මුලින්ම එසේ ධාර්මික සිතිවිලි ඇතිකර ගැනීම පිණිස කැමැත්තක් උපදවා ගත යුතුය. එසේ කැමැත්තක් ඉපදීමට නම් ධාර්මික සිතිවිලි ඇති කරගැනීමේ ආනිශංසත්, අධාර්මික සිතිවිලි ඇතිකර ගැනීමේ ආදීනවත් සිහිකළ යුතුයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ කර්ම කර්මඵල විග්‍රහය පිළිබඳ තේරුම් ගෙන සිටීම මේ සඳහා බෙහෙවින් උපකාරී වේ. අප සිත, කය, වචනයෙන් කරනා යහපත් දෙයින් යහපත් විපාකත්, එම තිදොරින් කරනා අයහපත් දෙයින් අයහපත් විපාකත් ලැබෙන බව නිතර සිහියේ තබා ගත යුතුය. එවිට පව්කම් කිරීමට ලැජ්ජාවත් විපාකයට බියත් ඇති කරගත හැකිය.

අංගුත්තර නිකායේ දුතිය මරණසති සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ යම් භික්ෂුවක් දහවල් ගෙවී රැය එළඹි විට “මාගේ මරණයට බොහෝ හේතු කාරණා ඇතැ”යි තමන්ගේ මරණය ගැන සිහි කරයි නම් එවිට එම රාත්‍රියේදී තමන්ගේ මරණය සිදුවුව හොත් තමන්ට අන්තරායකර වූ පාපී අකුසල් ධර්මයන් තමන් තුළ ඇතිදැයි නුවණින් සලකා බලන ලෙසයි. එවැනි අකුසල ධර්මයන් තමන් තුළ ඇත්නම් ඒවා ප්‍රහාණය කිරීමට වීරිය ගන්නා ලෙසයි.

ගිහිගෙදර වාසය කරන බොහෝ දෙනා දවස පුරා බොහෝ වෙහෙස මහන්සි වී, විවිධ සිදුවීම්වලට මුහුණ දී නිවසට පැමිණෙන්නේ කලබලකාරී මනසකිනි. ඉන්පසු බත් පතත් ගෙන රූපවාහිනිය ඉදිරිපිට වාඩිවන ඔවුන්ගේ මනස තව තවත් අවුල් වී යාමට පරිසරය සෑදෙයි. නින්දට යන්නේ රාග ද්වේෂ මෝහයන්ගෙන් ව්‍යාකූල වූ මනසකිනි. ඒ නිසා නින්දට පෙර මනස සංසිඳුවා ගැනීම පිණිස යම්කිසි භාවනාවක නිරත වීම බොහෝ ප්‍රයෝජනවත් ය. ඉහත පරිදි මරණානුස්සතිය සිදුකිරීමෙන් හෝ බුද්ධානුස්සතිය, සීලානුස්සතිය වැනි වෙනත් අනුස්සති භාවනාවක් සිහි කිරීමෙන් හෝ මෛත්‍රී භාවනාව වැනි භාවනාවක් පුරුදු කිරීමෙන් සිතේ කලබලකාරී බව මැඩ පවත්වා ධාර්මික සිතිවිලි උපදවා ගත හැක. සියලු සත්වයන්ට මෙත් සිත පතුරුවා රාත්‍රී නින්දට පෙර තුනුරුවන් සිහිකොට පිරිත් සජ්ඣායනා කොට දෙවියන්ට ද පිං අනුමෝදන් කර නින්දට යෑමට පුරුදු වීමෙන් ධාර්මික රක්ෂාවරණයත්, සුවබර නින්දත් මෙන්ම සුවසේ අවදි වීමේ අවස්ථාවත් උදාකර ගත හැක. උදෑසන අවදිවෙන විට ද තෙරුවන් සිහිකර ගැනීමට පුරුදු වීමේ වැදගත්කම ධම්මපදයේ පකිණ්ණක වග්ගයේ ඇතුලත් “සුප්පබුද්ධං පබුජ්ඣන්ති” ගාථාවේ නිදාන කතාව කියවීමෙන් වටහා ගත හැක.

එමෙන්ම ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන් විදුලිය ආදී පැය 24 පුරා ධර්මය අසන්නට ලැබෙන මාධ්‍යයන්වලට සවන්දීමත් ධාර්මික සිතුවිලිවලින් යුක්තව දවස ගෙවීමට ඔබට බොහෝ උපකාරී වනු ඇත.