ගෙවී ගිය 2021 වර්ෂය බොහෝ දෙනෙකුට මව, පියා, බිරිඳ, සැමියා, දරුවන්, ඥාතීන් හා හිතමිත්‍රාදීන් අහිමි වී ගිය අවාසනාවන්ත කාලපරිච්ඡේදයක් වූයේය. තවම එහි නිමාව නම් සනිටුහන් වී නොමැත. කෙසේ වෙතත්, තවත් ව්‍යවහාරික වර්ෂයක ඇරඹුමත් සමඟ කොවිඩ් පිට කොවිඩ් පැමිණියත් දැන් ඉතින් මේ අඬහැරය පටන් ගන්නට බොහෝ දෙනා බලා සිටිති.

“අපිට ඕනේ කිරිගහට ඇන්න වගේ හරියන හොඳම නැකතක්.” “ඕකට හොඳ නැකතක් බලලා වැඩේ පටන් ගත්ත නම් හරි.” “කෝකටත් හොඳ වෙලාවක් බලලා හිටිය නම් හිතට හොඳයි.” “පොරොන්දම් නොගැළපෙනවා නම් ඔය මගුල කෙරෙන්නෑ.”

අප මෙවැනි කතා කෙළවරක් නැතිව අසා ඇත. ඇත්තෙන්ම මේවාට වර්ෂයක අග, මැද, මුලක් අවශ්‍ය නොවේ. නමුත් වර්ෂ ආරම්භය යනු, මෙම සන්නිපාතය ඉහළ යන කාලයකි. මේ සන්නිපාතය වැඩිපුරම වැළඳෙන්නේ බෞද්ධයන්ට වීම මහත් ම අභාග්‍යයකි.

නැකත්, කේන්දර ආදී සියල්ලම බෞද්ධයන් වූ අපගේ උරුමයක් නොවේ. නමුත් ඒ පිටුපස බොහෝකොට දුවන්නෝද ඔවුහුමය. මේ සියලු මිසදිටු මෙරටට ගොඩ බැස්සේ දකුණු ඉන්දීය ආක්‍රමණයන් සමඟ ය. ඔවුන් ආක්‍රමණය කළේ අපගේ රට පමණක් නොවේ. ඔවුහු පාරිශුද්ධ බුදුදහම පදනම් කොට ගත් චින්තන රටාව ද ආක්‍රමණය කොට සිංහලයාගේ කොඳු නාරටිය ද කඩා දැමූහ. කෙසේ වෙතත් වර්තමානය වන විට බහුතර බෞද්ධයන් විසින් නැකත් කේන්දර ඔවුන්ගේ සහජ උරුමයන් කොටගෙන හමාර ය. උපන් දා සිට සුසාන භූමිය දක්වාම නැකතින් තොර කටයුත්තක් ඔවුන්ට ඇත්නම් ඒ මළමුත්‍රා කිරීම් ආදිය පමණි. එය ද උහුලා ගත හැකි නම් නැකත් බලනු නිසැකය. මොන නැකතට වැඩ ඇල්ලුව ද දිනෙන් දින ඔවුන්ගේ පිරිහීම විනා දියුණුවක් දැක ගැනීමට ඉතාම අපහසු ය. අප අනෙක් රටවල අතකොලුවක් බවට පත්ව ඇත. එය වඩාත් ම අවාසනාවකි. බෞද්ධ වූ අපට නැකත් ඇත්තෙන්ම නැති ද? බුදු දහමේ නැකත් ගැන සඳහනක් නොමැති ද? භාග්‍යවතුන් වහන්සේ මේ ගැන කෙසේ වදාළ සේක් ද? මේ, ඒ පිළිබඳ හෙළිදරව්වයි.

බුදු දහමේ නැකත් ඇත්තේ ම නැද්ද?

නැකත අපි ප්‍රතික්ෂේප නොකරන්නෙමු. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ද නැකත ගැන දේශනා කොට තිබෙන නිසාවෙනි. නමුත් ඒ මෙකල බොහෝ දෙනා සරණ කොට ඇති නැකත් කේන්දර ගැන නම් නොවේ. ඒවාට අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ ‘තිරිසන් විද්‍යාවන්’ වශයෙනි. ඒ තුළින් උතුම් අර්ථයක්, යහපතක් උදාකර ගත නොහැකි බව එහි සරල අදහසයි. එසේ නම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් නැකත කුමක් ද? ඇත්තෙන්ම උන්වහන්සේ පෙන්වා දුන් නැකත හරිම අපූරුය. විස්මිත ය. බෞද්ධ අබෞද්ධ භේදයක් නැත. කුමන ආගමක, කුමන ජාතියක වුවත් අනුගමනය කළහොත් ලැබෙන ප්‍රතිඵලය නම් අති විශිෂ්ට ය. බොහෝ බලවත් යැයි මිනිසුන් විසින් සලකනු ලබන ශනිට රාහුට පවා එයට අභියෝග කළ නොහැකි ය. සංසාරගත සත්වයාට ඉන් එහා ගිය සුබ නැකතක් සොයා ගන්නට ද නොහැකි ය.

කුමක් ද මේ සුබම සුබ නැකත?

නැකත ගැන සඳහන් කරන්නට ප්‍රථමයෙන් කිව යුතු යමක් ඇත. එනම්, මේ පෙන්වා දෙන නැකත අතිශයින්ම ගෝචර වන්නේ ප්‍රඥාවන්තයින්ට ම පමණක් බවය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇත්තේද ප්‍රඥාවන්තයින්ට පමණකි. එය දුෂ්ප්‍රාඥයින්ට අවබෝධ කිරීමට නොහැකි ය. එසෙයින් ම මේ සුබම සුබ නැකත ද ප්‍රඥාවන්තයන් සඳහා මය. මේ උතුම් බුද්ධ දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයේ ය. එය පැහැදිලිව තේරුම් ගත්තා නම් බෞද්ධ අපට ද කොහේදෝ සිට පැමිණි අරුත්සුන්, අනාර්ය දෙයක් සරණ කර ගන්නට අවැසි වන්නේ නැත. එම දේශනාවේ දී අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“යේ භික්ඛවේ, සත්තා පුබ්බණ්හසමයං කායේන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති, සුපුබ්බන්හෝ භික්ඛවේ, තේසං සත්තානං”

“මහණෙනි, යම් සත්වයෙක් පෙරවරු වේලෙහි කයින් සුචරිතයෙහි හැසිරෙත් ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙත් ද, මනසින් සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන් හට එය සුභ උදෑසනකි.”

“යේ භික්ඛවේ, සත්තා මජ්ඣන්තිකං සමයං කායේන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති, සුමජ්ඣන්තිකෝ භික්ඛවේ, තේසං සත්තානං”

“මහණෙනි, යම් සත්වයෙක් මධ්‍යහන කාලයෙහි කයෙන් සුචරිතයේ හැසිරෙත් ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙත් ද, මනසින් සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන් හට එය සුභ දහවලකි.”

“යේ භික්ඛවේ, සත්තා සායන්හසමයං කායේන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති, සුසායන්හෝ භික්ඛවේ, තේසං සත්තානන්ති.”

“මහණෙනි, යම් සත්වයෙක් සවස් කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙත් ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙත් ද, මනසින් සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන් හට එය සුබ සන්ධ්‍යාවකි.”

සුනක්ඛත්තං සුමංගලං සුප්පභාතං සුවුට්ඨිතං,
සුඛණෝ සුමුහුත්තෝ ච සුයිට්ඨං බ්‍රහ්මචාරිසු.

“උතුම් බ්‍රහ්මචාරීන් වහන්සේලා උදෙසා මැනවින් පුදන ලද දානයක් ඇද්ද, ඒ දන් දෙන වේලාව තමයි සුබ නැකත. සුබ මංගල්‍යය. සුබ උදෑසන. සුබ නැගී සිටීම. සුබ මොහොත. සුබ මුහුර්තිය.”

පදක්ඛිණං කායකම්මං වාචාකම්මං පදක්ඛිණං,
පදක්ඛිණං මනෝකම්මං පණිධියෝ පදක්ඛිණා,
පදක්ඛිණානි කත්වාන ලභතත්ථේ පදක්ඛිණේ.

“මැනවින් කරන ලද කාය කර්මය ඉතා සුබ දෙයකි. මැනවින් කරන ලද වචී කර්මය ඉතා සුබ දෙයකි. මැනවින් කරන ලද මනෝ කර්මය ඉතා සුබ දෙයකි. යහපත් අභිප්‍රාය ඉතා සුබ දෙයකි. මනා වූ දේවල් කොට, එහි ඒ මනා වූ දේවල් ම ලබයි.”

මේ උතුම් බුදු වදනට අනුව සැබෑම නැකත අපට වටහා ගැනීමට අසීරු වූවක් නොවේ. පෙර සඳහන් කළ සූත්‍ර දේශනාවේ සාරය කැටි කොට ගත් විට ලොව පවතින උතුම් ම නැකත යනු, යමෙක් යම් මොහොතක සිතින් කයින් වචනයෙන් යහපතේ හැසිරේ ද ඒ අවස්ථාව යි. ඒ කාලය යි.

සියල්ල අවබෝධ කොට ගත් එකම ශාස්තෘන් වහන්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පමණි. උන්වහන්සේට මේ විශ්වය තුළ රහසක් නැත්තේ ය. මෙයට වඩා තවත් සුබ මොහොතක් තිබේ නම්, පළමුව පෙන්වා දෙන්නේ ද භාග්‍යවතුන් වහන්සේම ය. කුමක් නිසා ද යත් උන්වහන්සේ තරම් සත්වයාට කරුණාව දැක්වූ, යහපත සැලසූ, අනුකම්පා කළ තවත් උත්තමයෙක් මේ මිහිමත තවමත් පහළ වී නැති නිසාවෙනි.

සැබැවින්ම අප කවුරුත් මේ සංසාර ගමනේ සැරිසරා යන්නේත්, ඒ අතර සැප දුක උරුම වන්නේත්, අහසේ ඇති සඳ හිරු තරු ග්‍රහ වස්තු නිසා නම් නොවේ. තම තමන් කළ කී දේ නිසා ය. එයට ‘කර්මය’ යැයි කියනු ලැබේ. කර්මය යනු, චේතනාවක් පහළ කොට සිත, කය හා වචනය මෙහෙයවා කරන හොඳ හෝ නරක සියල්ල ම ය.

උපන් සත්වයා විඳින වේදනාවන්වලට කර්මයට අමතරව තවත් කරුණු හතක් හේතුවන බව සංයුත්ත නිකායේ මෝළියසීවක සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක. ඒවා නම්,

● පිත කිපීමෙන් හටගන්නා වේදනා
● සෙම කිපීමෙන් හටගන්නා වේදනා
● වාතය කිපීමෙන් හටගන්නා වේදනා
● වා පිත් සෙම් තුන ම කිපීමෙන් හටගන්නා වේදනා
● ඍතු විපර්යාසයෙන් හටගන්නා වේදනා
● විෂම පරිහරණයෙන් (කය වැරදි ලෙස පරිහරණය කිරීමෙන්) හටගන්නා වේදනා
● උපක්‍රමයෙන් හටගන්නා වේදනා
● කර්ම විපාකයෙන් හටගන්නා වේදනා
යනුවෙනි. මේවාටත් අමතරව තවත් කුමක් නම් සිදු වන්න ද? යමෙක් සැප විඳී ද යමෙක් දුක් විඳී ද, දුප්පත් පොහොසත්, ලස්සන-අවලස්සන, හීන උසස් මේ හැමදේටම තමා විසින් ම නිර්මාණය කර ගත් දේ විනා බාහිර කිසිවෙකු, කිසිම ග්‍රහයෙකු කළ කී දෙයක් එයට අදාළ නොවේ. එසේ බාහිර බලපෑම් මත සසර පැවැත්ම සකස් වූවා නම් කිසිම කෙනෙකුට සසර දුකින් ද නිදහස් විය නොහැකි ය.
මේ ගැන තවත් පැහැදිලි කර ගැනීමට චූළ කම්මවිභංග සුත්‍රය කියවා බැලිය යුතුය. එසේම මිළිඳු රාජ ප්‍රශ්නය ග්‍රන්ථයෙහි ‘අකුසල් සිඳීම ගැන ප්‍රශ්නය’ යන කොටස ද ඒ සඳහා උපකාරී වනු ඇත. භාග්‍යවතුන් වහන්සේ වදාළේ ‘සත්වයෝ කර්මය තමාගේ දෙය කොට ඇත්තාහ (කම්මස්සකෝම්හි). කර්මය දායාද කොට ඇත්තාහ (කම්මදායාදෝ). කර්මය උප්පත්ති ස්ථානය කොට ගෙන ඇත්තාහ (කම්මයෝනි). කර්මය සිය ඥාති කොට ගෙන ඇත්තාහ (කම්මබන්ධු). කර්මය පිහිට කොට ඇත්තාහ (කම්මපටිසරණෝ). යහපත් හෝ අයහපත් කර්මයක් කරයි ද ඔහු එය තමන්ගේ දායාදය කර ගනී. (යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි)’ යනුවෙනි.

තවත් බොහෝ දෙනකුට තිබෙන ප්‍රශ්නයකි, ‘අපල’. අපල යන්නෙහි අර්ථය පල රහිත බවයි. එනම් යහපත් ප්‍රතිඵල ලබා නොදෙන බවයි. ලැබෙන්නේ අයහපත් දේ ම යන්නයි. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ අපට අපල ලබා දෙන්නේ අහසේ තිබෙන ග්‍රහ වස්තූන් විසින් බවකි. නමුත් එය අඥානකම විනා අන් කවරක් ද? යහපත් විපාක ලැබෙනුයේ යහපත් දේ කර තිබේ නම් පමණි. ඉතින් යමෙකු යහපත් දේ නොකර අයහපතෙහි යෙදී තිබේ නම් එයට වගකිව යුත්තේ කොහේවත් තිබෙන්නා වූ ග්‍රහ වස්තූන් ද? එවැනි මත දැරීම මොන තරම් මුළාවක් ද? පලක් ඇති දෙයක් වන්නට නම් පලක් ඇති දේම කළ යුතු ය. සියලු අපල සහ සඵල තමා කළ කී දේ නිසාවෙන් ම ය. ප්‍රඥාවන්තයාට ඒ බව තේරුම් ගැනීමට පහත දැක්වෙන ගාථාව පමණක් ම ප්‍රමාණවත් ය.

“යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං
කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං”

“ වපුරන්නේ යම් ආකාර බීජයක්ද, අස්වැන්නට ලැබෙන්නේ එබඳු බීජයන්මයි. යහපත් දේ කරන කෙනා, යහපත් විපාක ලබනවා. පව් කරන කෙනා පව් විපාක ලබනවා.”

(ඉසයෝසමුද්දක සූත්‍රය – සං.නි.)

නැකැත්වල ඇති අරුත්සුන් බව තේරුම් ගන්නට තවත් අගනා කතාවක් පෙන්වා දිය හැකිය. මේ ජාතක පාලියේ එන නක්ඛත්ත ජාතකය යි. භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන කල එක්තරා ආජීවකයෙකු අරබයා මෙය දේශනා කළ සේක.

සැවැත්නුවර එක් තරුණයෙක් සඳහා කුල දියණියක් කැමති කරවාගෙන විවාහය සිදු කරන දින ද නියම කර ගනු ලැබිණ. පසුව ඔවුන්ට ඉතාම සමීප ආජීවකයෙකුගෙන් ද ඒ පිළිබඳව විමසා බැලින.

“ස්වාමීනි, අද අපි මඟුලක් කරන්නෙමු. ඒ සඳහා අප යොදා ගත් නැකත සුදුසු ද?” එම ආජීවකයා ද ‘මොවුන් පළමුව මගෙන් නොවිමසා සියල්ල තීරණය කොට දැන් පැමිණ විමසති. හොඳයි මොවුන්ට යස වැඩක් කරන්නම්’ යැයි සිතා, “අපොයි අද ඉතා අසුබ දිනයෙකි. අද විවාහ මංගල්‍යය සිදු කළහොත් මහත් විනාශයක් වන්නේ ය” යැයි කීය.

දියණියගේ පවුලේ අය ද විවාහය සඳහා සියලු කටයුතු සම්පාදනය කර තරුණයාගේ නිවසින් පැමිණෙන තෙක් බලා සිටියහ. එහෙත් ඔවුන් නොඑන බව දැක, “ඔවුන්ම දින නියම කර ගන්නා ලදී. එහෙත් නොආවෝය. අපට ද බොහෝ වියදම් සිදු විය. ඥාතිමිත්‍රාදීන් ද පැමිණියහ. දැන් කුමක් කරන්න ද? ඔවුන්ගෙන් ඇති යහපතක් නැත. අපේ දියණිය වෙන කෙනෙකු හට දෙමු.” යි පිළියෙල කළ උත්සවයේ ම දුව අන් කෙනෙකුට දුන්හ. පසු දිනයේ අසුභ නැකත් දින නිසා විවාහයට නොපැමිණි තරුණයාගේ පිරිස පැමිණ, “අපට දියණිය දෙන්න” යැයි කියා සිටියහ. එවිට දියණියගේ නිවසේ අය “නුඹලා පවිටු අදහස් ඇත්තෝ ය. දවසක් තීරණය කර, අපිට නොදන්වා නොපැමිණියෝ ය. ආ ගමනින් ම ආපසු යත හැකි ය. අපගේ දියණිය අනෙකෙකුට දෙන ලදී.” යැයි අපහාස කළහ. දෙපිරිසම කළහ කොට අවසානයේ ඔවුහු හිස් අතින් ම ආපසු නිවෙස් බලා ගියහ. එම ආජීවකයා අතීතයේ දී ද මේ අයුරින්ම කළේ යැයි කියා භාග්‍යවතුන් වහන්සේ අතීත කතාව ද දේශනා කළ සේක. එය ද මේ සිදුවීම හා සමාන ය. එදා දෙපිරිස ම කෝලාහල කරන විට ඒ අසලින් නැණවත් පුරුෂයෙක් ගමන් කළේ ය. ඒ අප මහා බෝසතාණන් වහන්සේ ය. ඒ මොහොතේ “මේ මිනිසුන් නැකත අසුභ නිසා නොපැමිණියහ” යි යන වචනය අසා “නැකතින් කවර වැඩක් වේ ද? දැරිය ලබා ගැනීම ම නැකත නොවේ දැ?” යි කියා මේ ගාථාව කීය.

“නක්ඛත්තං පතිමානෙන්තං අත්ථෝ බාලං උපච්චගා,
අත්ථෝ අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා’ති”

“නැකැත් බලන්නට යෑමෙන් මෝඩයන්ට වටිනා දේ නැති වෙන්නේ කරන දෙයක් හොඳින් කිරීමමයි නැකැත අහසේ තියෙන තාරකා  කුමක් කරන්ට ද අප හට”

මෙයටත් වඩා තවත් සත්‍යයක් තිබේ ද? භාග්‍යවතුන් වහන්සේ බෝසත් කල පටන් නැකතෙහි යථාර්ථය දුටු සේක. නැකැත් පසුපස අන්ධයන් සේ දුවන්නා වූ සියල්ලෝම වටහාගත යුත්තේ මෙය නොවේ ද? ඒ සඳහා අවශ්‍ය වන්නේ යථාර්ථය දැකීම පිණිස ප්‍රඥාවයි.
“මේ දහම ප්‍රඥාවන්තයින්ට පමණි” යනුවෙන් උන්වහන්සේ දේශනා කොට වදාළේ එනිසාවෙනි.

ඉතින් අප කා හටත් ඇති එකම පිළිසරණ සෑම මොහොතක ම යහපතෙහි හැසිරීම පමණි. එවිට සියලු අපල දුරු වී යනු නියත ය. සතුට සාමය උදා වනු නිසැක ය. නමුත්, නිර්වාණය අවබෝධ කරගන්නා තාක් ජීවිතයට පැමිණෙන දුක් දොම්නස් නම් නිමා නොවනු ඇත. එහෙත්, යම් දිනක ඒ අමා මහ නිවන සාක්ෂාත් කළහොත්, ඒ මොහොතේ පටන් සියලු අපල නිමාවට පත් වී සුබ ම සුබ ඒකායන නැකත, සැපය උදාවනු ඇත. ඒ සඳහා ද කළ යුත්තේ සිතින් කයින් වචනයෙන් යහපතෙහි හැසිරීම යි.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.