මේ අපූරු විස්තරය තියෙන්නේ මිළිඳු රාජ ප්‍රශ්නය නම් දහම් සංවාදය තුළයි. සත්වයකු ගැබ් ගැනීම ගැන අපගේ නාගසේන මහරහතන් වහන්සේ මිළිඳු රජුට පහදා දුන්හ. එය සතර ආකාරයකින් සිදු වෙයි. ඒවා ඉගෙන ගෙන තිබීම වටිනා දෙයකි. විශේෂයෙන් දරුවන් පතනා මව්පියවරුන්ට මෙම විස්තරය තුළින් යම් අස්වැසිල්ලක් ලැබෙන බව නම් නොඅනුමාන ය.
දරුවන් ගැබ් ගන්නා සතර ආකාරය යනු කුමක් ද?

1. කර්මානුරූප වශයෙන්
2. යෝනි වශයෙන්
3. කුල වශයෙන්
4. ආයාචනා වශයෙන්

මේ උපත් හතරට ම කර්මය නම් මුල් වන්නේ ම ය.

1. කර්මානුරූප වශයෙන් දරු උපත් සිදුවන්නේ කෙසේ ද?

මෙය අපූරු සංසිද්ධියකි. කුසල් මුල් බලවත් සත්වයන් හට කැමති තැනක උපත ලබාගත හැකි ය. ඕනෑම පවුලක, ඕනෑම කුලයක, ඕනෑම විදිහට උපදින්නට පුළුවන. බිත්තරයක් තුළ හෝ මව් කුසේ හෝ තෙත පරිසරයේ හෝ ඕපපාතික ව උපදින්නට පුළුවන. එය මේ වගේ ය. ධනයෙන් ආඪ්‍ය වූ, මහත් වූ භව භෝග රන් රිදී ඇති, බොහෝ නෑදෑ හිතමිතුරන් ඇති ධනවතෙකුට යමක් කැමති නම් ඒ කැමති දේ දෙගුණයක් මුදල් දී හෝ ගන්නට හැකි ය. මක් නිසා ද යත්, ඔහු ධනවතෙකු බැවිනි. අන්න ඒ වගේ ම යි උපදින්නට සිටින සත්වයා පිනෙන් බලවත් නම් ඕනෑම පවුලක, ඕනෑම අම්මා කෙනෙක් ළඟ, ඕනෑම විදිහට උපදින්න පුළුවන. එවැනි උපත් සඳහා උදාහරණ ගෙන බලමු.

මිනිස් දරුවෝ බිත්තර තුළත් උපදිති

අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කාලයේ පාටලීපුත්‍ර නගරයේ වැද්දෙක් මහා වනයේ යද්දී කුන්ත නම් කිඳුරියක් දැක, ඈ සමඟ අඹුසැමියන් ලෙස හැසිරුණේ ය. එයින් ගැබ් ගත් කිඳුරිය කිඳුරු බිත්තර දෙකක් වැදුවා ය. එම බිත්තර ක්‍රමයෙන් මෝරා එයින් මිනිස් දරුවන් දෙදෙනෙකු බිහි විය. වනයේ වැඩුණු ඔවුහු කිඳුරන් හා තමන්ගේ වෙනස දැක කලකිරුණු සිත් ඇතිව මහා වරුණ තෙරුන් ළඟට විත් පැවිදි ව රහත් වූහ. ඒ දෙදෙනා වහන්සේ ‘තිස්ස’ හා ‘සුමිත්ත’ නම් වූහ. (මේ ගැන මහාවංශයේ ද විස්තර ඇතුළත් ය.) මේ වනාහි අණ්ඩජ උපත යි. ඒ දරුවන්ගේ කර්ම ශක්තිය අනුවයි සිදුවන්නේ. ඒ නිසා දරු උපතකට අම්මා තාත්තා පමණක් ම වගකිව යුත්තෝ නොවෙති. දරුවාගේ කර්ම ශක්තියෙන් බිත්තරයක් තුළ ඉපදුණි නම් මිනිස් මව්කුසක උපදින්නට නොහැක්කේ මන්ද?

තෙත් පරිසරයක් වූ පියුම් ගැබේ උපන් මිනිස් දරුවෝ

අතීතයේ පද්මාවතී නම් බිසවකට මාතෘ පදවිය දෙමින් නෙළුම් මල් පන්සියයක දරුවන් පන්සියයක් උපත ලබා පසු කල පසේබුදු බවට පත් වූ විස්තර ඔබ අසා ඇත. තවත් පුදුම විස්තරයක් මෙසේ ය. කාශ්‍යප බුද්ධ ශාසනයේ බොහෝ පින් කළ අයෙක් දෙව්ලොව උපත ලබා බොහෝ සැප සම්පත් වින්දේය. මව්කුසක ඉපදීමේ දුක නිතර හිතන ඒ දෙවියා එයින් චුත වී හිමාලයේ මහ විලක නෙළුම් මලක උපන්නේ ය. මෙම නොපිපෙන විශාල මල් කැකුළ දුටු තපස් කෙනෙකු එය ගෙන ඒ තුළ හුන් දරුවා දැක දරුවා රැගෙන පෝෂණය කරවා ත්‍රිවේදය ඉගැන්වී ය. පසු කලෙක ඔහු කොසොල් රජුට භාර දුන්නේ ය. ඒ දරුවා ‘පොක්ඛරසාති බ්‍රාහ්මණයා’ නමින් ප්‍රසිද්ධ විය. ඔහුගේ අතුල් පතුල් රෝස පාට ය. කෙස් නිල් පාට ය. අතිශයින් සොඳුරු රූපශ්‍රීයක් ලැබී ය. උක්කට්ඨා ජනපදයට අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ දිනක ධර්මය අසා ඔහු සෝවාන් විය. මේ තෙත් පරිසරය තුළ වූ, එනම් සංසේදජ උපතක් ය. ඒ දරුවාගේ කුසල් ශක්තිය අනුවයි එසේ වූයේ, නෙළුම නිසා නොවෙයි. ඒ අනුව ද දරු උපතකට අම්මා තාත්තා පමණක් ම වගකිව යුතු නො වේ. පියුම් ගැබෙන් දරුවෝ උපන්නා නම් මිනිස් මව්කුසේ නූපදින්නේ මන්ද?

ඕපපාතික ව උපදින මිනිස් දරුවෝ

මේ ගැන කවුරුත් දනිති. අපගේ භාග්‍යවතුන් වහන්සේ ද මිනිස් දරුවන් ඕපපාතික ව ද උපදින බව වදාළ සේක. අම්බපාලී එසේ උපන් කුමරියකි. ඈ විශාලා මහනුවර රාජ අඹ වනයේ අඹ රුකක් මුල දහසය හැවිරිදි කුමරියක් සෙයින් පහළ විය. සසරේ කළ ආර්ය උපවාදයකින් ගණිකාවක් වන්නට සිදු විය. ඇයගේ කුසින් උපන් ‘විමල කොණ්ඩඤ්ඤ’ කුමරු සසුනේ පැවිදි ව රහත් විය. ඇය ද අවසන් කාලයේ පැවිදි ව කෝටියක් පව් නසා අරහත්වයට පත් වූවා ය. ඕපපාතික උපත් ලංකාවේ පවා සිදු වූ කතා අටුවාවල සඳහන් ව තිබේ. මෙසේත් උපදී නම් මිනිස් මව්කුසක උපදින්නේ නැත්තේ මන්ද? දරු උපතකට අම්මා තාත්තා පමණක් නොව ඒ පවුලට එකතු වන දරුවාගේ කර්ම ශක්තිය ද බලපාන බව සිහි තබා ගත යුතු ය.

මෙසේ උපතක් කරා එන සත්වයාගේ කුසල් මුල්වල බලවත්කම මත තමා කැමති තැනක, කැමති පවුලක, කැමති දෙමාපියන් ළඟ, කැමති ප්‍රදේශයක, කැමති ආකාරයෙන් උපත සිදු වන්නේ ය. මෙය පළමු ගැබ් ගැනීමේ ක්‍රමය යි.

2. යෝනි වශයෙන් ගැබ් ගැනීම

කිකිළියක් ගැබ් ගැනීමට සුළඟ අවශ්‍යය යි. කෙකිණිය අහස ගෙරවුම් හඬින් ගැබ් ගනී. දෙවියන් ඕපපාතික ව ය. මව්කුසක නොනිදයි. මිනිසුන් ද නා නා වර්ණයෙන් උපත ලබයි. සාමාන්‍යයෙන් ස්වභාවික මිනිස් උපතකට කරුණු තුනක් බලපානු ලබයි.

i. අඹු සැමියන්ගේ එක් වීම.
ii. මව ඍතුවන කාන්තාවක් වීම.
iii. ගන්ධබ්බයාගේ පැමිණීම. (උපතක් පිණිස සත්වයකුගේ පැමිණීම)

මේ තුන් කරුණු මුල් කරගෙන සාමාන්‍ය මිනිස් උපතක් සිදු වේ. ඒ ඒ සත්ව නිකායවල සිදුවන පොදු උපත ගැන මෙහි දී විස්තර වේ.

3. කුල වශයෙන් ගැබ් ගැනීම

කුල සතරකි.

1. අණ්ඩජ (බිත්තරයක් තුළ උපත), 2. ජලාබුජ (මව්කුස තුළ උපත), 3. සංසේදජ (තෙත් පරිසරයක උපත), 4. ඕපපාතික (මුල් ක්‍රම තුනෙන් තොරව පැමිණේ නම් ඔහු ඕපපාතික ව උපදී.)
මේ ආකාරයට අණ්ඩජ, සංසේදජ, ජලාබුජ, ඕපපාතික ඒ ඒ ආකාරයෙන් කොයි ලෝකයෙන් ආවත් උපදින කුලය අනුව ඒ කුලයට ආවේණික ලක්ෂණ ඔහුට හිමි වෙයි. මිනිස් ලොව අම්මාගේ තාත්තාගේ ආරේ, ගති ලක්ෂණ දරුවන්ට බලපාන්නේ මේ න්‍යාය නිසයි. මේ ගැනත් දැනගෙන සිටීම වටී.

4. ආයාචනා ක්‍රමය (ආරාධනා කරමින් දරුවන් ලැබීම)

මෙන්න ඔබටත් අස්වැසිල්ලක් ලැබෙන සිද්ධියක්. නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මෙහිලා දරුවන් නැති කුලයක් වෙයි. බොහෝ ධන ධාන්‍යය ඇත්තෝ ය. සැදැහැ ඇත්තේ වෙයි. සිල්වත් වෙයි. කලණ දහම් ඇත්තෝ වෙයි. තපස් ඇත්තේ වෙයි (පව් දුරු කරන අය යි.) දේව පුත්‍රයෙක් ද බලවත් කුසල මූල ඇත්තේ චුත වන්නට ආසන්න වූයේ වෙයි. එකල්හි සක් දෙවිඳුන් ඒ දරුවන් නැති කුලයට අනුකම්පාවෙන් ඒ දෙව් පුතුට ආයාචනා කරයි. ‘දිව්‍ය පුත්‍රය. අසවල් පවුලේ අසවල් බිරිඳගේ කුසේ උපදින්න සිතා ගනුව. ඔබට බොහෝ ලෝක ශාසනික සේවයක් කළ හැක. පින් කළ හැක. කලණ මිතුරන් හමුවනු ඇත. යන්න, එහි උපදින්න.’ ඒ දිව්‍ය පුත්‍රයා ඒ ඇරයුමින් ඒ පවුලේ උපත ලබයි. උපමාවක් කීවොත්; පින් කැමති මිනිසුන් මනෝභාවනීය ශ්‍රමණයන් වහන්සේනමක් තම නිවසට කැඳවා ගන්නේ යම් සේ ද ඒ හේතුවෙන් ඔවුන්ට බොහෝ සැප ලැබෙන්නේ යම් සේ ද සක් දෙවිඳුගේ ආරාධනාවෙන් දරුවන් නැති පවුලට පින්වත් දරුවෙකු ලැබීමෙන් බොහෝ සැප උදා වන්නේ ය.”

මේ විදිහට දෙවිවරු මැදිහත් වී පින්වත් දරුවෙකු කැමැත්තෙන් මව්කුසකට එද්දී ඒ දෙමාපියන් අඹු සැමි ඇසුරක ම සිටිය යුතු නැත. එකිනෙකා අතින් අල්ලා සිටීම, වැළඳ ගැනීම, එකිනෙකා සිනාසීම, කතා කර කර සිටීම, සිතින් සිත සිතා සිටීම මව්පියන් එක් වීම ගණයට වැටෙන බව රහතන් වහන්සේ විස්තර කළ සේක. උන්වහන්සේ මෙසේ වදාළ සේක.

“මහරජ, කාම සේවනය නොකළ ද පරාමර්ශනයෙනුත් ගැබ් ගැනීම සිදු වෙයි. මහරජාණෙනි, ගින්නක් දැල්වෙන කල්හී එය පරාමර්ශනය නොකළත් ළඟට ගිය පමණින් ශීතල නැතිව යයි. එසෙයින් ම, මහ රජතුමනි, කාම සේවනය නොකළ ද පරාමර්ශනයෙනුත් ගැබ් ගැනීම සිදු වෙයි.”

මෙසේ වන්නේ ස්ව කැමැත්තෙන් කුසේ උපදින්නට එන පින්වත් සත්වයා නිසා බවත් සිහි කළ යුතු ය. සාම කුමරු සේ උපදින්නට පැමිණි දිව්‍ය පුත්‍රයා දුකුල තාපසයා විසින් පාරිකා තාපසියගේ නාභිය ඇඟිල්ලෙන් ස්පර්ෂ කරන තෙක් බලා ඉඳ එපමණකින් කුස පිළිසිඳ ගත්තේ ය. ඔවුන් අඹුසැමියන් ලෙස නොහැසිරී ම, සාම කුමරුන් බිහි විය. මෙසේ කුස රජු, මහා පනාද රජු ආරාධනයෙන් මව් කුසට පැමිණි විස්තර සඳහන් ය. පැමිණෙන කෙනාගේ (ගන්ධබ්බයාගේ) කුසල් ශක්තිය ඉදිරියේ මව්පියන්ගේ අඹු සැමි ඇසුරත් බලපාන්නේ නැත්නම් වෙනත් අඩුපාඩු කෙසේ බලපාන්ට ද?

නමුත් සක් දෙවිඳුන් වැනි බලවත් දෙවිවරු මැදිහත් වන්නේ දරුවන් නැති දෙපළ ශ්‍රද්ධාවන්ත නම් පමණයි. සිල්වත් බව, යහපත් ගතිගුණ, පව් දුරුකරන බව, ධනවත් බව බලත්. ධනවත් යනු වීර්යවන්ත ව නැගී සිටින පවුලක් වීම ය. හීන, කුසීත, ඔතෑනි පවුල්වල පින්වන්ත දරුවන් බිහිවෙනවා අඩු ය. දෙවියන් ඒ දෙස නොබලයි. ඒ වගේ ම චුත වෙන්නට ආසන්න දෙවියෙක් ඉන්ටත් වුවමනා ය. එනිසා ඒ පින්වත් දෙපළට ඉවසීම අත්‍යවශ්‍ය කාරණයකි. මක් නිසා ද මේ සියල්ල එක්විය යුතු බැවිනි. ඔබ වෙනුවෙන් දෙවි කෙනෙක් ආරාධනා කරන, ඒ වගේ ම ඔබගේ පවුල දැක දෙවි කෙනෙක් කැමැත්තෙන් ම ඉදිරිපත් වන ගුණවත් පවුලක් වීම වැදගත් කාරණයකි. බොහෝ දෙනා “දරුවන් නෑ” කියමින් වෛද්‍ය ක්‍රම හා දේවාල පිටුපස දුවනවා විනා ගුණවත්කම් හදාගන්නේ නැත. ඔවුන් කවදා නම් දරුවන් ලබන්ට ද?

තවත් ක්‍රමයක්

නාගසේන මහරහතන් වහන්සේ මෙසේ විස්තර කළ සේක. එනම් අතීතයේ ඍෂිවරුන්ගේ ශාප නිසා ජනපද විනාශ වූ බවයි. දේව ශාප නිසා ඇතැම් ජනපද, මිනිසුන් විනාශ වූ බවයි. එසේ, තිබෙනා දේවල් චිත්ත ශක්තියෙන් නැති කළ හැකි නම්, චිත්ත ශක්තියෙන් – සත්‍යක්‍රියා බලයෙන් යමක් ඉපැද්දවිය නොහැකි දැයි විස්තර කළ සේක. ඒ නිසා, නිතර දෙවිවරු ගැවසෙන මහානුභාව සම්පන්න මහා සෑය, මහා බෝධිය වැනි උතුම් ස්ථානවල සත්‍යක්‍රියා, වන්දනා, සීල සමාදාන, පුණ්‍යකර්ම කළ යුතු ය. සත්‍යක්‍රියා කරන්නට තමා අඛණ්ඩ ව පුරුදු කරගෙන ආ ගුණ තියෙන්න වුවමනා ය. නැති නම්, ‘දැන් පටන් මං මේ වැරැද්ද කරන්නේ නෑ” කියා සමාදන් ව කාටත් නොකියා අල්පේච්ඡ ව පුරුදු කළ යුතු ය. අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ මහා සත්‍යක්‍රියාව නිතර සිහි කළ යුතු ය. තමාගේ ගුණධර්ම ද සිහි කළ යුතු ය. ඉවසීම, කරුණාවන්ත බව, සිල්වත් බව, පසුනොතැවීම, ශෝකයෙන් නොසිටීම, පින් කිරීම වැනි දෙවියන් ප්‍රිය කරන ගුණ දියුණු කළ යුතු ය. මෛත්‍රිය නිතර පුරුදු කළ යුතු ය. සමාජ උපවාද ඉවසිය යුතු ය. තිසරණය රැකගත යුතු ය. දරුවන් බලාපොරෙත්තු වන ස්වාමියා, බිරිඳ දෙදෙනා ම මේවා සිතට ගත යුතු ය. ඔබගේ ජීවිතයට පින්වත් දරු සම්පතක් ඉන් ලැබෙනු ඇත.

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි