ධීර වීර ගාමණී අභය රජතුමා

පින්බර විහාර මහදේවියගේ, සුන්දර සිහිනය මල්ඵල ගැණුනේ…

විහාර මහාදේවිය සුදුසු කාලයේදී උතුම් පුණ්‍ය ලක්ෂණ ඇති ශ්‍රේෂ්ඨ පුත් කුමරෙක් බිහි කළාය. උතුම් පුත් කුමරුගේ බිහි වීම රජ පවුල තුළ මහත් ආනන්දයක් ඇති කළේ ය. ඒ කුමරාගේ පුණ්‍යානුභාවයෙන් උපන් දවසේ ම නොයෙක් මැණික් වර්ගයන්ගෙන් පිරුණු නැව් සතක් ඒ ඒ තැනින් මාගම්පුර වරායට පැමිණුනි. කුමරුගේ පුණ්‍ය තේජසින් ඡද්දන්ත කුලයේ ඇතෙක් ඇත් පැටියෙකු ගෙනවිත් තබා ගියේය. කණ්ඩුල නමැති මසුන් මරන්නා මුලින් ම දැක රජුට දැනුම් දුන් නිසා ඒ ඇත් පැටියාට ‘කණ්ඩුල’ යන නම තැබීය. පුත් කුමරාගේ නම් තබන මංගල්‍යයට කාවන්තිස්ස රජතුමා දොළොස් දහසක් භික්ෂූන් වහන්සේලාට ආරාධනා කළේය. එහි දී රජතුමා මෙසේ සිතුවේය. ‘ඉදින් මා පුතු ලක්දිව පරසතුරු උවදුරු ඉවත් කර, ලංකා රාජ්‍යයේ හිමිකරු වී උතුම් බුද්ධ ශාසනය බබුළුවනවා නම්, භික්ෂූන් වහන්සේලා එක්දහස් අටනමක් ශාලාවට පිවිසෙත්වා..! උන්වහන්සේලා සියලු දෙනා උඩු අතට හරවා ගත් පාත්‍රා ඇතිව සිවුරු පොරවත්වා ..!

ඇතුලට වඩිද්දී පළමුවෙන්ම දකුණු පාදය උළුවස්සෙන් ඇතුළට තබත්වා..! එක් කුඩයකින් යුක්ත වූ පසුම්බියෙන් පෙරහන්කඩය පිටතට ගනිත්වා..! ගෞතම නම් තෙරුන් වහන්සේ පළමුකොට පුත් කුමරා ව පිළිගනිත්වා..! උන්වහන්සේ ම උතුම් තිසරණ පන්සිල් සමාදන් කරවන සේක්වා..!’ යි සිතින් අධිෂ්ඨාන කළේ ය. ඒ සියල්ලක් ම සිතූ පරිදි ම වූ නිසා රජතුමා ඉතා සතුටට පත් වුණි.

ගැමුණු අභය ලෙසිනි ය නම ලැබුණේ, උදාර අදහස් සිත තුළ රැඳුණේ…

භික්ෂූන් වහන්සේලාට කිරිබත් දානය පූජා කළ රජතුමා කුමරාට නම් තබන ලෙස ආරාධනා කළේය. මාගමේ නායකත්වයත්, තම පිය රජු වන ගෝඨාභය රජුගේ ‘අභය’ නාමයත් එකතුකොට කුමාරයාට ‘ගාමණී අභය’ යන නම තැබීය. සුදුසු කාලයෙහි රාජකීය යුවළට තවත් පුත් රුවනක් ලැබුණු අතර පෙර පරිදි ම සඟරුවනට දන්පැන් පුදා දෙවැනි කුමාරයාට ‘තිස්ස’ යන නම තැබූහ. පුත් කුමාරවරුන්ට ඉඳුල් කට ගෑමේ උත්සවයේ දී යළිත් භික්ෂු සංඝයාට කිරිබත් පූජා කළ රජතුමා, උන්වහන්සේලා වැළඳූ පසු ඉතිරි වූ කිරිබත් රන් තැටියකට ගත්තේය. ඉන් පසු විහාර මහාදේවියත් සමඟින් පළමු බත් පිඬ කුමාරවරුන්ට කැව්වේ මෙලෙස පවසමිනි. “දරුවනි, ඉදින් නුඹලා මේ ගෞතම බුදු සසුන අත්හරිනවා නම් මේ අනුභව කරන ආහාරය දිරවන්ට එපා”. ඒ අදහස මැනැවින් තේරුම් ගත් කුමාරවරු අමෘතයක් ලද සෙයින් මහත් සතුටින් එම කිරිබත් අනුභව කළෝය. කුමාරවරු දහ දොළොස් හැවිරිදි වියේදී යළිත් භික්ෂු සංඝයා වළඳවා ඉතිරි වූ කිරිපිඬු කවන ලද්දේ මෙලෙස පොරොන්දු කරවා ගනිමිනි. “දරුවනි, අපගේ කුල දේවතාවුන් වන භික්ෂූන් වහන්සේලා දුටු විට අපි ඉවත බලන්නේ නෑ කියා මේ බත් කොටස අනුභව කරන්න ඕනෑ” කියාය. ගැමුණු කුමාරයා මෙලෙස ක්‍රමයෙන් වැඩී වයස දහසය වෙද්දී පිනෙන්, යසපිරිවරින්, ධෛර්ය සම්පන්න බවින්, තේජෝබල පරාක්‍රමයෙන් යුක්ත විය.

රට දැය රකින බලමුළුවකි සැදෙන්නේ…

නන්දිමිත්‍ර, සුරනිමල, මහාසෝණ, ගෝඨයිම්බර, ථේරපුත්තාභය, භරණ, වේළුසුමන, ඛඤ්ඡදේව, ඵුස්සදේව, ලභියවසභ නමින් මහා බලසම්පන්න යෝධයන් දස දෙනෙක් ගැමුණු කුමාරයාට සිටියෝය. කාවන්තිස්ස රජතුමා මේ දස මහා යෝධයන්ට ද තම පුත්‍ර වූ ගැමුණු කුමාරයාට කරන සත්කාර සෙයින් ම හැම කල්හි ම සම සේ සත්කාර කළේය. රජතුමා එම දස මහා යෝධයන් අමතා, “තෙපි එක් එක්කෙනා යෝධ පුරුෂයන් දස දෙනා බැගින් සොයව්” කියා අණ කළේය. ඔවුහු රාජ අණ පරිදි යෝධ පුරුෂයන් දස දෙනා බැගින් සොයාගෙන විත් රජතුමා ඉදිරියේ පෙනී සිටියේය. ඔවුන් සියලු දෙනාටත් වෙන වෙනම යෝධයන් දහ දෙනා බැගින් සොයාගෙන එන්නට අණ කළේ ය. මෙසේ ක්‍රම ක්‍රමයෙන් යෝධයන්ගේ සේනාව එකොළොස් දහස් එකසිය දහ දෙනෙක් වූහ. කාවන්තිස්ස රජතුමා හැම කල්හි ම ඔවුන්ට සත්කාර සම්මාන ලබා දුන් අතර එම යෝධයන් සියලු දෙනාම ගාමණී අභය කුමරු පිරිවරාගෙන වාසය කළහ.

පිය රජු ඇවෑමෙන් සිහසුන උරුම වෙයි…

කාවන්තිස්ස රජතුමා සිය දිවියේ අවසන් ශාසනික කර්මාන්තය වූ මහානුග්ගල චෛත්‍යය කරවා විසිහතර දහසක් වූ භික්ෂූ සංඝයා වැඩම කරවා ගෞතම බුදු සසුනට පූජා කළේය. හැටහතර වසරක් ජීවත් වූ රජතුමා වෙහෙර විහාර ද හැට හතරක් කරවා අභාවයට පත් වී තුසිත දෙව්ලොව ඉපදුණේය. පිය රජුගේ අභාවයෙන් පසු මාගමට පැමිණි ගැමුණු කුමරු රුහුණු රාජ්‍යයෙහි අභිෂේකය ලබා ඒ වන විට තිස්ස කුමරු භාරයේ සිටි විහාර මහා දේවියත්, කඩොල් ඇතුත් එවන ලෙස පණිවුඩ යැවීය. එනමුත්, තෙවරක් ම ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා සහෝදර තිස්ස කුමරුත් සමඟ සටනට එළඹියේය. පසුව මහා සංඝරත්නයේ මැදිහත් වීමෙන් සමඟි වී රට එක්සේසත් කරන – සසුන නගා සිටුවන ජාතික ව්‍යාපාරය සහයෝගයෙන් මෙහෙයවූහ. එම යුද වැදී සිටි කාලයේදී පසුබැස පලා යමින් සිටිය දී පවා ගැමුණු රජතුමා තම බත්පත ගෝතම තෙරුන් ප්‍රමුඛ සඟරුවනට පිදුවේය.

නිල් දිය කඳ රැඳි වැව් ඉදිකෙරුණේ, සුන්දර කෙත්වතු කරලින් පැසුනේ…

දුටුගැමුණු රජතුමා තිස්ස කුමරුන්ගේ ද සහය ඇතිව කුඹුරු වතුපිටි අස්වද්දා ජනයාට සංග්‍රහ කළේය. ඉන් පසු තම කුන්තායුධයෙහි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වඩා හිඳුවා චතුරංගනී සේනාවෙන් යුක්තව තිස්සමහාරාමයට ගොස් සංඝයාට වැඳ මෙසේ පැවසුවේය. “ස්වාමීනී, ආක්‍රමණික මිසදිටුවන්ගෙන් කිලිටි වූ අනුරාධපුරයේ යළිත් ශ්‍රී සම්බුද්ධ ශාසනය බබුළුවන්ට මට මහවැලි ගඟෙන් එතෙරට යන්ට ඕනෑ. ඒ ගමනේ දී දන් පැන්වලින් උපස්ථාන කරන්ට අපට භික්ෂූන් වහන්සේලා දුන මැනව. එයින් අපට භික්ෂූන් වහන්සේලා නිති දැකීම නමැති මංගල කාරණය සිද්ධ වෙනවා. නිතර කරන සංඝෝපස්ථානය නිසා ඒ පිනෙන් ආරක්ෂාවත් ඇතිවෙනවා.” සැදැහැති රජුට අනුග්‍රහ පිණිස සංඝයා රහතන් වහන්සේලා පන්සියනමක් ලබා දුන් අතර රජතුමා අපමණ සතුටින් ඉදිරියට ඇදුණි.

උදාර අදහස් සිත තුළ රැඳුණේ…

‘මාගේ මේ ව්‍යායාමය කිසි කලකත් රජසැප පිණිස නොවේ. ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ය’ යන අවංක චේතනාවෙන් ඉදිරියට ඇදුණු ගැමුණු රජතුමා මහියංගණය ජයගෙන මියුගුණ සෑ රදුන් අසූරියන් කොට බඳවා පූද පූජා පැවැත්වීය. සිය මව් දේවියගේ දූරදර්ශී උපක්‍රමශීලී උපදෙස් ද දස මහා යෝධයන් ප්‍රමුඛ සේනාවේ යුද ශක්තිය ද සිය තේජාන්විත නායකත්වය ද පුණ්‍ය බලය ද ඒකාත්මික කර ගත් ගාමණී අභය රජතුමා සතුරු බලකොටු එකිනෙක බිඳ හෙළීය. අනුරාධපුරය ද ජය ගත් රජතුමා අවසාන ද්වන්ධ යුද්ධයෙන් එළාර රජු පරදා ලංකාද්වීපය එක්සේසත් කරන ලදී.

මිරිසවැටිය බුදු සසුනට පිදුනේ, පින්බර ආසිරි ලැබ සඟරුවනේ…

ඉන් පසු පුරා සූවිසි වසරක් ස්වෛරී ලංකා රාජ්‍යයේ රජ කිරුළ හෙබවූ ගැමුණු මහ රජු සර්වඥ ධාතු සහිත රාජකීය කුන්තායුධය තැන්පත් කර මිරිසවැටිය දාගැබ ඉදිකරන ලදී. ඒ චෛත්‍යය වටා ආරාමයක් කරවූ සැදැහැති රජතුමා භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් ද භික්ෂුණීන් වහන්සේලා අනූ දහසක් ද මධ්‍යයේ අතපැන් වත් කොට සසුනට පිදුයේ මෙසේ පවසමිනි. “ස්වාමීනී, එක ම දිනක් සංඝයා ව සිහි නොකොට මා මිරිස් වැටියක් අනුභව කළා. ඒ වරදට මට දඬුවමක් වේවා! යි කියා ඉතා මනහර ලෙස චෛත්‍යය සහිත ව මිරිසවැටි විහාරය කරවූයෙමි. අපගේ සංඝයා වහන්සේ මේ විහාරය පිළිගන්නා සේක්වා..!” කියා ය. විහාර පූජාව පිණිස වැඩම කළ උභතෝ සංඝයාට අත්‍යාලංකාර මණ්ඩපයක් කරවා පුරා සතියක් ප්‍රණීත දන්පැන් පූජා කළ රජතුමා සියලු ම දෙනා වහන්සේට පරිෂ්කාරයන් ද පුදා අපමණ පින් රැස් කළේය.

සඟරුවනට සිල් පුරන්නට පොහොය ගෙයක් තනවන්නට සිතුණේ…

රන් පත්ඉරුවක ලියා රජ මාලිගයේ තැන්පත් කර තිබූ, දේවානම්පියතිස්ස නිරිඳුන්ට මිහිඳු මාහිමියන් පැවසූ අනාවැකියක් පිනැති රජතුමාට දැකගන්නට ලැබුණු අතර එහි මෙසේ ලියා තිබුණි. ‘මහරජතුමනි, ඔබගේ මුණුපුරෙකු වන දුටුගැමුණු නමැති මහා පිනැති රජතුමා, අනාගතයේ එක්සිය විසිරියනක් උස ඉතා මනරම් ස්වර්ණමාලි නම් මහා ස්ථූපයක් කරවන්නේය. එමෙන් ම ලෝවාමහා ප්‍රාසාදය නම් අලංකාර නව මහල් පොහොය ගෙය ද කරවන්නේ ය.’ යනුවෙනි. එම අනාගත වාක්‍යය දැක අපමණ සතුටට පත් රජතුමා, ඍද්ධිමත් රහතන් වහන්සේලා දෙව්ලොවට වැඩමවා, භරණී නම් දෙව්දුවගේ විමානයෙහි සැලැස්ම ගෙන්වා ගත්තේ ය. එම සැලැස්මට අනුව ලෝවාමහා ප්‍රාසාදය ඉදිකරවූ ගැමුණු රජතුමා සියලු සේවක කාරකාදීන්ට මනා ලෙස බත් වැටුප් ද ලබා දුන්නේය. ලෝවාමහා ප්‍රාසාදයේ වැඩ අවසන් කළ රජතුමා සංඝයා වහන්සේ වැඩමවා දින හතක් මහ දන් දී ප්‍රාසාදය සඟ සතු කොට පූජා කළේය. ඒ ශ්‍රේෂ්ඨ වූ මහා ප්‍රාසාදය මහල් නවයකින් යුක්ත වූ අතර එක් එක් මහල කූටාගාරයන් සියයකින් සමන්විත විය. එහි පළමු මහලේ මග ඵල නොලැබූ නවක භික්‍ෂූන් වැඩ සිටිද්දී දෙවන මහලෙහි ත්‍රිපිටකධාරී සිල්වත් බහුශ්‍රැත භික්‍ෂූන් වැඩ සිටි සේක. සෝවාන් ආදී මාර්ගඵලලාභී භික්‍ෂූන් වහන්සේලා පිළිවෙළින් තෙවැනි, හතරවැනි, පස්වැනි, මහල්වල වැඩසිටියහ. එතැනින් උඩ තිබූ මහල් සතරේ නික්ලේශී උත්තම මහරහතන් වහන්සේලා වැඩ සිටි සේක.

– සුවඳ කුටිය සේ ගෞතම සසුනේ, ස්වර්ණමාලි සෑ රජු දිලුනේ…..

ඉන් පසු මහා පින් ඇති ගැමුණු රජතුමා, ගෞතම බුදු සසුනේ මුදුන් මල්කඩ වන්, ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා දරා වැඩ සිටින ස්වර්ණමාලිී මහා සෑ රජාණන් ඉදිකිරීම ආරම්භ කළේය. ඇසළ පුන් පොහෝ දිනක කෝටි සංඛ්‍යාත සඟරුවන මධ්‍යයේ, මහත් වූ පුද පූජාවන් සහිතව අපමණ සැදැහැයෙන් මංගල ගඩොල ප්‍රතිෂ්ඨාපන පින්කම සිදු කළේය. ඒ මොහොතේ පියදස්සී මහරහතන් වහන්සේ සිදු කළ දම් දෙසුම ඇසූ හතළිස් දහසක් ජනයා සෝවාන් ඵලයට පත් වූ අතර දහස බැගින් සකදාගාමී ඵලයත්, අනාගාමී ඵලයත් සාක්ෂාත් කළහ. ගිහි පිරිසේ දහසක් දෙනා උතුම් රහත් ඵලයට පත් වෙද්දී දහඅට දහසක් භික්‍ෂූන් ද දහහතර දහසක් භික්‍ෂුණීන් ද උත්තම අරහත්වයට පත් වූ සේක.

බුද්ධානුභාවයෙන් ද, සංඝානුභාවයෙන් ද, දේවතානුභාවයෙන් ද, ඍද්ධියානුභාවයෙන් ද, රාජානුභාවයෙන් ද, පුණ්‍යානුභාවයෙන් ද සුසැදි ව ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ ඉදි කිරීම් කටයුතු සිදු විය.

සෑ ගර්භයේ උතුම් ධාතු නිධානෝත්සවයට සුදුසු කල් පැමිණියේය. අප භාග්‍යවතුන් වහන්සේගේ අතීත බෝසත් චරිතාපදානයන් ද සම්බුදු සිරිතේ අසිරිමත් සංසිද්ධීන් ද සෑ ගර්භයේ විසිතුරු ලෙස නෙළා තිබුණි. ඍද්ධිමත් සෝණුත්තර මහරහතන් වහන්සේ නා ලොවින් ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා ධාතු ගර්භයේ තැන්පත් කිරීම පිණිස වැඩමවාගෙන එන ලදී. දෙව් – බඹුන්ගේ ද නාග – ගාන්ධර්ව යක්ෂ ආදීන්ගේ ද ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ද අප්‍රමාණ පූජා සත්කාර, පංචතූර්ය නාද මධ්‍යයේ ගාමණී අභය මහරජු ධාතු කරඬුව දෝතට ගෙන හිසෙහි තබා ගත්තේ ය.

– අසිරිමත් ය අප සම්බුදුරජාණන්…

එකෙණෙහි ම අසිරිමත් ලෙස අහසට පැන නැගී ඉබේ ම විවෘත වූ ස්වර්ණමය කරඬුවෙන් ධාතුන් වහන්සේලා අහසට වැඩමකර දෙතිස් මහා පුරුෂ ලකුණින් යුතු සම්බුද්ධකාය මැවිණි.

පිරිනිවන් මංචකයේදී භාග්‍යවතුන් වහන්සේ කළ අධිෂ්ඨානය පරිදි අහස් තලයෙහි යමක මහා ප්‍රාතිහාර්යය දැක්වුණි. ඒ අසිරිමත් පෙළහර දුටු දොළොස් කෝටියක් දෙව් මිනිසුන් බුද්ධානුස්සතිය තුළින් එකඟ වූ සිත් ඇතිව උතුම් අරහත් ඵලයට පත් වුණි. ගණනින් අතික්‍රාන්ත පිරිසක් උතුම් මග ඵල සාක්ෂාත් කළහ. යලි කරඬුවට වැඩමකොට රජතුමාගේ සිරසෙහි පිහිටි ධාතූන් වහන්සේලා ද සමඟින් අපමණ සැදැහැයෙන් සම්බුදු ගුණ ගයමින් තෙවරක් මහරජු ගර්භය පැදකුණු කළේය. ඉන් පසු සුවඳ ජලයෙන් අත් සෝදාගත් රජතුමා අති මහත් වූ ගෞරවයෙන් ධාතූන් වහන්සේලා දෝතට වැඩමවාගෙන මෙසේ අදිටන් කළේය. ‘දෙව් මිනිසුන්ට හිතසුව පිණිස, මේ ධාතුන් වහන්සේලා මේ මනරම් සයනයෙහි සම්බුදුරජුන් පිරිනිවන් මංචකයේ සැතපී සිටි අයුරින් සැතපී වදාරණ සේක්වා!’

එය ඒ අයුරින් ම සිදු වෙද්දී ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් මහපොළොව කම්පා විය. අපමණ බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩී ගිය සැදැහැති රජු සේසතින් පුදා ලක්දිව රාජ්‍යයෙන් සත් දවසක් ධාතූන් වහන්සේලා පිදීය. තම කයේ පැළඳ සිටි කහවණු තිස් ලක්‍ෂයක් වටිනා රාජාභරණ ද ධාතු ගර්භයට පූජා කළේය.

– මේ රැස්කරනා පින එනවා ම යි, සෙවණැල්ලක් සේ පසුපස්සේ…

ගැමුණු රජතුමාගේ සූවිසි වසරක් වූ රාජ්‍ය සමය තුළ විහාර අනූනවයක් කරවා සසුනට පිදීය. කොත්මලේ සැඟවී සිටි අවධියේ සිය කුණ්ඩලාභරණ තලා විකුණා රහතන් වහන්සේලා පස්නමකට පිණ්ඩපාත දානය පූජා කළේය. වෙසක් මහා පූජෝත්සව විසි හතරක් පැවැත්වීය. ලක්දිව පුරා වැඩ සිටි සියලු ම සංඝයා වහන්සේට තුන් වරක් ම තුන් සිවුරු පූජා කර ගත්තේය. ලංකා රාජ්‍යය දින හත බැගින් පස් වතාවක් ගෞතම බුද්ධ ශාසනයට පූජා කළේය. ගිතෙලින් පොඟවා ගත් ඉතා පිරිසිදු පහන්වැටි යොදා දොළොස් ස්ථානයක භාග්‍යවතුන් වහන්සේ උදෙසා පහන් දැල්වීය. දහඅට ස්ථානයක නිරතුරුව ම වෛද්‍යවරුන් යොදවා ගිලන් ආහාරත්, බේත්හේත් ආදියත් පරිත්‍යාග කළේය. එමෙන් ම සතළිස් සතර තැනක කිරිබත් සමඟ මී පැණි, ගිතෙල් ආදියත්, ගිතෙලින් බදින ලද මහදැල් කැවුම් ආදියත්, බත් වෑංජනත් පරිත්‍යාග කළේය.

– නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි…

මාසයක් පාසා පොහෝ දිනවල අටමහා විහාරවලට බණ අසන්ටත්, පූජා පිණිසත් පහන් ද තෙල් ද පිදුවේය. ආමිස දානයට වඩා ධර්ම දානය බලවත් නිසා ලක්දිව පුරා ඇති විහාරවල ධර්ම දේශකයන් වහන්සේලාට සත්කාර කරවා ධර්ම දේශනා කරන්නට සැලැස්වීය. ධර්ම කථිකයන් වහන්සේලාට ගිතෙල්, පැණි, සූකිරි නැළි ගණන් පූජා කළේය. මිහිරි වැල්මී ද මිටි ගණන් පූජා කළ අතර සිවුරු පිණිස වස්ත්‍ර යුගලය බැගින් ද පූජා කළේය.

– මහ සෑ මළුවෙදි දෙව්ලොව වැඩියේ…

මෙබඳු මහා පින්කම් කළ ගාමණී අභය රජතුමා ආයු ගෙවී ගොස් ස්වර්ණමාලී මහා සෑ මළුවේදී, මරණාසන්න ව වැතිර සිටිමින් සිය මලණුවන්ට මෙසේ පැවසීය. “පින්වත් තිස්සයෙනි, ස්වර්ණමාලී මහා සෑයට උදේ – සවස මල් පූජා කොට දවසට තුන් වරක් උපහාර පූජා පවත්වන්නට ඕනෑ. මා බුද්ධ ශාසනයට පවත්වන ලද යම් පූජා, දානමානාදිය ඇද්ද, ඒ සියල්ල නොපිරිහෙලා ඉටු කරන්න ඕනෑ. එමෙන් ම සංඝයාගේ කටයුතුවලදී හැමවිට ම අප්‍රමාදී වෙන්නත් ඕනෑ.” කියා ය. ඉන් පසු ථේරපුත්තාභය තෙරුන් ඇතු`ඵ උත්තම රහතන් වහන්සේලාගේ පිරිත් සජ්ඣායනය මැද, ස්වර්ණමාලී සෑ රජුන් දෙස දෑස් දල්වාගෙන ගැමුණු රජතුමා අවසන් හුස්ම හෙළී ය. නිදා පිබිදියාක් මෙන් තුසිත දෙව්ලොව සිට පැමිණ තිබූ දිව්‍ය රථයේ ඉපිද විමානය පිටින් ම සෑ රජාණන් තෙවරක් පැදකුණු කොට දෙව්ලොව ගියේ ය.

ගාමණී අභය දෙව්පුතු අනාගතයේ පහළවන මෛත්‍රී බුදුරජුන්ගේ දකුණත් සව් වන්නේය. පියා වූ කාවන්තිස්ස රජුත්, විහාරමහා දේවියත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පින්බර මව්පියවරු වන්නාහ. සහෝදර සද්ධාතිස්ස රජු වමත් ශ්‍රාවක වන අතර ගැමුණු රජු පුත් සාලිය කුමරු මෛත්‍රී බුදුරජුන්ගේ ගිහි කල පුත්‍ර රත්නය වන්නේය. රටත් – ජාතියත් – ශාසනයත් නගාසිටුවූ ධීර වීර ගාමණී අභය රජතුමාට මේ සංක්‍ෂිප්ත සටහන උපහාරයක් වේවා! සිංහල ජාතියත්, සම්බුදු සසුනත් ලංකාද්වීපයත් සුරැකිය හැකි අභිමානවත් ධාර්මික නායකයෙකු බිහි වීම පිණිස ම මෙම ශ්‍රේෂ්ඨ චරිතාපදානය පූර්වාදර්ශයක් වේවා!

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි