ශ්‍රේෂ්ඨ අටුවාචාර්ය බුද්ධඝෝෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ව්‍යවහාරික වර්ෂ 5 වන සියවසේදී ලංකාවට වැඩම කරන ලද්දේ සිංහලෙන් තිබූ ත්‍රිපිටක ධර්මයන් පාලියට හැරවීම පිණිස නො වේ. එකලත් බුද්ධ භාෂිත ධර්ම විනය පැවතුනේ පාලි භාෂාවෙන් ම ය. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට තථාගත ධර්ම විනය සිංහල භික්ෂූන්ට හැදෑරෙව්වේ, පාලි භාෂාවෙන් ම ය. එම ධර්ම විනයට අදාළ අර්ථ විස්තර සරල ලෙස දීප භාෂාවෙන් තෝරා දුන් සේක. එය ‘හෙළ අටුවා’ නමින් හැඳින්විණි. හෙළ අටුවා සිංහලෙන් පැවතුනු නිසා අනෙක් රටවල බෞද්ධයන්ට එම අටුවා කියවීමේ භාග්‍යය නොලැබී තිබුණි. එම නිසා එකල සම්බුදු දහම තේරුම් ගැනීමේ ජාත්‍යන්තර භාෂාව ලෙස ජනප්‍රිය වී තිබූ පාලි භාෂාවට, එම හෙළ අටුවා පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති විය. ලෝකවාසී බෞද්ධ ජනතාවට, හෙළ අටුවා කියවීමේ අවස්ථාව සලසා දීම පිණිසය බුද්ධඝෝෂ හිමියන් විසින් එම හෙළ අටුවා පාළි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ.

එමෙන් ම බුද්ධඝෝෂ හිමියන්ට ඒ සඳහා තමන් තුළ ඇති සුදුසුකම් මහාවිහාරීය භික්ෂූන් ඉදිරියේ ඔප්පු කිරීමට සිදු විය. ඒ සඳහා ලාංකීය භික්ෂූන් වහන්සේලා බුද්ධි පරීක්ෂණයක් ලෙස ගාථාවක් ලබා දී එයට පිළිතුරු සපයන ලෙස බුද්ධඝෝෂ හිමියන්ට පැවරූහ. ඒ වෙනුවෙන් බුද්ධඝෝෂ හිමියන් සම්පාදනය කළ දහම් නිබන්ධනය ‘විසුද්ධි මාර්ගය’ ග්‍රන්ථය යි. ඒ පිළිබඳ ව සතුටු වූ මහා විහාරීය සංඝයා වහන්සේගෙන් අවසර ලැබුණු පසුවයි බුද්ධඝෝෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේ හෙළ අටුවා පාලියට පරිවර්තනය කරන ලද්දේ. එනමුත් වර්තමානයේ “බුද්ධඝෝෂ හිමියන් සිංහලෙන් තිබූ ත්‍රිපිටකය පාලියට පරිවර්තනය කොට විකෘති කළා.” කියමින් මිථ්‍යා දෘෂ්ටික අසත්පුරුෂ පිරිසක් සිය පෞද්ගලික මතවාද සමාජගත කිරීමට උත්සාහ ගනිති. ඒ මිථ්‍යා මතය බැහැරලනු වස් බුද්ධඝෝෂ හිමියන් සිදු කළ සැබෑ ශාසනික මෙහෙය පහදා දීම මෙම ලිපියේ අරමුණයි.

අටුවාචාර්ය බුද්ධඝෝෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කළ ශාසනික මෙහෙය

දඹදිව බෝමැඩට නුදුරු කේෂ නම් ග්‍රාමයේ බ්‍රාහ්මණ කුලයක උපත ලද බුද්ධඝෝෂ හිමියන්, වාදයෙහි දක්ෂ වූ රේවත නම් තෙරුන් වහන්සේ ළඟ පැවිදි වූ බව පිළිගත් මතය යි. බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ පිළිබඳ ව මහාවංශයෙහි සඳහන් වන්නේ මෙසේ ය. “එකල දඹදිව බෝමැඩ වෙත උපන් බ්‍රාහ්මණ මාණවකයෙක් විද්‍යා ශිල්ප කලා දන්නේ, ත්‍රිවේදයෙහි පරතෙරට ගියේ, මනා කොට දක්නා ලද සමය ඇත්තේ, සියලු වාදයන්හි විසාරද වූයේ, වාද කැටිව දඹදිව ඇවිදිමින් එක් විහාරයකට ඇවිත් රාත්‍රියෙහි පතංජල මතය සම්පූර්ණයෙන් මනා කොට පිරිවැහී ය. එහි රේවත නම් මහා ස්ථවිර කෙනෙක් ඒ අසා මේ පුද්ගල තෙමේ මහා නුවණැති කෙනෙකැයි දැන මොහු දමනය කළ යුතු යැයි සිතා ‘මෙහි කොටළු හඬින් ඝෝෂා කරන්නේ කවරෙක්දැයි’ ඇසී ය. හෙතෙම ඒ අසා ‘කිමෙක්දැ කොටළු හඬෙහි අර්ථය ඔබවහන්සේ දන්නෙහිදැයි?’ තෙරුන්ගෙන් විචාළ කල්හි ‘මම දනිමි’ යි උන්වහන්සේ කී සේක.

එකල තරුණයා උන්වහන්සේගෙන් ප්‍රශ්න විචාළේ ය. උන්වහන්සේ සියල්ල විසඳූ සේක. වැරදි තැන් ද ප්‍රකාශ කළ සේක. ‘එසේ නම් ඔබගේ වාදය විස්තර කරන්නැයි’ කී කල්හි තෙරුන් වහන්සේ අභිධර්ම පාඨයක් කීහ. තරුණයාට එය අවබෝධ නො වී ‘මේ කාගේ මන්ත්‍රයක්දැ’ යි පෙරළා විචාළේ ය. ‘එය බුද්ධ මන්ත්‍රයක් ය’ යි තෙරුන් වහන්සේ කීහ. ‘එසේ නම් එය මට ඉගැන්වුව මැනවැ’ යි බමුණු තරුණයා ඉල්ලූ කල්හි ‘එසේ නම් පැවිදිව ඉගෙන ගනුව’ යි තෙරණුවෝ කීහ. මාණවකයා ඒ අසා පැවිදිව මුළු ත්‍රිපිටකය ම ඉගෙන, එය ධර්මාවබෝධයට ඒකායන මාර්ගය යැයි පිළිගත්තේ ය. බුදුරදුන්ට මෙන් ගැඹුරු කටහඬක් ඇති හෙයින් උන්වහන්සේට ‘බුද්ධඝෝෂ’ යැයි නමක් ලැබිණි. එතුමන් වහන්සේගේ කීර්තිය හැම තැන පැතිර ගියේ ය.” මහාවංශයෙහි එන මේ ප්‍රවෘත්තිය හැරුණු විට බුද්ධඝෝෂ හිමියන්ගේ චරිතාපදානය ගැන කරුණු, සියම් රටේ මංගල නම් තෙරනමක් විසින් රචිත බුද්ධඝෝසුප්පත්ති නම් ග්‍රන්ථයේ ද සඳහන් වේ.

බුද්ධඝෝෂ හිමියන් දඹදිව වසත්දී ම ‘ඤාණෝදය’ නම් ප්‍රකරණය ද අභිධර්ම පිටකයේ ධම්මසංගණී ප්‍රකරණයට ‘අර්ථසාලිනී’ නම් අටුවාව ද රචනා කොට අනතුරුව පිරිත් අටුවාව කරන්නට පටන් ගත්තේ ය. එය දුටු ආචාර්යපාද රේවත තෙරණුවෝ තම ශිෂ්‍ය වූ බුද්ධඝෝෂ හිමියන්ට මෙසේ පැවසී ය. “මෙහි පෙළ පමණක් පරම්පරානීත ය. මෙහි අටුවා නැත. එසේ ම නානාප්‍රකාර ආචාර්යවාදයෝ ද නොවෙති. තුන් සංගායනාවට නගන ලද බුද්ධ වචන ද ශාරිපුත්‍රාදී මහතෙරුන් වහන්සේලා වදාරණ ලද කථා මාර්ගය ද මොනවට බලා ප්‍රාඥ මිහිඳු මහතෙරුන් විසින් සිංහල භාෂාවෙන් කරන ලද ශුද්ධ වූ සිංහලාර්ථකථා තොමෝ සිංහලයන් කෙරෙහි වැටෙයි. තෙපි එහි ගොස් ඒ අසා මාගධී නිරුක්තියට (පාලි භාෂාවට) පෙරලව්. ඕ තොමෝ සියලු ලොවට හිත එලවන්නී වේ.” (මහාවංශය, 37 පරිච්ඡේදය)

මේ අනුව එවකට ඉන්දියාව තුළ පැවතුනේ පරම්පරාවෙන් රැකගෙන පැවැත්වූ විනය, සූත්‍ර, අභිධර්ම යන පාලි ත්‍රිපිටකය පමණක් බව මැනැවින් පැහැදිලි වේ. එනමුත් බුද්ධකාලීන මහරහතන් වහන්සේලාගේ අර්ථ වර්ණනා ක්‍රමය එහි නොතිබුණු බවත්, මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට දායාද කළ එම අර්ථ වර්ණනා ‘හෙළ අටුවා’ ලෙසින් ආරක්ෂා වී තිබෙන්නේ ලංකාවේ බවත්, හෙළ බසින් තිබීම නිසා වෙනත් රටක කෙනෙකුට ඒවා ප්‍රයෝජනයට ගත නොහැකි බවත්, පාලි භාෂාවට හෙළ අටුවා පරිවර්තනය කළහොත් ජාත්‍යන්තර භාෂාවක් වන පාලි දත් ඕනෑම රටක කෙනෙකුට ඒවා භාවිත කරන්නට හැකි වන බවත් රේවත තෙරුන් පැවසූ බව ඉහත මහාවංශ පාඨයට අනුව ඉතා හොඳින් පැහැදිලි වේ. ඒ බව විශුද්ධි මාර්ග පුරාණ සන්නය කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා ද මෙසේ දක්වා ඇත. “මේ ආචාර්යයෝ ජම්බුද්වීප වාස්තව්‍ය මහා ස්ථවිරයන් විසින් සමාරාධිතව හෙළ අටුවා පෙරළා සර්වජනීන මූල භාෂායෙන් තෙවළාවට අටුවා ලියනු සඳහා මේ ලංකාද්වීපයට වැඩ….” යනුවෙනි. ඒ අනුව බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට පැමිණියේ හෙළ අටුවා පාලියට පරිවර්තනය කිරීම උදෙසා ය. එසේ නොමැතිව අද කරුණු නොදත් ඇතැමුන් පවසන්නාක් මෙන් ත්‍රිපිටකය පරිවර්තනය කිරීම උදෙසා නො වේ. කොටින් ම ත්‍රිපිටකය පරිවර්තනය කිරීමට අවශ්‍යතාවයක් නොතිබූ බවත්, ඒ වන විටත් ඉන්දියාවේ පාලි ත්‍රිපිටකය පැවති බවත් ඉහත විස්තරවලට අනුව සක්සුදක් සේ පැහැදිලි ය. ‘බුද්ධඝෝෂ හිමියන් මෙහි පැමිණ බුදුන් වදාළ දෙලක්ෂ පන්සැත්තෑ දහස් දෙසියපනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් ඇති ආගමයට තුන්ලක්ෂ එක්සැටදහස් සත්සිය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් පමණැති අටුවා කථා ලියා ආගමයෙහි පහන් නැගූ සේකැයි දත යුතු’ යැයි පූජාවලියේ ද සඳහන්ව තිබෙන්නේ එබැවිනි.

බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට පැමිණියේ අනුරාධපුරය රාජධානිය කර ගත් මහානාම රජ දවස ය. බුද්ධ වර්ෂ (953 – 975) අතර කාලයේ ය. උන්වහන්සේ ලංකාවට වඩින විට, අට්ඨ කථා සංහිතා කීපයක් ම මේ දිවයිනේ පැවති බවත් ඒවා හෙළ බසින් ම උගත් බවත්, මෙයින් සමහරක් ග්‍රන්ථ ස්වරූපයෙන් ද සමහරක් පූර්වාචාරීන්ගේ මතවාද ඇතුළත් වුණු සාහිත්‍ය වශයෙන් ද පැවති බවත් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා පවසයි.

හෙළ අටුවා යනු කුමක් ද?

තෘතීය දහම් සංගායනාව අවසානයේදී දඹදිව ථේරවාදාචරිය පරම්පරාවේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය මිහිඳු මහරහතන් වහන්සේ විසින් තෘතීය සංගායනාවේදී සංග්‍රහ කළ, ථේරවාදී ත්‍රිපිටකය ශ්‍රී ලංකාවට ගෙන එන ලදී. මිහිඳු මාහිමියන් විසින් ලක්දිවට දායාද කළ පාලි ත්‍රිපිටකය මහා අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ සිංහල මහරහතන් වහන්සේලා පාලි භාෂාවෙන් ම උගත් සේක. පාලියෙන් තිබූ ත්‍රිපිටකයේ ගැඹුරු තැන්වල අර්ථය සිංහල ජනතාවට පැහැදිලි කර දීම අවශ්‍ය විය. බුද්ධ කාලයේ සිට වාචනා මාර්ගයෙන්, ආචාර්ය පරම්පරාවලින් පැවත ආ අර්ථ විවරණ ක්‍රම මිහිඳු මාහිමියන් හෙළ බසින් පහදා දුන් සේක. ඒවා උගත් සිංහල භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටකයේ ගැඹුරු තැන් හෙළ බසින් අරුත් විවරණය කළ සේක. හෙළ අටුවා නමින් හැඳින්වූයේ ඒවායි. එනම් අටුවා වනාහි ත්‍රිපිටකයට අයත් පොත් වහන්සේලාට ලියා ඇති ව්‍යාඛ්‍යාන සංග්‍රහ (අර්ථ විවරණය කිරීම්) සමූහය යි. අටුවාවල පරමාර්ථය පෙළෙහි ඇති දුරවබෝධ වචන සහ ධර්මයේ ගැඹුරු තැන් විස්තර කිරීමත්, අවශ්‍ය අවස්ථාවල දී විස්තරාර්ථ සැපයීමත් ය. “භාග්‍යවතුන් වහන්සේගේ අදහස අනුව ගොස් ඒ ඒ ධර්ම පාඨයන්ගේ අර්ථය විස්තර කරයි, මැනවින් විස්තර කරයි. ඒ ඒ අර්ථයන්ගේ විස්තර කිරීම, මැනවින් විස්තර කිරීම සිදු කරන බැවින් අට්ඨකථා යනුවෙන් පවසනු ලැබේ.” යැයි වජිරබුද්ධි ටීකාවෙහි සඳහන් වන්නේ එබැවිනි. (භගවතෝ අධිප්පායං අනුගන්ත්වා තං තං පාඨේ අත්ථං භාවයති විභාවයති, තස්ස තස්ස වා අත්ථස්ස භාවනා විභාවයනන්ති අනුභවෝ වුච්චති අට්ඨකථා)

බුදුකැලි අටුවා

අප භාග්‍යවතුන් වහන්සේගේ ළය මඬලින් උපන්නා වූ, ධර්මයෙන් උපන්නා වූ සාරිපුත්ත, මහා කස්සප, මහා කච්චාන, ආනන්ද ආදී පටිසම්භිදාලාභී මහා නුවණැති නිකෙලෙස් මහෝත්තමයන් වහන්සේලා ශාස්තෘන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද නය ක්‍රමයෙහි පිහිටා සිටිමින්, ත්‍රිපිටක ධර්මය පිළිබඳ අර්ථ වර්ණනා කළ සේක. එහෙත් එම අටුවා ත්‍රිපිටක බුද්ධ වචනය පිළිබඳ අර්ථ වර්ණනාවක් බැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ත්‍රිපිටක පාලියෙන් එය වෙන් කොට තබන ලද බව ‘සමන්ත පාසාදිකාවෙහි’ මෙසේ සඳහන් වේ. ‘ආචාර්යවාදය යනු ප්‍රථම ධර්ම සංගායනාව සිදු කළ පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් තබන ලද, ත්‍රිපිටක බුද්ධ වචන පාලියෙන් වෙන් වූ, බැසගත් විනිශ්චය පවතින්නා වූ අටුවාව යි.’ (ආචරියවාදෝ නාම ධම්මසංගාහකේහි පඤ්චහි අරහන්තසතේහි ඨපිතා පාලිවිනිම්මුත්තා ඔක්කන්තික විනිච්ඡයප්පවත්තා අට්ඨකථා තන්ති). තව ද සුමංගල විලාසිනී නම් දීඝ නිකාය අටුවාවේ ද මෙසේ සඳහන් වේ. ‘අටුවාව යනු ආචාර්යවාදය යි’ (ආචරියවාදෝ නාම අට්ඨකථා). මිළිඳු රාජ ප්‍රශ්නයෙහි මේ ආචරියවාදය හඳුන්වා ඇත්තේ ‘ආචරියවංස’ යනුවෙන් වන අතර, අනුරාධපුර යුගයේ ලියැවුණු ධම්මපදයට කළ අටුවා සන්‍යයේ එය ‘බුදුකැලි අටුවා’ හෙවත් බුද්ධකාලීන අටුවා නමින් හඳුන්වා තිබේ. බුද්ධ කාලයේදී ත්‍රිපිටක පාලිය වෙනම ද ත්‍රිපිටක අර්ථ වර්ණනාව වෙනම ද ශ්‍රාවකයන් විසින් ඉගෙනගෙන තිබේ. ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් වන ‘උද්දේස පරිපුච්ඡා’ යන ධර්මය හැදෑරීම පිළිබඳව යෙදෙන වචන දෙක ඊට උදාහරණයන් ය. ‘උද්දේසය යනු ත්‍රිපිටක පාලිය ඉගෙනීම යි. පරිපුච්ඡාව යනු එහි අර්ථ අස්වා ගැනීම යි’ කියා සමන්තපාසාදිකා ග්‍රන්ථයේ සඳහන් වේ. (උද්දේසති පාළි පරියාපුනනේ, පරිපුච්ඡායති අත්ථ සවණේ) තව ද බුද්ධානුබුද්ධ මහරහතන් වහන්සේලා විසින් සිදු කරන ලද අර්ථ වර්ණනාවත් සංගායනා තුනේදී ම සංගායනාවට පාත්‍ර කොට තිබේ. ‘අර්ථය ප්‍රකාශ කරනු පිණිස මුල දී පන්සියයක් රහතන් වහන්සේලා විසින් සංගායනාව කරන ලදුව පසුවත් අනුසංගායනාව කරන ලද යම් අට්ඨකථාවක් වේ ද….’ – (අත්ථප්පකාසනත්ථං අට්ඨකතා ආදිතෝ වසීසතේහි පඤ්චහි යා සංගීතා අනුසංගීතා ච පච්ඡාපි). (සාරත්ථප්පකාසිනී)

භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 236කට පසු අපගේ මාතෘභූමියට වැඩි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසියන් හට පාලියෙන් ත්‍රිපිටක ධර්මය ද එකල ලක්දිව ජනයාගේ බස වූ දීප භාෂාවෙන් අට්ඨකථාව ද ඉගැන්වූ සේක. ඒ අනුව ලක්දිවට බුද්ධකාලීන ත්‍රිපිටක අර්ථ වර්ණනාව වූ අටුවාව ද දායාද වූයේ මිහිඳු මාහිමියන් වහන්සේගෙන් ම වන අතර ඒ බව සාරත්ථප්පකාසිනී නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ.

‘ඉක්බිතිව මිහිඳු මහරහතන් වහන්සේ විසින් සීහල දීපයට (ඒ අට්ඨකථාව) ගෙනෙන ලදී. සිංහල දීපවාසීන්ගේ ප්‍රයෝජනය පිණිස (එය) සිංහල භාෂාවෙන් තබන ලදී.’ (සීහලදීපං පන ආභතා’ථ වසිනා මහා මහින්දේන ඨපිතා සීහල භාසාය දීපවාසීනමත්ථාය) එතැන් පටන් ලාංකේය භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටක බුද්ධ වචන පර්යාප්තිය සේ ම රහතුන්ගේ අර්ථ විවරණය වූ අටුවාව ද මහත් ගෞරවයෙන් යුතුව වනපොත් කළහ (කට පාඩමින් දරා ගත්තාහු ය). වළගම්බා රාජ සමයේ දී මාතලේ අලුවිහාරයේ දී, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ දී අට්ඨකථාව ද ග්‍රන්ථාරූඪ කරන ලද බව මහාවංශයේ සඳහන් වේ. ‘ත්‍රිපිටක පාලිය ද එහි අර්ථකථාව ද මහා ප්‍රඥා ඇති පූර්වික භික්ෂූහු මුඛපාඨයෙන් ගෙන ආවෝ ය. එකල්වැසි වූ භික්ෂූහු සත්වයන්ගේ පරිහානි දැක ධර්මයාගේ චිරස්ථිති පිණිස පොත්හි ලියවූහ.’

පිටකත්තය පාළිඤ්ච – තස්සා අට්ඨකථාපි ච
මුඛපාඨේන ආනේසුං – පුබ්බේ භික්ඛූ මහාමතී

හානිං දිස්වාන සත්තානං – තදා භික්ඛු සමාගතා
චිරට්ඨිතත්ථං ධම්මස්ස – පොත්ථකේසු ලිඛාපයුං”

(මහාවංශය, 33 පරිච්ඡේදය)

මෙසේ ග්‍රන්ථාරූඪ කරන ලද අට්ඨකථා ග්‍රන්ථ හෙළ අටුවා නම් වේ.

රේවත මහ තෙරුන් වහන්සේ බුද්ධඝෝෂ හිමියන්ට ලංකාවට වැඩම කොට පාලි භාෂාවට නගන ලෙස දක්වා සිටියේ පොත්ථක සංගීතියේ දී ග්‍රන්ථාරූඪ වූ එම හෙළ අටුවාවන් ය. එබඳු හෙළ අටුවා තුනක් තිබූ බව සඳහන් වේ. එනම් ‘මහා අට්ඨ කථාව, මහා පච්චරිය, කුරුන්දිය’ යන මේ හෙළ අටුවා තුන ලෙස සමන්තපාසාදිකාවේ සඳහන් වන ග්‍රන්ථ 3 යි.

(මහා අට්ඨකථඤ්ච – මහා පච්චරිමේව ච,
කුරුන්දිඤ්චාති තිස්සෝපි – සීහලට්ඨකථා ඉමා)

1) මහා අට්ඨකථාව

හෙළ අටුවා අතුරින් ප්‍රමුඛ ස්ථානය දැරුවේ මහා අට්ඨකථාව හෙවත් මූල අට්ඨකථාව යි. බුද්ධඝෝෂ හිමියන්ගේ අට්ඨ කථා සියල්ලට ම පාහේ මූලිකව පාදක කරගෙන ඇත්තේ මෙම අටුවාව යි. තුන් පිටකයට ම අයත් අට්ඨකථාවන්හි මහා අට්ඨකථාව ගැන සඳහන් වන නිසා එය තුන් පිටකය ම අලලා සකස් වුණු හෙළ අටුවාවක් බව පැහැදිලි වේ. වස්තු විෂය අතින් සෙසු හෙළ අටුවාවන්ට වඩා පරිපූර්ණ වී තිබුණු මහා අට්ඨකථාවේ ලක්දිව සිදුවීම් පිළිබඳ ව බොහෝ වෘත්තාන්ත ද සඳහන් ව තිබුණු බවට නිදසුන් බොහෝ ය.

2) මහාපච්චරිය අට්ඨකථාව

මෙය පහුරක් මත හිඳගෙන ලියන ලද බැවින් ඒ නමින් හැඳින්වූ බව සාරත්ථදීපනියේ සඳහන් වේ. සද්ධම්ම සංග්‍රහයට අනුව මෙය අභිධර්ම පිටකය උදෙසා කරන ලද හෙළ අටුවාව යි.

3) කුරුන්දි අට්ඨකථාව

කුරුන්දිවේලු නම් විහාරයේදී රචනා කරන ලද බැවින් එනමින් හඳුන්වන ලද අතර සද්ධම්ම සංග්‍රහයට අනුව මෙය විනය පිටකයේ හෙළ අටුවාව යි.

මීට අමතරව හෙළ අටුවා නොවන අන්ධක, චූල පච්චරිය, අරිය, සංඛේප නම්වලින් යුතු අටුවා කිහිපයක් ද පැවති බව සමන්තපාසාදිකාවේත්, වජිරබුද්ධි ටීකාවේත් සඳහන් වේ.

හෙළ අටුවා පාලියට පරිවර්තනය කිරීම පිණිස බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට වැඩම කළේ මහානාම රාජ සමයේ දී ය. (ව්‍ය. ව. 409-431) එසේ වැඩම කොට පළමුව හෙළ අටුවා තුන ඉගෙනගත් බව සමන්තපාසාදිකාවෙහි සඳහන් වේ.

“(ඒ හෙළ අටුවා) යසස් ඇති, විනය දන්නා වූ, ප්‍රාඥ වූ බුද්ධමිත්‍ර නමින් ප්‍රසිද්ධ වූ තෙරුන්ගේ සමීපයෙහිදී අසා ඉගෙනගෙන….”

(බුද්ධමිත්තෝති නාමේන – විස්සුතස්ස යසස්සිනෝ
විනයඤ්ඤුස්ස ධීරස්ස – සුත්වා ථේරස්ස සන්තිකේ)

දෙවන පරාක්‍රමබාහු රජු වාර්තා කර ඇති ආකාරයට ඉන් පසු සිදු වී ඇත්තේ මෙය යි. “බුද්ධඝෝෂ තෙරුන් සියලු ස්ථවිරවාද ඉගෙන මහා සංඝයා රැස්කොට අටුවා ලියන්නට පොත් දෙන්නේ යැයි ඉල්ලූ සේක. සංඝයා ද අර්ථ කථා කරනුවට ශක්ති පරීක්ෂා සඳහා තොපගේ සාමාර්ථය මිහි දක්වව. ඒ දැක පොත් දෙම්හයි මේ ගාථා දෙක දුන්හ. එසඳ තදර්ථවර්ණනාද්වාරයෙන් එහි අටුවා සහිත පිටකත්‍රය සංග්‍රහ කොට මේ විසුද්ධිමාර්ගය කළහ යනු පරම්පරාගත වාර්තා යි.”

සංඝපාල මහතෙරුන් ප්‍රමුඛ මහාවිහාරීය සංඝයා අටුවා පරිවර්තනය කිරීම උදෙසා බුද්ධඝෝෂ හිමියන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම උදෙසා ලබා දුන් ගාථා දෙක සංයුත්ත නිකායේ ජටා සූත්‍රයේ සඳහන් ගාථා දෙක ය. ඉන් පසු උන්වහන්සේ,

“සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ – චිත්තං පඤ්ඤං ච භාවයං – ආතාපි නිපකෝ භික්ඛු – සෝ ඉමං විජටයේ ජටං”

යන ගාථා රත්නය විස්තර කරමින් ප්‍රශස්ත විසුද්ධි මාර්ගය රචනා කොට මහා සංඝයාට ඉදිරිපත් කළ සේක. “ඉක්බිති හේ තෙමේ බුද්ධ සමයෙහි බුහුටි සංඝයා රැස්කොට මහ බෝ වෙත එය කියවන්නට පටන් ගත. එකල සංඝ තෙමේ වෙසෙසින් තුටු පහටු වූයේ නිසැකින් ම මේ තෙමේ මෙතේ බෝසත්හු යැයි නැවත නැවත කියා අටුවා සහිත පිටකත්‍රයෙහි පොත් දින. එකල්හි උන්වහන්සේ මහා විහාරබද දූරසංකර ග්‍රන්ථාකාර පිරිවෙණ වෙසෙමින් සියලු සිංහල අටුවා කතා සියල්ලන්ගේ මූල භාෂා වූ මාගධ නිරුක්තියෙන් පැවැත්වූ සේක. සර්වභාෂික ඕ තොමෝ හිත පිණිස වී. සියලු ථේරීය ආචාරීහු එය පෙළ සෙයින් ම පිළිගත්හු” (මහාවංශය – 37 පරිච්ඡේදය)

එසේ නම් සංස්කාරකයෙකු හා අනුවාදකයෙකු වශයෙන් බුද්ධඝෝෂ හිමියන්ගේ කාර්යය වූයේ තමන්ට ලබා දුන් හෙළ අටුවාවන්හි අන්තර්ගත වූ විවරණයන් වෙනස් කිරීම නොව ඒවා මනාව සකස් කිරීම සහ අවශ්‍ය ස්ථාන පිඬු කරමින්, අවශ්‍ය ස්ථානවල දී විස්තරාර්ථ දක්වමින් විධිමත් ව සුගම ව පාලි භාෂාවට නැගීම යි. බුද්ධඝෝෂ හිමියන්ට අට්ඨකථා සකස් කරන්නට මහා විහාරයෙන් අවසර ලැබුණේ ‘මහා විහාර වාචනා මාර්ගයට විරුද්ධ මත ඒවායේ ඇතුළත් නොවිය යුතු ය.’ යන කොන්දේසිය ද සහිතව ය. තව ද ‘එම අර්ථ කථාවලින් භාෂාන්තරය පමණක් අත්හැර විස්තර තැන් පිඬු කොට සියලු ම විනිශ්චයන් ඇතුළත් කොට කිසිම තන්හි යුත් අයුත් නොඉක්මවා සංවර්ණනා කරන්නෙමු’ යි කියා බුද්ධඝෝෂ හිමියෝ පවසති. බුද්ධඝෝෂ හිමියන් විසින් කරන ලද අට්ඨකථා සියල්ල ම මිහිඳු මාහිමියන් විසින් ලක්දිවට ගෙන එන ලදුව මහා විහාරික සංඝයා විසින් ආරක්ෂා කරනු ලැබූ හෙළ අටුවාවන්හි පාලි අනුවාද බවත්, මහා අට්ඨකථාවේ සාරය ගෙන පාලි අට්ඨකථා රචිත බවත් එම අට්ඨකථාවල ම සඳහන් වේ. මේ ක්‍රමයෙන් බුද්ධඝෝෂ හිමියන් විසින් පාලියට නැගූ අටුවා සංඛ්‍යාව 13කි.

බෞද්ධ අට්ඨකථාචාරීන් අතුරින් උන්වහන්සේ ශ්‍රේෂ්ඨතමයා යි. උන්වහන්සේ විසින් කරන ලද්දේ බුදු දහම පිළිබඳ අමුතුවෙන් පොත් ලිවීම නොව හෙළ අටුවාවන් විධිමත් ව, සුගම ව පාලියට පරිවර්තනය කිරීම බව ඉතා ම පැහැදිලි ය. ‘බුද්ධඝෝෂ හිමියන් ත්‍රිපිටක පරිවර්තනයක් සිදු කළේ ය’ යන්න කිසිදු ඓතිහාසික මූලාශ්‍රයකින් සනාථ කළ නොහැකි මිථ්‍යා ප්‍රලාපයකි. අටුවාව පාලියට පරිවර්තනය කිරීමට පවා තමන්ගේ දක්ෂතාව ඔප්පු කොට පෙන්වා මහා විහාරයෙන් අවසර ගන්නට උන්වහන්සේට සිදු විය. පරීක්ෂණයකින් පසුව පැහැදීමට පත් වූ මහා විහාරවාසී සංඝයා අටුවා පරිවර්තනයට අවසර ලබා දුන්නේ එය ලෝකයාට ප්‍රයෝජනවත් වන බව හැඟී ගිය නිසා ම ය. අවසර ලැබුණු පසුවත් බුද්ධඝෝෂ හිමියන්ට අටුවා පරිවර්තනය කරන්නට සිදු වූයේ මහා විහාරික සංඝයාගේ ආශීර්වාදය යටතේ බව ‘මහා විහාරවාසීන්ගේ විනිශ්චයන් නොඉක්මවන බව’ හැම අටුවාවක ම පාහේ උන්වහන්සේ විසින් සඳහන් කොට තිබීමෙන් ම පැහැදිලි වේ. එබඳු තියුණු විමසිල්ලකින් යුතුව වැඩ සිටි මහාවිහාරවාසී උතුමන් ත්‍රිපිටක බුද්ධ වචනය වෙනස් කිරීමට කිසිවෙකුට හෝ ඉඩ ලබා දී සිටියා යැයි සිතීම ම බලවත් මෝඩකමකි.

වර්තමානයේ මෙන් හිතුමනාපේ ධර්මය ලිවීමට හෝ විකෘති කිරීමට කිසිදු ඉඩක් ඒ යුගයේ නොතිබුණි. අද දක්වාත් ත්‍රිපිටකය නිර්මල ව පවතින්නේ ඒ උතුමන් වහන්සේලා ගත් දූරදර්ශී ක්‍රියාමාර්ග නිසා ම ය. එබැවින් බුද්ධඝෝෂ හිමියන් සිදුකරන ලද්දේ හෙළ අටුවා පාලියට පරිවර්තනය කිරීම බව මනාව වටහාගෙන, උන්වහන්සේ ත්‍රිපිටක ධර්මය විකෘති කළා යැයි ඇතැමුන් කුමන්ත්‍රණකාරී ව පතුරුවන අසත්‍ය ප්‍රලාපයන්ට කිසිවකුත් නොරැවටෙත්වා…!

බුද්ධඝෝෂ හිමියන් විසින් පාලියට නොනඟන ලද අට්ඨකථා පාලියට නගන ලද්දේ බුද්ධදත්ත, ධම්මපාල, උපසේන සහ මහනාම යන තෙරවරුන් විසින් ය.

බුද්ධදත්ත හිමි

බුද්ධඝෝෂ හිමියන්ගේ සමකාලීන හිමිනමක් වූ උන්වහන්සේ මධුරත්ථ විලාසිනී නම් බුද්ධවංශ අටුවාව රචනා කර ඇත.

උපසේන හිමි

සද්ධම්මජෝතිකා නම් නිද්දේශ අට්ඨකථාව මහා පරිවේණවාසී උපසේන හිමියන් විසින් කරන ලදී.

මහානාම හිමි

පටිසම්භිදාමග්ග අට්ඨකථාව වන සද්ධම්මප්පකාසනිය උන්වහන්සේ විසින් ලියන ලදී.

ධම්මපාල හිමි

පරමත්ථදීපනී අට්ඨකතා උදාන – ඉතිවුත්තක, විමාන වත්ථු, ප්‍රේත වත්ථු, ථේර ථේරී ගාථා අට්ඨකථා ලියන ලද්දේ මේ හිමියන් ය.

මෙම අට්ඨකථාවන් ඉගෙනගෙන ඒවා ආරක්ෂා කළ අය ‘අට්ඨකථිකා’ නමින් හඳුන්වා ඇත. ‘අට්ඨකථාචරියා’ යනු අට්ඨකථා සම්පාදනය කළ ආචාර්යවරු ය. ආචරියවාද, ආචරිය මත යන නම්වලින් කියැවෙන්නේ ද අට්ඨකතාවන් ගැන ම ය. විශේෂයෙන් ම මෙම අට්ඨකථාවන්හි සඳහන් ධර්ම විනය කාරණා භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍ර දේශනාවල බහා බලා, (සුත්තේ ඕතාරේතබ්බෝ) ශාස්තෘන් වහන්සේගේ විනය පැනවීම් සමඟ සසඳා බලා (විනයේ සන්සන්දිතබ්බෝ) ගැළපේ නම් පිළිගන්නා ලෙසත්, නොගැළපේ නම් බැහැර කරන ලෙසත් ශ්‍රේෂ්ඨ අටුවාචාර්ය බුද්ධඝෝෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ම නිර්දේශ කොට තිබේ.

අටුවා විස්තරය :-

– මහමෙව්නා වාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි.