහි අපට ඇති වන්නේ දුකක් නොවෙයි; යම් සතුටක්. ඒ අප ප්‍රිය කළ කෙනෙක් නිසා ම යි අපට දුක ඉපදුණේ. ‘ප්‍රිය දෙයින් ම යි දුක හට ගන්නේ’ (සුප්පාවාසා සූත්‍රය) කියා යම් ධර්මයක් ඇති ද එය වදාළේ සම්බුදුරජාණන් වහන්සේ. සාදු සාදු! එය ඒකාන්ත සත්‍යයක් ම යි. ප්‍රිය දෙයින් ම යි දුක හට ගන්නේ. මේ පර්යායෙනුත් අපට විරහව තුළත් ධර්මය ම දකිමින් ශ්‍රද්ධාව බලවත් කර ගන්නට පුළුවනි.

අප උපදිද්දී මේ ප්‍රියයන් ගැන දැන සිටියේ නැහැ. යම් දවසක දකින්නට ලැබී ආසක්ත බවක් ඇති වුණා ද එදා පටන් තමයි මේ කථාව පටන් ගත්තේ. ඒ කෙනා ඒ තාක් මෙහි නොසිටියා නොවෙයි. එහෙත්… අවදියෙන් සිටියදීත්, සිහින ලෝකවලත් අප දැඩි ව බැඳී හුන් ඒ කෙනා යම් දවසක ද අපේ ජීවිතයට එක් වුණේ එදායින් පසුව ම යි මේ දේ ඇරඹුණේ. ඒ කෙනාගේ රූපය දැක රූප සංසග්ගය හට ගත්තා. ඒ කෙනා ගැන අසන්නට ලැබී සවණ සංසග්ගය ඇති වුණා. නිතර දෙවේලේ කථා බහ කිරීමෙන් සමූල්ලපණ සංසග්ගයත් ඇති වුණා. තෑගිභෝග හුවමාරුවෙන් සම්භෝග සංසග්ගයත්, කය හා බැඳී ගත් ස්පර්ශයන්ගෙන් කාය සංසග්ගයත් ඇති වුණා. ඒ දේවල් නිසයි සෙනෙහස හට ගත්තේ. මේ දුක ඒ සෙනෙහසේ ප්‍රතිඵලයක්. අප සිහි කර කර දුක් වන්නේ ම ඒ දේවල් ගැන නෙවෙයි ද?

“සංසග්ග ජාතස්ස භවන්ති ස්නේහා
ස්නේහන්වයං දුක්ඛමිදං පහෝති”

“එක් වී වසන විට හට ගනී සිත සෙනෙහස
ඒ සෙනෙහසින් ම ය සියලු දුක් උපදින්නේ”

(ඛග්ගවිසාණ සූත්‍රය)

පසේබුදුරජාණන් වහන්සේනමක් බිහි කරලූ මේ ධර්මය අපට හෙළිදරව් කළේ සම්බුදුරජාණන් වහන්සේ. සාදු සාදු! ඒ මහා මුනිවරුන් මේ ජීවිතය ගැන යමක් වදාළා ද එය ම යි ජීවිතයේ සැබෑ ස්වරූපය. එය ම යි යථාර්ථය. සංසග්ගය නිසා උපන් සෙනෙහසිනුයි ඔය දුකත් හට ගත්තේ. ඒ පර්යායෙනුත් අපට විරහව තුළ ධර්මය ම දකිමින් ශ්‍රද්ධාවට පත් වන්නට පුළුවනි.

අපට ඒ කෙනා අහිමි වුණේ මෙන්න මේ හේතුව නිසා කියා අප යම් යම් කාරණා දකිනවා වන්නටත් පුළුවනි. දෙමාපියන්, කුලගොත් ප්‍රශ්න, වෙනත් සම්බන්ධතා ආදිය ඒ අතර තිබෙනවා. එවිට, මේ දුක හටගත්තේ අසවලා නිසා කියා දෝෂාරෝපණය කිරීම යි සිතේ ස්වභාවය. එහෙත් ඇත්තට ම දුක් වේදනාව හට ගන්නේ අසවලා යැයි අප කියන්නවුන් ප්‍රත්‍යයෙන් නෙවෙයි; ස්පර්ශය ප්‍රත්‍යයෙන්…. අභ්‍යන්තර ආයතනයනට ගෝචර වූ බාහිර ආයතනය සමඟ විඤ්ඤාණය එක් වීමෙන් හටගත් ස්පර්ශයක ඵලය තමයි වේදනාව. ඒ වේදනාව අනිත්‍යයි. හේතු වෙනස් වන විට වෙනස් වී යනවා. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. ජීවිත කාලයට ම මේ දුක පවතීවි කියා සිතුණාට ඇත්තටම එය සිදු නොවන්නක්. අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගත් අනිත්‍ය වූ වේදනාවක් නිත්‍ය ලෙසින් ගෙන පීඩා විඳීම අනුවණකමක් නේ ද? මේ දුක්ඛපීඩා අභිමුව ‘අනිත්‍යය’ නම් වූ ධර්මතාවය සිහි කිරීම අප ව සන්සිඳුවාලන්නට උපකාරකයි. ඒ පර්යායෙනුත් අකුසලයකට යට නො වී සිත රැක ගන්නට අපට පුළුවනි.

අපට හිමි නො වූ කෙනා තමන්ගේ ජීවිතයේ ඉදිරි ගමන සකසමින් සිටිනවා වන්නට ඇති. ඔහු හෝ ඇය සොයා යන්නේත් ජීවිතයේ සතුට, සැනසීම, සැපය. ඉදින් ඔවුන්ගේ තෝරාගැනීම ඔබ අප නො වූවත්, ඔවුන්ගේ යහපත හිතසුව පිණිස සුදුසු යැයි සිතූ තෝරාගැනීමක් නේ ද ඔවුන් කරන්නට ඇත්තේ? සැබැවින් ම ආදරෙයි නම් අප කළ යුත්තේත් ඔවුන්ගේ යහපත, හිතසුව කැමති වීම ම යි. ඔවුන්ගේ සුවපත් භාවය කැමති වීම ම යි. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් තමන්ගේ වගේ ම අනුන්ගේත් යහපත කැමති වන්නවුන්. ඒ පර්යායෙනුත් අපට නෙත තෙමන, සිත දවන විරහව තුළ සම්බුදුරජුන් ව සරණ ගිය ශ්‍රාවකත්වය අරුත් දී රැකගන්නට පුළුවනි.

අප කැමති වූවන් අපට හිමි වූවත්, අපට අහිමි වූවත් අප නොනැවතී ම ජරාවට පත් වනවා. ව්‍යාධි අප කරා පැමිණෙනවා. මරණය ද අපට ළං වනවා. අප ආදරය කරන්නවුන් හට ඒ කිසිවක් වළක්වන්නට බැහැ. අප ආදරය කරන්නවුන් පිළිබඳව ද එකරුණ එසේ ම යි. ඔවුනුත් ජරා ව්‍යාධි මරණ සමඟයි ජීවත් වන්නේ. ඉදින් අප ජරාවට පත් වන ඉරණම ඇතිව සිටිය දී ජරාවට පත්වන දෙයක් ම යි සොයා තිබෙන්නේ. අප ව්‍යාධි, මරණ උරුම ව සිටිය දී ව්‍යාධි, මරණ උරුම දෙයක් ම යි සොයා තිබෙන්නේ. වසර සියයකට නොඅඩු කෙටි කලකට ඒ දේවල් සමීපයේ තබා ආදරයෙන් සෙනෙහසින් බලා ගත්තා වූවත් විප්පයෝගය වැළකෙන්නේ නැහැ ම යි. අනාර්ය පර්යේෂණයකින් ඊට වඩා යමක් අප අපේක්ෂා නො කළ යුතුයි.

මේ ස්වභාවය බෝසත් අවදියේ ම හඳුනාගත් අපගේ ශාස්තෘන් වහන්සේ ජරා ව්‍යාධි මරණ ඉක්මවාලූ ශ්‍රේෂ්ඨත්වයක් සොයා ආර්ය පර්යේෂණයක යෙදුනා. එනිසයි සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයේ පහළ වූයේ. අනාර්ය පර්යේෂණයක අප ලැබූ දුක්පීඩා අභිමුව ආර්ය පර්යේෂණයක් තුළින් ශ්‍රේෂ්ඨත්වය සාක්ෂාත් කළ ඒ සම්බුදුරජුන්ගේ සමානයෙක් නොමැති අද්විතීයත්වය කොතරම් තුමුල ද? ඒ සම්බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගේ උපදේශයක් නොලබා මේ සියලු විප්පයෝග දුකින් නිදහස් වුණා. අප සරණ ගිය ශාස්තෘන් වහන්සේට මේ කිසිදු දුකක් නැහැ. මේ දුකින් නිදහස් වන මගයි උන්වහන්සේ දේශනා කළේ. එහෙම නම් මේ ධර්මය දුක දුරලන ධර්මය යි. ඒ ධර්ම මාර්ගයේ පිළිපන් ශ්‍රාවක සංඝයා ඒකාන්තයෙන් ම රාග ද්වේෂ මෝහ දුරලන ප්‍රතිපදාවේයි නියැළුනේ. සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. අපටත් ඒ දහම් මග පරිපූර්ණ කර ගත්තොත් මේ දුක් සුසුම් හඬා වැළපීම් අවසන් වෙනවා කියන පර්යායෙනුත් විරහව තුළ සරණ රැකගන්නට අපට පුළුවනි.

මේ ආකාරයෙන් සිහි කරද්දී ම වුණත් ළය දවන දුක නොසන්සිඳෙන්නට බැරි නැහැ. එවිට සිහි කරන්න මහා හත්ථිපදෝපම සූත්‍රය. “මේ විදිහට බුදු සමිඳුන් ගැන සිහි කරද්දී, මේ විදිහට සිරි සදහම් සිහි කරද්දී, මහ සඟරුවන සිහි කරද්දී කුසල් සහගත උපේක්ෂාවේ සිත පිහිටන්නේ නැති නම් ඒ භික්ෂුව කලබල වෙනවා, සංවේගයට පත් වෙනවා. ‘අයියෝ! මට අලාභයක් ම යි. ලාභයක් නම් නො වේ. මට නපුරු ලැබීමක් ම යි. හොඳ ලැබීමක් නම් නො වේ. මං මේ විදිහට ම බුදු සමිඳුන් ව සිහි කරද්දී, සිරි සදහම් සිහි කරද්දී, සඟරුවන සිහි කරද්දී මගේ සිත කුසල සහගත උපේක්ෂාවේ පිහිටන්නේ නෑ නෙව.’ කියලා.” එය ම අපට වීරිය උපදවාගන්නට හේතුකාරක ධර්මයක් වේවි.

යම් අයුරකින් මේ කුසල විතර්කයන් තුළින් සිත සන්සිඳුනේ නම්, කුසල සහගත උපේක්ෂාවේ සිත පිහිටියේ නම් එපමණකිනුත් අප බුද්ධ ශාසනය තුළ ලොකු දෙයක් කළා වෙනවා කියලයි මහා හත්ථිපදෝපම සූත්‍රයේ දී සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ. බුද්ධ ශාසනය තුළ ලොකු දෙයක් කර ගන්නවා කියන කාරණය පරම දුර්ලභයි. කල්ප සියයකට ම එයට අවස්ථා ලැබුණේ සතක් පමණයි. ඉතින් අප එයට කැමති විය යුතුයි නේ ද…!

මේ නොයෙක් පර්යායන්ගෙනුත්, අනේක වූ ගම්භීර ධර්ම පර්යායන්ගෙනුත් උපකාර ලබා අපට විරහ වේදනාව තුළ පීඩාවන්ගෙන් මිදී සුවපත් භාවයට පත් වන්නට ද ප්‍රිය විප්පයෝග ආදී වූ දුක් කිසිවක් නැති අමා මහ නිවන ස්පර්ශ කරන්නට ද වාසනාව උදා වේවා!

පුණ්‍යානුමෝදනාව – දුක් නිවාලන මේ උතුම් සිරි සදහම් අපට පහදා දුන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මෙයින් රැස්වන සියලු පුණ්‍යධර්මයෝ අනුමෝදන් වෙත්වා! අමා නිවන් සුව දුර නොවේවා!

සටහන – උදුලා පද්මාවතී