මේ ලෝකයට කාලෙන් කාලෙට මහා විපත් ඇතිවෙන අභාග්‍යසම්පන්න අවධීන් උදා වෙනවා. එක් පසෙකින් රුසියාව යුක්රේනයට විරුද්ධව යුද ගිනි අවුළුවමින් මහා විපතකට ලෝකය ඇදගෙන යනවා. තවත් පිරිසක් ඒ බල අරගලයට අවැසි දේවල් සපයමින් ඒ මහා විපතට ඌනපූරණ සපයනවා. තවත් රටවල් බලවතුන්ට එරෙහිව අවි ආයුධ නිපදවමින් අනාගත යුද වැදීම් සැලසුම් කරනවා. පරිසරවේදීන් අනාගතයේ මුහුණ දීමට සිදු වන ආහාර අර්බුදයක අනතුරු ඇඟවීම් දැනුම් දෙන විට තවත් පිරිසක් ආහාරපාන එක්රැස් කර ගනිමින් ගබඩා කරගන්නවා. එසේම, ලෝකයේ වෙනත් පිරිසක් ආහාර නොමැතිව හාමතේ මිය යනවා. ලොව බැලු බැලු අත එසේ වෙද්දී අප රටට උදාවී ඇති කලදසාව ද යහපත් නම් නැහැ.

කලෙක පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වෙමින් බතින් බුලතින් සරුසාර වූ අපේම රටේ ඉන්න මිනිසුන්ට එදා වේල සපුරා ගැනීමත් අසීරු තත්වයට පත්වෙලා. තෙල්, ගෑස් වෙනුවෙන් පැය ගණන් පෝලිම්වල ඉන්නට සිදුවෙලා. තවත් පිරිසක් අව්ව වැස්ස නැතිව විරෝධතා පෝලිම්වල උගුර ලේ රහ වනතුරු කෑගසමින් සිටිනවා. රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් නැතුව රෝගීන් ජීවිතය වෙනුනෙන් මරණය එක්ක සටන් කරනකොට තවත් පිරිසක් තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරනවා.

බලන බලන හැම පැත්තෙන්ම පේන්නේ කාට හෝ සිදුවී ඇති විපතක් ගැනයි. ඒත් මේ සියලු විපත් අතර සත්වයාට ඇති සැබෑම විපත හඳුනාගත්තෝ කවරහු ද?

ඒ අන් කිසිවෙකු නොව තමන්ගේ විස්මිත ප්‍රඥා ජාලය ලොව පුරා විහිදුවමින් මේ මුළු ලෝ ධාතුව ම අවබෝධ කළ අපගේ ශාස්තෘන් වහන්සේ ම යි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සැබෑවටම මේ ලෝකයේ සිද්ධ වෙන විපත් තුනක් තියෙනවා කියලා.

“තිස්සෝ ඉමා භික්ඛවේ, විපත්තියෝ. කතමා තිස්සෝ? සීලවිපත්ති, චිත්තවිපත්ති, දිට්ඨිවිපත්ති.”

පින්වත් මහණෙනි, මේ විපත් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? සීල විපත්තිය, චිත්ත විපත්තිය හා දෘෂ්ටි විපත්තියයි.

“කතමාච භික්ඛවේ, සීලවිපත්ති?”

“පින්වත් මහණෙනි, සීල විපත්තිය යනු කුමක්ද?

පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා, සොරකම් කරනවා, වැරදි කාම සේවනයේ යෙදෙනවා, බොරු කියනවා, කේළාම් කියනවා, පරුෂ වචන කියනවා, හිස් වචන කියනවා. පින්වත් මහණෙනි, මේකට තමයි සීල විපත්තිය කියන්නේ.”

එහෙම නම් මේ ලෝකේ අපිට විඳින්නට සිද්ධවෙන නොයෙක් කරදර විපත් අතරේ අපට සිද්ධ වෙන සැබෑම විපත වන්නේ සීල විපත්තිය යි. එනම්, අපගේ සීලයට හානි වීමයි. ඒ විපත එතරම්ම භයානක වන්නේ ඇයි?

“සීලවිපත්තිහේතු වා භික්ඛවේ, සත්තා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.”

“පින්වත් මහණෙනි, සීල විපත්තිය හේතු කොටගෙන සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා.”

එසේනම්, විපත් අතර අපිට සිදු වූ – සිද්ධවෙන සැබෑම විපත අපේ සීලයට හානි වීම නිසා දුගතියේ ඉපදෙන්නට වීමයි.

එසේ බලන කල සියලු විපත් සිදු වී ඇත්තේ බාහිරයෙන් නොව තමාගෙන් තමාට යි. එනම්, පවට පෙරළී ගිය තම සිත නිසා තමන්ගේ කයින් කරන ක්‍රියාවන් – වචනයෙන් කරන ක්‍රියාවන් පවට පෙරළී යාමයි.

අද අපට කන්න දෙයක් නැති වීම නිසා, වතුර ගෑස් විදුලිය බෙහෙත් මුදල් ආදී අපේ එදිනෙදා අවශ්‍යතාවයන් නැති වීම නිසා මොනතරම් දුකක් කරදරයක් අපහසුවක් ඇති වුණත්, ඒ ආහාර වතුර ආදී අපේ අවශ්‍යතා නැති වී යෑමෙන් කෙනෙක් මිය ගිහින් නිරයේ උපදින්න එය හේතුවක් වන්නේ නැහැ… ඒත් බත් වේලක් වෙනුවෙන්, ගෑස් සිලින්ඩරයක්, බෙහෙත් පෙත්තක් වෙනුවෙන් අපි තවත් ජීවිතයකට හානි කළොත් තව කෙනකුගේ දෙයක් පැහැරගත්තොත්, හොරකම් කරමින් පරුෂ වචනයෙන් බැණ වදිමින් කේළාම් කියා අර්බුද ඇති කරමින් කාටවත් උපකාර නොවන දේවල් කියමින් තමන්ගේ සිල් බිඳ ගත්තොත් එය නිරයේ උපතකට හේතු වෙනවා.

“පින්වත් මහණෙනි, හය පැත්තකින් යුතු දාදු කැටය උඩට දැමූ විට යම් යම් අයුරකින් බිම පැතලි ලෙස වැටී සිටිනවා නම්, එය මනාකොටම වැටී තිබෙනවා. පින්වත් මහණෙනි, අන්න ඒ වගේමයි, සීල විපත්තිය හේතු කොට ගෙනත් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා.”

ඒ වගේම, සත්තු මරණ කෙනා නිරයේ ඉපදිලා නැවත මනුස්ස ලෝකයට යම් කලෙක පැමිණෙනවාද අර ප්‍රාණඝාතයේ සැමට සැහැල්ලු විපාකය ලෙස ඔහුගේ උපනූපන් හැම ජීවිතයක ම ආයුෂ කෙටි වෙනවා, අකාලයේ මිය යනවා.

සොරකමේ යෙදෙන කෙනා මනුස්ස ලෝකයට ආව දවසක තමා අමාරුවෙන් හරිහම්බ කළ වස්තුව තමාගේ දෑස් ඉදිරියේ ම විනාශවෙලා තමාට අහිමි වී යාමෙන් දුක් විඳින්න සිද්ධ වෙනවා.

වැරදි කාමසේවනය කළ කෙනා මිනිස් ලොව ඉපදුණාම තමන් අනිත් අයගේ අමනාපයට වෛරයට ලක් වෙන කෙනෙක් බවට පත්වෙනවා.

බොරු කියූ කෙනාට නිතර කරුණු රහිත නින්දා අපහාස විඳින්නට සිද්ධ වෙනවා වගේම කේළාම් කීමෙන් පිරිස් බිඳ වූ කෙනාට එහි විපාකය ලෙස තමාට හිතවත් සියලු හිතමිතුරන් තමාගෙන් බිඳී යාමෙන් දුකට පත්වෙන්නට සිදු වෙනවා.

කෙනෙකු තවත් කෙනෙකුට බැණ වදිමින්, දරුණු වචන පවසමින්, කර්කෂ, අන් අයට අහන්නට අසතුටු, කෝප දනවන, ක්‍රෝධය ඇතිවෙන යම් වචනයක් කියයි නම් ඔහු මරණින් මතු නිරයේ ඉපිද යළි මනුස්ස උපතක් ලබන කලක, අන් අයට ප්‍රිය නොවන අසතුට උපදවන වචන පැවසීම නිසා ඔහුට තමා අසතුටු වචන අසන්නට සිදු වෙනවා.

ඒ වගේම නිසරු බස් කතා කළ කෙනා මනුස්ස ලෝකයට ආවම එහි විපාකය වශයෙන් ඔහුගේ වචන කිසිවෙක් විශ්වාස කරන්නේ නැහැ.

ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ යම් ප්‍රාණඝාතයක් ඇත්නම් ඒක දුක රැස් කරවන ධර්මය කියලා. සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම දුක රැස් කරවන ධර්මයයි. ඒ වගේම, මේවා තමා කෙනෙකු තුළ පසුතැවිලි උපදවන්නා වූ ධර්මයන් වන්නේ. මේවා තමා සේවනය නොකළ යුතු ධර්මයන් වන්නේ. ඊට හේතුව නම් මේ දේවල් සේවනය කිරීමෙන් අපට දුක් සහිත නිරයේ ඉපදෙන්නට සිදු වීමයි.

“කතමාච භික්ඛවේ චිත්ත විපත්ති?”

“පින්වත් මහණෙනි, චිත්ත විපත්තිය කුමක්ද?”

“ඉධ භික්ඛවේ, ඒකච්චෝ අභිජ්ඣාලු හෝති ව්‍යාපන්නචිත්තෝ හෝති. අයං වුච්චති භික්ඛවේ, චිත්තවිපත්ති.”

“පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරනවා. ද්වේෂ සහගත සිතින් යුතු වෙනවා. පින්වත් මහණෙනි, මේකට තමයි චිත්ත විපත්තිය කියන්නේ.”

මේ අයුරින් කෙනෙක් අනිත් අයගේ දේවල් දිහා බල බල, ඒ දේවල් තමා සන්තක කර ගන්නට හිතනවා නම්… අසවල් අසවල් අයට හොඳට සල්ලි තියෙනවා කියා, අසවල් අය ගෙවල් දොරවල් හදාගෙන, වාහනයක් අරගෙන, අසවල් කෙනා මේ තනතුරට පත් වෙලා කියලා… මේ විදිහට තමාට නැති – අනිත් අයට තියෙන දේවල් දිහා බලමින් කෙනෙක් ඒ දේවල් තමාට තියෙනවා නම් කියා හිතනවා නම් ඒ තුළින් අපේ හිත කිලිටි වෙනවා. ඒ වගේම, “අසවලා මට බැණ්නා. මෙහෙම කරා. මගේ දේවල් ගත්තා. විනාශ කළා.” ආදිය කියමින් තරහට යට වන සිතින් ඉන්නවා නම්…

“අපිට වතුර නෑ, කරන්ට් නෑ, ගෑස් නෑ, කෑම නෑ” කියමින් නොලැබුණ දේවල්, අහිමි වුණ දේවල්, තමන්ට සිද්ධ වුණ අසාධාරණකම් ගැන හිත හිතා දුකෙන් ඉන්නවා නම්… නිතර ම කෝප කරමින් ඇස් ඔරවමින් අන් අය දෙස බලයි නම්… ඒක තමා චිත්ත විපත්තිය.

“පින්වත් මහණෙනි, චිත්ත විපත්තිය හේතු කොටගෙනත් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ උපදිනවා.”

එහෙම නම්, අපි බඩගින්නෙ හිටියත්, අන්ධකාරයේ හිටියත්, වතුර පොදක් නැතුව පණ අදිමින් හිටියත් ඒ හේතුවෙන් මැරිල අපි නිරයේ උපදින්නේ නෑ. නමුත්, කෑම වේලකට ආස කර කර, නැත්නම් කෑම වේලක් නිසා අනිත් අය ගැන අමනාපයෙන් තරහින්, අනිත් අයට දෙස් දෙවොල් තිය තියා, නැතිනම් අපට නැති මොනයම් ම හෝ දෙයක් නිසා, නැතිනම් අපිට වුණ පීඩා අසාධාරණකම් අපහසුතාවයන් නිසා තරහින් හෝ නොලැබුණු – අහිමි වුණ දේවල් ගැන ආසාවෙන් ඉඳලා මරණයට පත් වුණොත් අපි නිරයේ උපදින්න එය හේතු වෙනවා. ඒ නිසයි, චිත්ත විපත්තිය විපත් අතර සත්වයන්ට සිදු වන සැබෑම විපත වන්නේ..

“කතමා ච භික්ඛවේ, දිට්ඨිවිපත්ති?”

“පින්වත් මහණෙනි, දිට්ඨි විපත්තිය යනු කුමක්ද?”

“ඉධ භික්ඛවේ, ඒකච්චෝ මිච්ඡාදිට්ඨිකෝ හෝති විපරීතදස්සනෝ ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං, කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තී’ති. අයං වුච්චති භික්ඛවේ, දිට්ඨිවිපත්ති.”

“පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. විපරීත දැක්මෙන් යුක්තයි. ඒ කියන්නේ; ‘දුන් දෙයෙහි විපාක නැත. පුද කළ දෙයෙහි විපාක නැත. ගරු බුහුමන් කිරීමේ විපාක නැත. හොඳ නරක ක්‍රියාවන්ගේ විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතිකව උපදින සත්වයන් නැත. යම් කෙනෙක් මේ ලෝකයත්, පරලෝකයත් තමා විසින්ම විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කොට පවසනවා නම්, එවන් යහපත් ගති ඇති, යහපත් දෙයට පැමිණි ශ්‍රමණයෝවත්, බ්‍රාහ්මණයෝවත් නැත.’ කියන විපරීත දර්ශනයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මේකට තමයි දෘෂ්ටි විපත්තිය කියන්නේ.”

කෙනෙක්, ‘දුන් දේ විපාක නෑ’ කියලා හිතනවා නම් එයාට තමන්ට දුෂ්කර කාලයේ අනිත් අයට යමක් දෙන්නටවත්, සිල්වතුන් වහන්සේලාට යමක් පූජා කර ගන්නටවත් හිතෙන්නෙ නෑ. එයාට හිතෙන්නේ, ‘අපි මේ කෑම ටිකක් හොයා ගන්නේ අමාරුවෙන්. ඒක දන් දීලා හරියනව ද? දීලා හරි ගියේ කාට ද?’ කියලයි.

ඒ වගේ ම, පුද-පූජාවල විපාක නෑ කියලා හිතන කෙනා දුෂ්කර කාලවල සෑය බෝධිය වැඳපුදා තව තවත් පිනෙන් බලවත් වෙන්න හිතන්නේ නෑ. එයා හිතන්නේ, ‘මෙච්චර බණ අහන පින් කරන මිනිස්සු ඉන්න රටට වෙලා තියෙන දේ පේනවනෙ. තවත් මොන වන්දනා ද? තවත් මොන පුද පූජා ද?’ කියල යි. සමහරු හිතන්නේ දිව්‍ය ලෝකයයි, අපායයි තියෙන්නෙ මෙහෙමයි කියල. නිරයේ ඉපදීමට බයක් උපදින්නෙ නෑ. අම්මා තාත්තා මේ ලෝකයේ විශේෂ දෙන්නෙක් බව ඒ අයට හිතෙන්නෙ නෑ. ඕපපාතික සත්වයන් උපදින බවත්, ජීවිතය අවබෝධ කළ විශේෂ ඥානයට පැමිණි උතුමන් සිටින බවත් ඒ අය විශ්වාස කරන්නෙ නෑ.

ඒ නිසා, මේ අය නිරය ප්‍රේතලෝක දිව්‍යලෝක විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා ම ඒ අයට සතර අපායෙන් නිදහස් වෙන්න ඕන කියලවත්, ජීවිතය අවබෝධ කිරීමේ අවශ්‍යතාවය ගැනවත් හැඟීමක් නෑ. කොටින්ම, තමන් කරන හොඳ නරක දෙක තමන්ට දායාද වෙන බවවත් ඔවුන් විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා, මේ ලැබුණු ජීවිතය හොඳින් හෝ නරකින් විනෝදයෙන් ගෙවන්නට මිසක් වෙන අදහසක් ඔවුන්ට නෑ. මේ විදිහට ජීවිතය දිහා බලන කෙනාගේ දැක්ම විපරිත වෙලයි තියෙන්නේ. මේකට තමයි දිට්ඨි විපත්තිය කියන්නේ.

“පින්වත් මහණෙනි, දිට්ඨි විපත්තිය හේතු කොටගෙනත් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා.”

ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ “නාහං භික්ඛවේ අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං මහාසාවජ්ජං, යථයිදං භික්ඛවේ, මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිපරමානි භික්ඛවේ වජ්ජානීති.”

“පින්වත් මහණෙනි, මේ මිත්‍යා දෘෂ්ටිය තරම් බරපතල වැරදි සහගත එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සියලු වැරදි මේ මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙනයි තියෙන්නේ.”

ඒ වගේම නූපන් සියලු අකුසල් ඉපදීම පිණිසත්, උපන් අකුසල් වැඩිදියුණු වීම පිණිසත් මේ මිථ්‍යාදෘෂ්ටිය තරම් වෙන එකම දෙයක්වත් හේතු වෙන්නේ නෑ. ඒ නිසාම තමන්ගේ ජීවිතය දකින විදිහ විපරිත නම් ඒ කෙනාගේ ජීවිතයේ සියලු අකුසල් හට ගන්නවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා සියලු කුසල් හටගැනීමට මුල් වන මුල්ම අංගය සම්මා දිට්ඨිය බව. එසේ නම්, කෙනෙක් සම්මා දිට්ඨිය උපදවා ගත්තා කියන්නේ ජීවිතේට සූර්යයා උදා වීමේ මුල්ම නිමිත්ත, අරුණෝදය උදා වුණා වගේ. ඒ කෙනා සම්මා දිට්ඨිය උපදවා ගැනීමත් සමගම සියලු කුසල් ඔහු තුළ උපදින්නට පටන් ගන්නවා.

ඒ වගේම සම්මා දිට්ඨිය උපදවා ගත් කෙනාට භාග්‍යවතුන් වහන්සේගේ මහා අවබෝධය උපකාරයෙන් ඔවුන්ගේ ජීවිතයේ ඇති අවිද්‍යා අන්ධකාරය බිඳහෙළමින් ජීවිතයට ප්‍රඥාවේ ආලෝකය උපදවා ගැනීමට අවස්ථාව උදා වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දම්සක් දෙසුම වදාරන අවස්ථාවේ දී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග විස්තර කරන විට මේ මධ්‍යම ප්‍රතිපදාව,

“චක්ඛුකරණී – දහම් ඇස ලබා දේ.
ඤාණකරණී – නුවණ උදා කරයි.
උපසමාය – හිතේ කෙලෙස් සංසිඳවා,
අභිඤ්ඤාය – විශේෂ ඤාණය උපදවා දෙනවා.
සම්බෝධාය – චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරලා දෙනවා.
නිබ්බානාය සංවත්තති – නිවන කරා යන්න උපකාර වෙනවා.” යනුවෙන් වදාළා…

එසේ නම්, කෙනෙක් සම්මා දිට්ඨිය උපදවා ගැනීම තුළින් ම සියලු කෙලෙස් සංසිඳුවා ගනිමින් ආර්ය සත්‍යය අවබෝධයට අවස්ථාව උදාවෙනවා. කෙනෙකුගේ ජීවිතයේ සියලු අකුසල් ඉපදීමට මිථ්‍යාදෘෂ්ටිය හේතු වන්නේ යම් සේ ද ඒ අයුරින්ම කෙනෙකුගේ ජීවිතයේ සියලු කුසල් උපදවා ගැනීම පිණිස සම්මාදිට්ඨිය උපකාර වෙනවා.

මනුස්ස ලෝකෙට ආපු අපි අපේ අඩුපාඩු අවශ්‍යතා සම්පූර්ණ කර ගන්නට සොරකමින් වේවා, බොරුවෙන් වේවා, වැරදි ක්‍රමයකින් හෝ වේවා මොනයම් ම ක්‍රමයකින් සල්ලි හොයා ගත්තත් ඒ සල්ලිවලින් අපිට හැමදාම ජීවත් වෙන්න බෑ. අපි එක වේලක් කෑවත් සමහරවිට අපිට ඊළඟ දවස් ටිකේ බඩගින්නේ ඉන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි කෑවත් මැරෙනවා, නොකෑවත් මැරෙනවා. අපිට සල්ලි තිබුණත් මැරෙනවා, නොතිබුණත් මැරෙනවා. අපි අරගල කරත් මැරෙනවා, නැතත් මැරෙනවා.

“සබ්බේ සත්තා මරිස්සන්ති
මරණන්තං හි ජීවිතං
යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා
නිරයං පාපකම්මන්තා
පුඤ්ඤකම්මා ච සුග්ගතිං.”

“හැම සත්වයෙක්ම මැරිල යනවා. ජීවිතේ කෙළවර මරණයයි. පින් පව්වල විපාක අරගෙන, කර්මානුරූපව ගමනෙ යනවා. පව් කළ උදවිය නිරයේ යනවා. පින් කළ උදවිය සුගතියේ යනවා.”

(අය්‍යකා සූත්‍රය – සං. නි. 1)

මේක තමයි අපේ ජීවිතේ තියෙන ඇත්ත.

එසේනම්, මොන මොන ආකාරයේ විපත්වලට අපිට මුහුණ දෙන්න සිදු වුණත් සැබෑම විපත හටගන්නේ බාහිර පරිසරයෙන් හෝ බාහිර පුද්ගලයකුගෙන් හෝ නෙවෙයි, අප තුළින් ම යි. එනම්, තමන් තමන්ගේ සීලයට හානි පමුණුවාගෙන සීල විපත්තියට පත් වීමයි. සිත කිලිටි කර ගනිමින් චිත්ත විපත්තියට පත් වීමයි. දෘෂ්ටිය විපරිත කර ගනිමින් දිට්ඨි විපත්තියට පත් වීමයි.

එනිසා, අඩුපාඩු -අසරණකම් – අසාධාරණකම් – අහිමිවීම් – නොලැබීම් – අගහිඟකම් – අර්බුද මේ හැමදේම අබියස… ඔබත් බුදුරජාණන් වහන්සේ නම් වූ උතුම් මනුෂ්‍ය රත්නය සරණ යමින් මේ අසාධාරණකම් හා තාඩන පීඩන දුක් දොම්නස්වලින්, කඳුළු සාගරවලින් පිරී තියෙන සසර ගමන නවතන ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය සරණ යන්න. සදහටම සියලු දුකින් මිදී සියලු අර්බුද අබියස ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලී සිටි ඒ නිකෙලෙස් මුනිවරයන් වහන්සේලා සරණ යන්න. ඒ තුනුරුවනම සිහිකරමින් සීල විපත්තියට පත් නොවී සීල සම්පත්තිය උපදවා ගන්න. චිත්ත විපත්තියට පත් නොවී චිත්ත සම්පත්තිය උපදවා ගන්න. දිට්ඨි විපත්තියට පත් නොවී දිට්ඨි සම්පත්තිය උපදවා ගන්න.

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේනමක් විසිනි.