මේ එක ම එක ගුණධර්මයක් යම් කෙනෙකු තුළ පිහිටා තිබීමෙන් මෙතරම් ම යහපතක් ජීවිතයට සැලසෙන බව මා හට ද තේරුම් ගැනීමට බොහෝ කල් ගත විය. ඒ කලණ මිතුරන්ගේ උපකාරයෙන් ම ය. මේ එක ම එක ගුණධර්මය වනාහී දෙලොව සුභසිද්ධිය සලසන මංගල කරුණකි. නුවණැති සත්පුරුෂයන්ගේ නිබඳ ප්‍රශංසාවට ලක්වන්නකි. ප්‍රියමනාප බව උපදවන්නකි. අප්‍රමාණ පින් රැස්වෙන කරුණකි. සුගති සම්පත් සලසා දෙන්නකි. චිත්ත සමාධිය දියුණු කිරීමට පමණක් නොව ආර්ය සත්‍යාවබෝධයට අත්‍යවශ්‍ය ගුණාංගයකි. සැකෙවින් කිවහොත් සත්පුරුෂයන්ට පමණක් ම සාධාරණ වූ මහානීය ගුණයකි. ඒ මහානීය ගුණය වනාහී අනෙකක් නොව ‘කෙළෙහිගුණ දන්නා බවත්, කෙළෙහිගුණ සිහිකරන බවත් ය.’ මේ ඉදිරියේ පෙළගැසෙන ශ්‍රී බුද්ධ වචනයන් ඊට කදිම සාක්ෂි දරනවා ඇත.

ලොවෙහි දුර්ලභ පුද්ගලයෝ

“මහණෙනි, මේ තුන්දෙනෙකුගේ ලොව පහළ වීම ලොව දුර්ලභයි. කවුද ඒ තුන්දෙනා?

මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ පහළ වීම ලෝකයේ දුර්ලභයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය දේශනා කරන පුද්ගලයා ලෝකයේ දුර්ලභයි. කෙළෙහිගුණ දන්නා වූ, කෙළෙහිගුණ සලකන්නා වූ පුද්ගලයා ලෝකයේ දුර්ලභයි.”

(දුල්ලභ සූත්‍රය – තික නිපාතය – අං. නි.)

“ලිච්ඡවීවරුනි, ලෝකයෙහි පස්වැදෑරුම් රත්නයන්ගේ පහළ වීම දුර්ලභයි. ඒ කවර පහක් ද යත්; තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීම ලෝකයේ දුර්ලභ ය. තථාගත ප්‍රවිදිත ධර්ම විනය දේශනා කරන පුද්ගලයා ලෝකයේ දුර්ලභ ය. තථාගත ප්‍රවිදිත වූ ධර්ම විනය දේශනා කරන විට අවබෝධ කරන පුද්ගලයා ලෝකයෙහි දුර්ලභ ය. තථාගත ප්‍රවිදිත වූ ධර්ම විනය දේශනා කරන කල්හි එය අවබෝධ කොට ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන් පුද්ගලයා ලෝකයේ දුර්ලභ ය. කෙළෙහිගුණ දන්නා, කෙළෙහිගුණ සිහි කරනා පුද්ගලයා ලෝකයේ දුර්ලභ ය.”

(පිංගියානි සූත්‍රය, අං. නි. 3)

“මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනා ලෝකයේ දුර්ලභයි. ඒ කවර දෙදෙනෙකු ද යත්; යම් කෙනෙක් පළමු ව උපකාර කරයි ද, යම් කෙනෙක් කෙළෙහිගුණ දැන කෘතඥ වෙයි ද, පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනා මේ ලෝකයේ දුර්ලභ වේ.”

(පඨම පුද්ගල සූත්‍රය – දුක නිපාතය, අං. නි.)

පිරිසිදු ජීවිතයක් ලැබීම පිණිස

“මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂයා සාරා නොගත් ගුණ ඇතිව වනසා නොගත් ජීවිතයක් පරිහරණය කරයි. දොස් රහිත වෙයි. නුවණැත්තන්ගේ උපවාද නොලැබිය යුතු කරුණක් වෙයි. බොහෝ පින් ද රැස් කරයි. ඒ කවර සතරක් ද යත්, කාය සුචරිතයත් ය, වචී සුචරිතයත් ය, මනෝ සුචරිතයත් ය, කෙළෙහිගුණ දැනීමෙන් හා කෙළෙහිගුණ සිහි කිරීමෙන් ය.”

(දුතිය බාල පණ්ඩිත සූත්‍රය – අං. නි. 2)

දුක් බිය රහිත වූ සත්පුරුෂ භූමිය

“මහණෙනි, සත්පුරුෂ භූමිය යනු කුමක් ද? මහණෙනි, සත්පුරුෂයා කෘතඥයි. කෙළෙහිගුණ සිහිකිරීමට දනී. මහණෙනි, යම් මේ කෙළෙහිගුණ දන්නා බවක් ඇද්ද කෙළෙහිගුණ සිහිකිරීමට තේරෙන බවක් ඇද්ද මෙය පසසන්නේ සත්පුරුෂයන් විසින් ම ය. මහණෙනි, යම් මේ කෙළෙහිගුණ දන්නා බවක් ඇද්ද කෙළෙහිගුණ සිහිකිරීමට තේරෙන බවක් ඇද්ද මෙය වනාහී සත්පුරුෂ භූමිය යි.”

(භූමි සූත්‍රය – අං. නි. – දුක නිපාතය)

ප්‍රේතයෙකුගේ බහක්…

“එම්බා මිනිසුනි, යම් ගසක් සෙවණේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම්, නිදනවා නම් ඒ තැනැත්තා තමන්ට සෙවණ දුන්න ඒ ගසේ අතු ඉති බිඳින්නේ නෑ. ඒක මිත්‍රදෝහී පව් වැඩක්. යම්කිසි කෙනෙක් එක රැයක් හරි ගෙදරක වාසය කරනවා නම්, යමෙක් ළඟට ගිහින් යම් පුද්ගලයෙක් කෑම බීමක් ලබනවා නම් ඒ උදව් කරපු පුද්ගලයා ගැන නපුරක් සිතින්වත් සිතන්න හොඳ නෑ. බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා වර්ණනා කොට වදාළේ කෙළෙහිගුණ දන්නා බවයි.

යම් කෙනෙක් කලින් උදව් උපකාර කරන කෙනෙකු ව පස්සේ පාපී ක්‍රියාවලින් පෙළනවා නම් ඒ උදව් ලැබූ පුද්ගලයා වනසන කෙනා යහපතක් නම් දකින්නේ නෑ.”

(අංකුර පේතවත්ථුව – පේතවත්ථු පාලි)

සිව්සස් නුවණ ලද සක් දෙවිඳු

ධර්මය තුළ පිහිටි උතුමන් තුළ කෙළෙහිගුණ දන්නා බවත්, කෙළෙහිගුණ සිහි කරන බවත් යන මේ ගුණය පිහිටා තිබෙන්නේ නිරායාසයෙන් ම ය. අනෙකෙකුගේ පෙළඹවීමකින් තොරව ය. ඒ ගුණය උන්වහන්සේලා තුළ කිසිදා කිසි විට නොපිරිහී ජීවිතය හා බද්ධ ව පවතී.

වරක් භාග්‍යවතුන් වහන්සේ අම්බසණ්ඩ නම් බ්‍රාහ්මණ ග්‍රාමයේ වේදියක නම් පර්වතයේ ඉන්දසාල නම් ගුහාවේ වැඩ වසන අවස්ථාවේ සක්දෙවිඳු පඤ්චසිඛ ගාන්ධර්ව පුත්‍රයා ද පෙරටුකරගෙන දිව්‍ය පිරිස ද සමඟ භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීමට පැමිණෙන්නේ ය. එහි දී පඤ්චසිඛ දිව්‍ය පුත්‍රයා විසින් සක්දෙවිඳු හට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ඉඩ ප්‍රස්ථාව සලසා දුන්නේ ය. ලද ඒ උපකාරයෙන් යුතු සක් දෙවිඳු එහි දී බුදුරජාණන් වහන්සේ වෙත එළඹ දහම් කතා කොට අවසානයේ සෝතාපන්න ඵලයේ පිහිටියේ ය. ඒ වන විට තම ආයුෂ ද පිරිහී සිටි සක් දෙවිඳු නැවතත් එකෙණෙහි ම සක් දෙව්රජ තනතුරේ ම පිහිටියේ ය. සතර අපා බියෙන් සදහට ම නිදහස් විය. සත්පුරුෂ භූමියේ පිහිටියේ ය. සත්පුරුෂ ගුණ දම් ඇති සක් දෙවිඳු තමාගේ දාසයෙක් වැනි වූ පඤ්චසිඛ දිව්‍යපුත්‍රයාට එකණෙහි ම ප්‍රතිඋපකාර කළේ මෙසේ ය.
“දරුව, පඤ්චසිඛයෙනි, ඔබ මා හට බොහෝ උපකාරක වූවෙහි ය. ඔබ යමක් පවසා භාග්‍යවතුන් වහන්සේ ව පළමුව පැහැදවූයෙහි ද දරුව, ඔබ විසින් පළමු කොට පහදවන ලදුව පසුව අපි ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජුන් බැහැදකින්නට එළඹුනෙමු. ඔබ ව අද සිට පිය කෙනෙකුගේ තනතුරෙහි තබමි. ඔබ අද සිට ගාන්ධර්ව රජ කෙනෙකු වන්නෙහි ය. ඔබට භද්‍රා නම් වූ සූරියවච්චසාව දෙමි. ඔබ විසින් ඉතා ආසාවෙන් ඕ පතන ලද්දී ය.”
(සක්කපඤ්හ සූත්‍රය – දී. නි. 3)

කළ උපකාරය සිහිකරන සත්පුරුෂ දෙවියෝ

පිනෙන් ලද ජීවිතයක් පරිහරණය කරන දෙවිවරුන්ට තමන් මේ මේ පුණ්‍යකර්මය කර මේ මේ සැප සම්පත් ලද බව දැකීමට හැකි පුණ්‍ය ඉර්ධියක් ඇත. තමා කළ පිනෙන් සතුටුවන දෙවියෝ ඒ පින් කිරීමට උපකාර කළ නැණවත් සත්පුරුෂයෝ ද හඳුනාගනී. කෙළෙහිගුණ දත් දෙවියෝ මේ මනුලොවට ඒ සත්පුරුෂයන් සොයා ඇවිත් කෙළෙහිගුණ දැක්වූ ආකාරය විමානවත්ථු පාලියේ ඇති කොතෙකුත් කථා වත්ථූන් මොනවට පැහැදිලි කරයි.

“ඒ හා සමාන වෙනත් කෙනෙක් නැති ජිනරාජයාණන් වහන්සේව බැහැ දකින්නට මමත් යනවා. අටලෝ දහමෙන් කම්පා නොවන ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේනමක් දකින්නට ලැබීමත් දුර්ලභ දෙයක්.

කෙළෙහිගුණ දන්නා, කෙළෙහිගුණ හඳුනන ඒ කන්ථක දිව්‍යපුත්‍රයා ශාස්තෘන් වහන්සේ වෙත එළඹුණා. සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ධම්මචක්ඛුව පිරිසිදු කර ගත්තා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නැතිකරලා දැම්මා. ශාස්තෘන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරලා එතන ම නො පෙනී ගියා.”
(කන්ථක විමානය – විමාන වත්ථු පාලි)

කෙළෙහිගුණ දත් මහරහතුන්

නිවන් මඟ සම්පූර්ණ කළ කෙලෙස් බර පැත්තකින් තැබූ ඒ මහරහතුන් තුළ පිහිටි කෙළෙහිගුණ දන්නා බවත්, කෙළෙහිගුණ සිහිකිරීමත් පුදුම සහගත ය. තමාට කළ කුඩා උපකාරය පවා උන්වහන්සේලා නිතර සිහි කළෝ ය. උන්වහන්සේලාගේ පිරිසිදු නිර්මල ජීවිතය තුළ ප්‍රකට වී ගියේ අප්‍රමාණ ගුණධර්මයන් ය. ප්‍රඥාවෙන් අග්‍රේෂ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතය ඊට කදිම නිදසුනකි. තමන් වහන්සේට බත් හැන්දක් පූජා කළ කෙනෙකු පවා සිතෙහි තබාගෙන උපකාර කළහ. තමන් වහන්සේට බුදු සසුන හඳුන්වා දී සෝතාපන්න වීමට උපකාර කළ අස්සජී මහරහතන් වහන්සේට දිවි ඇති තාක් ප්‍රතිඋපකාර කළහ. ඒ උපකාරය සිහි කළහ. දිනපතා රාත්‍රියේ සැතපීමට පෙර අස්සජී මහරහතන් වහන්සේ වැඩ සිටින දිසාව සිහිකොට වන්දනා කොට සැතපීම සිරිත විය. එය දැන ගත් බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රශංසා කොට වදාළ සේක.

“යම්හා ධම්මං විජානෙය්‍ය
සම්මා සම්බුද්ධ දේසිතං
සක්කච්චං තං නමස්සෙය්‍ය
අග්ගිහුත්තං ව බ්‍රාහ්මණෝ”

“සම්මා සම්බුදුරජුන් විසින් මනා කොට වදාළ ධර්මය තමන් ඉගෙන ගත්තේ යම් කෙනෙකුගෙන් නම්, තමන්ට ධර්මය ඉගැන්වූ ඒ ගුරුවරයාට ඔහු ඉතා හොඳින් වඳිනවා. බ්‍රාහ්මණයෙක් ගින්නට වඳිනවා වගේ.”
(ධම්මපදය – බ්‍රාහ්මණ වග්ගය)

ගෙවා අවසන් කළ නො හැකි ණය

“ආනන්ද, ඒක එහෙම ම යි, ආනන්ද, ඒක එහෙම ම යි. යම් පුද්ගලයෙක් යම් කිසි පුද්ගලයෙක් කරා පැමිණිලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මය සරණ ගියා නම්, සංඝයා සරණ ගියා නම්, සතුන් මැරීමෙන් වළකිනවා නම්, සොරකමින් වළකිනවා නම්, වැරදි කාමසේවනයෙන් වළකිනවා නම්, බොරු කීමෙන් වළකිනවා නම්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා නම් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ උපස්ථාන කිරීම, චීවර සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්…”
(දක්ඛිණා විභංග සූත්‍රය – ම. නි. 03)

චිත්ත සමාධිය ලැබීම පිණිස…
“මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය නොකොට ප්‍රථම ධ්‍යානය, දෙවන ධ්‍යානය, තෙවන ධ්‍යානය, හතරවන ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට අසමර්ථ වෙයි. ඒ කවර පසක් ද යත්,
ආවාසය කෙරෙහි මසුරු බව, දායක පවුල් කෙරෙහි මසුරු බව, ලාභය කෙරෙහි මසුරු බව, වර්ණනාව කෙරෙහි මසුරු බව, කෙළෙහිගුණ නො දන්නා බව – කෙළෙහිගුණ සිහි කරන නො කරන බව ය.”
(අපර පඨමජ්ඣාන සූත්‍රය, අපර දුතියජ්ඣාන සූත්‍රය – අං. නි. 3)

මග ඵල නිවන් අවබෝධය පිණිස

“මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය නොකොට සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නට, සකෘදාගාමී ඵලය සාක්ෂාත් කරන්නට, අනාගාමී ඵලය සාක්ෂාත් කරන්නට, අර්හත් ඵලය සාක්ෂාත් කරන්නට අසමර්ථ වෙයි. ඒ කවර පසක් ද යත්;

ආවාසය කෙරෙහි මසුරු බව, දායක පවුල් කෙරෙහි මසුරු බව, ලාභය කෙරෙහි මසුරු බව, වර්ණනාව කෙරෙහි මසුරු බව, කෙළෙහිගුණ නො දන්නා බව – කෙළෙහිගුණ සිහි නො කරන බව ය.”
(අපරසෝතාපත්තිඵලාදී සච්ඡිකිරියා සූත්‍ර – අං. නි. 03)

අන් කිසිවෙකුට ඉසිලිය නො හැකි සකල ගුණයන්ගෙන් පරිපූර්ණ වූ, සකල ගුණයන්ට ආකරයක් බඳු වූ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පුරා මේ ගුණය ප්‍රකට වූ අවස්ථා අපමණ ය. ඒ නිකෙලෙස් මහරහතන් වහන්සේලාගේ ජීවිත තුළ ද අවශේෂ මග ඵලලාභී ගිහි පැවිදි ආර්ය ශ්‍රාවකයන් තුළ ද මේ මාහැඟි ගුණය නිබඳ ව ම කිසිදා නොපිරිහී පිහිටා තිබුණි. එසේ නම් ගුණධර්ම දියුණු කිරීමට කැමති, මාර්ග ඵල නිවන් අවබෝධ කිරීමට කැමති සියල්ලෝ ම සිතන පතන දේ සියල්ල ලබා දෙන චින්තාමාණික්‍යයක් බඳු වූ, ගුණධර්මවලට මවක් බඳු වූ මේ උතුම් සත්පුරුෂ ගුණධර්මය වහ වහා ඇතිකර ගත යුතු ම ය. කෙළෙහිගුණ දන්නා බව, කෙළෙහිගුණ සිහිකරන බව යන අංගයන්ගෙන් තොරව අවශේෂ ගුණධර්ම දියුණු කරනවා යන්න හෝ වේවා චිත්ත සමාධිය දියුණු කිරීම හෝ වේවා මාර්ග ඵල ලබනවා යන්න හෝ වේවා සිදුවිය නොහැක්කක් බව යට කී සම්බුද්ධ දේශනා තුළින් ඉතා පැහැදිලි වේ.

ඒ නිසා මෙන්න මේ විදිහටයි හික්මෙන්න ඕනෑ…

“මහණෙනි, රෑ පාන්දර ජාමයේ හිවලෙක් කෑ ගහන හඬ ඇහුණා නේ ද?”

“එසේ ය ස්වාමීනි.”

“මහණෙනි, ඔය නාකි හිවලා තුළත් යම් කිසි කෙළෙහිගුණ දන්නා බවක්, කෙළෙහිගුණ ප්‍රකට කරන බවක් තියෙනවා. නමුත් මෙහි ඇතැම් කෙනෙක් තමනුත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් ය කියලා ප්‍රතිඥා දෙමින් සිටියත් ඔහු තුළ නම් කෙළෙහිගුණ දන්නා බවක්වත්, කෙළෙහිගුණ ප්‍රකට කරන බවක්වත් නෑ.” (මෙය වදාළේ දේවදත්ත අරබයා ය.)

“මහණෙනි, එම නිසා මෙන්න මෙහෙමයි හික්මෙන්ට ඕනෑ. ‘අපි නම් කෙළෙහිගුණ දන්නා අය වෙනවා. කෙළෙහිගුණ ප්‍රකට කරන අය වෙනවා. අපට කරපු පුංචි උදව්වක්වත් අපට අමතක නො වේවා!’ කියලා. මහණෙනි, ඔන්න ඔය විදිහටයි හික්මෙන්ට ඕනෑ.”
(දුතිය සිඟාල සූත්‍රය – ඕපම්ම සංයුත්ත – සං. නි. 2)

අප සියලු දෙනාට ද කෙළෙහිගුණ දන්නා බවත්, කෙළෙහිගුණ සිහිකරන බවත් යන සත්පුරුෂයන්ට පමණක් ම සාධාරණ වූ මේ උතුම් ගුණාංගය ඇතිකර ගන්න වාසනාව ලැබේවා…!

(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි)