පින්වත් ස්වාමීන් වහන්ස, ධර්මයෙහි හැසිරෙනු කැමති දෙමව්පියන්ට දුස්සීල වූ, නරක ගතිගුණ ඇති දරුවන්ගෙන් කරදර පැමිණෙන විට එයට මුහුණ දිය යුත්තේ කෙසේද?

ධර්මයේ හැසිරීමට විරුද්ධ දරුවන් සිටින දෙමව්පියන් හට එම දරුවන්ගෙන් හිරිහැර පැමිණෙද්දී ධර්මයට අනුව ම ජීවිතය සකස් කරගැනීමට සිතුවිල්ලක් ඉපදවීම පවා ප්‍රශංසනීය වේ. මෙම ගැටළුවට මුහුණ දී සිටින දෙමව්පියන් හට බොහෝ අපහසුවෙන් නමුත් පුරුදු පුහුණු කළයුතු එක ගුණධර්මයක් ඇත. ඒ තමයි “ඉවසීම” නමැති ශ්‍රේෂ්ඨ ගුණය.

එය ප්‍රායෝගිකව පුහුණු කරගැනීම සඳහා මේ අයුරින් මෙනෙහි කරන්න. “සසර ගමනක සැරිසරා යද්දී මෙවැනි කරදර බාධා පැමිණීම සමහරවිට පෙර සසරේ මා විසින් ම කරගන්නා ලද කර්මයක විපාකයක් විය හැකියි. නමුත් සසර ගමන යනු කිසිසේත්ම අපට සාධාරණය, යුක්තිය ඉටුකර දෙන ගමනක් නොවෙයි.

තුන් ලෝකය කෙරෙහි මහා අනුකම්පාවෙන් යුතු හදමඬලක් දරා වැඩසිටි අපගේ ශාස්තෘන් වහන්සේට පවා නිස්කාරණයේ නොයෙක් කරදර හිරිහැරයන්ට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ හැම අවස්ථාවක ම භාග්‍යවතුන් වහන්සේගේ මෛත්‍රී චිත්තය ද හැම දෙනා කෙරෙහි නොවෙනස්ව පැවතුනා. මම සරණ ගියේ එබඳු ශාස්තෘන් වහන්සේ නමක්. භාග්‍යවතුන් වහන්සේගේ ඒ උත්තම ගුණයට පූජා පිණිස මේ කරදර මම හොඳින් ඉවසා දරාගෙන මෙත් සිත ම වඩනවා” කියා මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේට තම ජීවිතය පූජා කරන්න.

ඊළඟට බුද්ධ කාලයේ සිටි උපාසකවරු උපාසිකාවන් තමා වෙත පැමිණෙන අසාධාරණ ඉදිරියේදී තම සිත ධර්මය තුළට ම පැමිණවූ ආකාරය සිහි කරන්න. බිම්බිසාර රජතුමා මගධ රාජ්‍යය ම තම පුත් වූ අජාසත් හට පවරා සිටිද්දී පවා තම ලෙයින් උපන් දරුවා ම තමාව සිරකොට තැබුවා. ආහාරපාන පවා නොදී බඩගින්නේ තැබුවා. කකුල් පලා ලුණු ගොරකා දමා ගිනි අඟුරු මත ඇවිද්දෙව්වා. නමුත් එතුමා කිසිවිටක තම දරුවාට ශාප කළේ නෑ. මෙත් සිත රැකගෙන බුදුරජාණන් වහන්සේ, ධර්ම රත්නය, සංඝ රත්නය මෙනෙහි කරමින් සිටියා. “මගේ දරුවන්ගෙන් මට එච්චර කරදර ඇතිවුනේ නෑ නොවැ. බිම්බිසාර රජු වැනි දුකකට මා පත්වී නෑ නොවැ. ඒ නිසා මම මේ දුක ඉවසරනවා. මෙත් සිත ම රැකගන්නවා” යැයි සිතා ශ්‍රාවක අභිමානය සිතට ගෙන මෙත් සිත ම පුරුදු කරන්න.

එසේ නොකොට දරුවන්ට සාප කරන්නට ගියහොත් තමා වැළඳගන්නේ ධර්මය නොව අධර්මය යි. එවිට නැවත නැවත සසරේ මෙවැනි ම දුක් විඳින්නට සිදුවනු ඇත. එම නිසා බුදුරජාණන් වහන්සේට දිවි පුදා මෙත් සිත පුරුදු කොට ඉතා බලවත් කුසලයක් උපද්දවා මරණින් මතු සුගතිගාමී ජීවිතයක් පිණිස සිත සකස් කරගන්න. දෙව්ලොවදී ඔබට සත්පුරුෂයන් මුණගැසෙනු ඇත.