දෙවනපෑතිස් නිරිඳු සහෝදර
උත්තිය රජතුමා

දේවානම්පියතිස්ස රජතුමාගේ අභාවයෙන් පසු එතුමාගේ මලණු කෙනෙක් වූ උත්තිය කුමාරයා දස වසරක් ලංකා රාජ්‍යය මැනවින් පාලනය කළේ ය. උත්තිය රජතුමාගේ රාජාභිෂේකයෙන් අටවන වසරේ දී, උපසම්පදාවෙන් හැට වසරක් වූ – උපතින් අසූ වසක් වූ, ගෞතම සම්බුදු සසුන ලක්දිවට දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. උත්තිය රජතුමා මහත් සංවේගයට පත්ව මිහින්තලේ සෑගිරියට ගොස් නිසල රහත් ශ්‍රී දේහයට වන්දනා කොට මිහිඳු මාහිමියන්ගේ ගුණ කඳ පවසමින් හඬා වැළපුණේ ය. ඉන් පසු සුවඳ තෙල් පිරවූ රන් දෙණක ශ්‍රී දේහය තැන්පත් කොට, රන්වන් සිවි ගෙයක් මත තබ්බවා, අලංකාර ව සරසන ලද මාර්ගයෙන් සාදු නද පවත්වමින් ගෞරවාන්විත පෙරහැරකින් අනුරාධපුරයට වැඩමවූයේ ය. එමෙන් ම මහා විහාරයේ පංචම්බමාලකයෙහි රන්දෙණ සහිත කූටාගාරය තැන්පත් කරවා, හාත්පස යොදුනක ප්‍රමාණයේ තොරන් බන්දවා, ධජ පතාක ඔසවා, සුවඳ මලින් සරසවා, පුන්කළස් තබ්බවා සතියක් පුරාවට පුද පූජාවන් පැවැත්වීය. ඉන්පසු බද්ධමාලක නම් ස්ථානයේ සුවඳ දරින් චිතකයක් කරවා, මහසෑ ප්‍රදක්ෂිණා කරමින් වඩමවාගෙන ආ චිතකයට අවසන් පුද පෙළහර පවත්වා ආදාහනය කරවීය. මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අඩක් නිධන් කොට ආදාහන භූමියේ ම සෑයක් කරවූ රජතුමා ඉතිරි ධාතුන් වහන්සේලා මිහින්තලයේ සෑගිරියේ වඩා හිඳවූ අතර, සියලු විහාරයන්හි ස්ථූපයන් කරවීය.

උත්තිය රජතුමාගේ නව වෙනි රාජ වර්ෂයේ දී, උපසම්පදාවෙන් පනස් නව වසරක් වස් ඇති, ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවූ, ලක්දිව භික්ෂූණී සංඝයා බිහිකොට වදාළ, සංඝමිත්තා මහරහත් තෙරණියත් පිරිනිවන් පා වදාළ සේක. සැදැහැති උත්තිය රජතුමා මිහිඳු මහරහතන් වහන්සේට සෙයින් ම සතියක් පුරා උතුම් පුද පූජාවන් පවත්වා, ථූපාරාමය සමීපයෙහි ආදාහන පූජෝත්සවය සිදුකොට එහි ධාතු ස්ථූපයක් ද පිහිටුවීය.

තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ…

උත්තිය රජතුමාගේ අභාවයෙන් පසු එතුමාගේ සහෝදර මහාසිව රජතුමා යහපත් ලෙස දස වසරක් ලක්දිව රජ කරවීය. භද්දසාල මහරහතන් වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදුණු රජතුමා, නගරයට නැගෙනහිර දිශාවේ ‘නගරංගණ විහාරය’ කරවා සසුන පිදීය. මහාසිව රජුගෙන් පසු එතුමාගේ මලණුවන් වූ පින් රැස් කිරීමට ඉතා කැමති සූරතිස්ස රජතුමා දස වසරක් යහපත් ලෙස රට පාලනය කළේ ය. සූරතිස්ස රජතුමා දකුණු දිසාවේ ‘නගරංගණ’ නම් විහාරයක්, නැගෙනහිර දෙසින් ‘ඇත්කඳ’ විහාරයත්, ‘ගෝණගල’ නමින් විහාරයක් ද කරවා ගෞතම සසුන උදෙසා මහත් සැදැහැයෙන් පූජා කළේ ය. තව ද වංගුත්තර පර්වතය පාමුල ‘පාචීන පබ්බත’ විහාරයත්, රෙහෙණ නම් අමුණ ළඟින් ‘කොළඹගල’ විහාරයත් කරවීය. එමෙන් ම පිටිගල පර්වතය පාමුල ‘ලංකාරාමය’ ද නැගෙනහිර දෙස ‘වළස්ගල’ විහාරය ද උතුරු දිසාවෙන් ‘ගිරිනිල්පනාකඩ’ විහාරය ද ඉදි කළේ මහත් වූ ශ්‍රද්ධාවෙනි. සසුනෙහි පහන් වූ පිනෙහි ඇලුණු සූරතිස්ස රජතුමා ලක්දිව මහවැලි ගඟෙන් එතෙර මෙතෙර පන්සියයක් විහාරයන් කරවා සසුනට පුදා අප්‍රමාණ පින් රැස්කර ගත්තේ ය.

ත්‍රිවිධ රත්නය කෙරෙහි මහත් ආදර ගෞරව සහිත වූ සූරතිස්ස රජතුමා, රාජාභිෂේකයට පෙරාතුවත්, රජ වූ පසුත් සැට අවුරුද්දක් පුරාවට ඒ රම්‍ය වූ විහාරයන් කරවීය.

සිරිලක කිතුගොස පැතිරී යන්නේ – මිසදිටුවන්ගේ බැල්ම වැටෙන්නේ…

අශ්ව වෙළෙන්දෙකුගේ පුතුන් වූ සේන – ගුත්තික නම් ද්‍රවිඩ ආක්‍රමණිකයන් දෙදෙනා බලසම්පන්න සේනාවක් සමඟින් විත්, සූරතිස්ස රජතුමා ව ජීවග්‍රහයෙන් අල්ලා ගත්තේය. ඔවුන් දෙදෙනා වසර විසි දෙකක් ලක්දිව පාලනය කළ අතර, දේවානම්පියතිස්ස රජුගේ බාල සහෝදරයෙකු වූ අසේල කුමාරයා සේන-ගුත්තික දෙදෙනා ව ජීවග්‍රහයෙන් අල්ලාගෙන, දස වසරක් ධාර්මික ව රජකම් කළේ ය. මෙකල සොළී රට සිට පැමිණි එළාර නම් බලසම්පන්න ද්‍රවිඩ ආක්‍රමණිකයා අසේල රජු ජීවග්‍රහයෙන් අල්ලාගෙන ලක්දිව රාජ්‍යය පැහැරගෙන හතලිස් වසරක් පාලනය කළේ ය.

රුහුණේ අබිමන් මතු වී එන්නේ – පින්වත් රජ පරපුරකි බිහි වුණේ…

දේවානම්පියතිස්ස රජුගේ දෙවැනි මලණුවන් වූ මහානාග යුවරජු සිය මෙහෙසිය සහ බලසේනාව රැගෙන රුහුණට ගියේ ය. එතුමාගේ මෙහෙසිය යටාල වෙහෙරේ දී පුත් කුමරෙකු බිහි කළ අතර යුවරජතුමා තම සහෝදර රජතුමාගේ නම ගෙන කුමාරයාට ‘යටාලතිස්ස’ යැයි නම තැබී ය. මහානාග යුව රජතුමා මුළු රුහුණු ජනපදයට ම අධිපති වී මහා භවබෝග සම්පත් ඇතිව මාගම රජ විය. එතුමා නාග මහා විහාරය, උඩකදුරු විහාරය ඇතුළු බොහෝ විහාරයන් කරවා සඟරුවනට පිදුවේ ය. මහානාග රජතුමාගේ ඇවෑමෙන් යටාලතිස්ස රජතුමා ද ඉන් පසු ඔහු පුත් ගෝඨාභය කුමාරයා ද රුහුණේ රජ විය. ගෝඨාභය රජතුමාගෙන් පසු සිය අතිජාත පුත්‍ර මහා පින් ඇති කාවන්තිස්ස රජතුමා රුහුණේ රජ පදවියෙන් අභිෂේක ලැබුවේය.

ඒ ශ්‍රද්ධාවන්ත කාවන්තිස්ස රජතුමාට අග මෙහෙසිය වූයේ කැලණිතිස්ස රජතුමාගේ දියණිය වූ තුනුරුවන් කෙරෙහි මහත් සැදැහැති විරෝධාර විහාරමහා දේවිය යි. කාවන්තිස්ස රජතුමා තිස්ස මහා විහාරය, සිතුල්පව්ව විහාරය, ගමිට්ඨවාලි විහාරය, කුටාලි විහාරය ආදී විහාරයන් කරවා, මහත් පැහැදුණු සිතින් යුක්තව නිරන්තරයෙන් ම සංඝරත්නයට සිව්පසයෙන් උපස්ථාන කළේ ය.

අහස් දාගැබට පෙත්මඟ සකසන – පින්බර හෙරණකි සීල සුගන්ධිත…

ඒ දිනවල කෝටපබ්බත නම් වෙහෙරේ, හැමවිට ම පින්දහම් කරන ඉතා සිල්වත් සාමණේරයන් වහන්සේනමක් වැඩ සිටි සේක. උන්වහන්සේ ආකාස චෛත්‍ය මළුවට පහසුවෙන් නැගීමට පියගැටපෙළෙහි ගල් පුවරු තුනක් තැබී ය. තව ද සංඝයාගේ පරිභෝජනයට පැන් එළවා තැබීම, ඇප උපස්ථාන කිරීම ආදී වත් පිළිවෙත් නිතර ම සිදු කළේ ය. අධික ව කය වෙහෙසීම නිසා සාමණේරයන් වහන්සේට බලවත් රෝගාබාධයක් හටගත්තේ ය. කෙළෙහිගුණ දත් භික්ෂූන් වහන්සේලා ගිලන් සාමණේරයන් ව, සිවි ගෙයකින් තිස්සමහාරාමයේ සිලාපස්සය පිරිවෙනට කැඳවාගෙන විත් කරුණාවෙන් ඇප උපස්ථාන කළහ.

විසල් ගුණැති සඟ ගණ වැඩ සිටිනා – දන් පැන් පුදයි දේවිය සිත තුටිනා…

ඒ කාලයේ විහාරමහාදේවියත් සුසිල්වත් ව වාසය කරමින්, රජගෙයි පිසූ දානය දිනපතා සංඝයා විෂයෙහි පූජා කළා ය. සවස් වරුවෙහි දී සුවඳ මල්, බෙහෙත්, සිවුරු රෙදි ආදිය පිළියෙල කරගෙන, ආරාමයට ගොස් කැපසරුප් අයුරින් සඟරුවනට පූජා කළා ය. එක් දිනක් එතුමිය එසේ සංඝෝපස්ථාන සිදුකොට, මහාසිව මහරහතන් වහන්සේ වෙත ගොස් ගෞරවයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වූවා ය. අනුමෝදනා දහම් වදහළ මහ තෙරුන් වහන්සේ එතුමියට මෙසේ අනුශාසනා කළ සේක.

“ඔබතුමියට මෙවැනි මහා සම්පත් ලැබී තිබෙන්නේ පෙර කරන ලද පින්කම්වල අනුසස් බලයෙනුයි. ඒ නිසා දැනුත් අප්‍රමාදී ව පින්කම් ම යි කර ගන්නට ඕනෑ.”

එසේ වදාළ විට විහාරමහාදේවිය මෙසේ පැවසුවා ය.

“අනේ ස්වාමීන් වහන්ස, මේ සැප සම්පත්වලින් ඇති ඵලය කිම? අපට දරු සම්පත් නැති නිසාවෙන් අපගේ සම්පත් වඳයි නොවැ.”

එවිට ෂඞ් අභිඤ්ඤාලාභී මහරහතන් වහන්සේ ඇයට දරු සම්පතක් ලැබෙන බව දැක, “දේවියනි, අර ගිලන් සාමණේරයන් ව බැහැ දකින්න.” කියා වදාළ සේක.

රජ කුමරෙකු සේ මා කුස පිළිසිඳ – වඩිනු මැනවි බුදු සසුන නඟන්නට…

විහාරමහා දේවිය අපවත් වීමට ආසන්නව අසාධ්‍ය තත්ත්වයේ සිටි සාමණේරයන් වහන්සේ ළඟට ගොස් ඇඟිලි බැඳ මෙසේ පැවසුවා ය. “පින්වත් සාමණේරයන් වහන්ස, මාගේ පුතෙකු වන්නට ප්‍රාර්ථනා කළ මැනව.” කියා ය. මිනිස් ලොව උපදින්නට සාමණේරයන්ගේ කැමැත්තක් නැති බව දැනගත් නුවණින් යුක්ත වූ රාජ දේවිය නැවතත් සාමණේරයන්ට සොඳුරු මල් පූජාවක් කොට තමන්ගේ කුසේ පිළිසිඳ ගන්නා ලෙස ඉල්ලා සිටියාය. එසේ කොටත් මිනිස් ලොව උපදින්නට අකැමති වූ සාමණේරයන් වහන්සේ නමින් නොයෙකුත් බෙහෙත් ඖෂධ, සිවුරු රෙදි සංඝයාට පූජා කළ උපායෙහි දක්ෂ වූ විහාරමහාදේවිය, යළිත් වරක් ආයාචනා කළා ය. එවිට සාමණේරයන් වහන්සේ රජ පවුලේ ඉපිද රට එක්සේසත් කොට බුදු සසුන නගා සිටුවන්නට චේතෝ පණිධිය පිහිටවූ සේක. අප්‍රමාණ ප්‍රීතියට පත් රාජ දේවිය උන්වහන්සේ සැතපී සිටි යහන වටා නොයෙක් අයුරින් සරසා වන්දනා කොට යානාවක නැගී පිටත් වුවා ය. ඒ ආත්මභාවයෙන් චුත වූ සාමණේරයන් වහන්සේ රථයේ ගමන් කරමින් සිටි අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. යමෙක් තම කුසෙහි පිළිසිඳ ගත් බව වැටහුණු ඇය රථය නැවැත්වූවා ය. ඉන් පසු කාවන්තිස්ස නිරිඳුන් සමඟ සිලාපස්සය පිරිවෙණට ගොස් සාමණේරයන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු කරවා සන්සුන් සිත් ඇතිව ඒ පිරිවණේ ම වෙසෙමින් සංඝයා උදෙසා නිරතුරු දන් පැන් පිදුවා ය. මහා පින් ඇති විහාරමහාදේවියට ඇති වූ දොළදුක පරිදි දොළොස් දහසක් භික්ෂූන් වහන්සේලාට මී වද දානයක් පූජා කළා ය.

(රට එක්සේසත් කොට සසුන නැගූ ධීර වීර ගාමණී අභය රජුගේ චරිතාපදානය ලබන කලාපයේ)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි