තාක්ෂණික මෙවලම් සුලබ ව භාවිත වන මේ යුගයේ අප වෙත තොරතුරු ගලා ඒමේ ශීඝ්‍රතාවය ද ඉමහත් ය. නමුත් ඒ තොරතුරු මූලාශ්‍රයන්හී විශ්වසනීය භාවය ගැටලු සහගත ය. ගලා එන වේගයට ම ගිල දැමුවහොත් කෑමක් අජීරණය වූවා සේ අපහසුතාවයනට අප ව ලක් කරලන සාවද්‍ය තොරතුරු එකී මූලාශ්‍ර තුළ බොහෝ සෙයින් සංසරණය වන බව නොරහසකි. එසේ නම්, නිවැරදි ම දේ නිවැරදි ව තෝරා බේරා ගැනීමට අප ප්‍රවේශම් විය යුතු ය.

අප වෙත පැමිණෙන අන් සියලු සාවද්‍ය කරුණු හා අර්ථ දැක්වීම් එක් පසෙකට කොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදහළ ශ්‍රී සද්ධර්මය විෂයෙහි ගොඩනැගෙන වැරදි අර්ථකථනයන් අනෙක් පසට ගතහොත් වඩාත් බරපතළ ප්‍රතිවිපාක ඇති කරලන්නේ ද වඩාත් අර්බුදකාරී වන්නේ ද ධර්මය ස්වරූපයෙන් එන අධර්මය සහිත පාර්ශවය යි. මන්ද අන් දේවල් වරදවා ගත්තා කියා අප එපමණකින් දුගතිගාමී වන්නේ හෝ ධර්මාවබෝධයෙන් බොහෝ සෙයින් ඈත් වන්නේ හෝ නැත. නමුත් ධර්මය නාමයෙන් අධර්මය පිළිගත් විට ද ධර්මය නමින් අධර්මයට පුද සත්කාර කළ විට ද සම්බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කළවුන්ට යථෝක්ත දුර්විපාකයනට නියත ව ම මුහුණ දෙන්නට සිදු වේ. ධර්මය ද අධර්මය ද ඇසෙන බවට සැක නැති මෙවන් යුගයක එකී පාපී අකුසලයෙන් අත්මිදෙන්නට අප කුමක් කළ යුතු ද?

නුවණැති දෙවි මිනිසුන්ගේ භාග්‍යයකින් එයට පිළියම තවමත් විද්‍යාමාන ව පවතී. ඒ අන් කිසිවක් නොව නිකෙලෙස් මුනි පරපුරෙන් ගෙන ආ, නිකෙලෙස් මුනිවරුන් විසින් ග්‍රන්ථාරූඪ කරලන ලද උතුම් ත්‍රිපිටක ධර්මය යි.
ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් තෙවරක් ම සිදු කළ ඉල්ලීමක අවසන භික්ෂුණී සංඝයාගේ පැවිද්ද අනුදනිමින්, “වසර දහසක් ව පැවති ශාසනයේ ආයුෂය මෙකරුණින් වසර පන්සියයක් වූයේ ය.” යනුවෙන් සම්බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සම්බුද්ධ රාජ්‍යයේ බලවත් බැබළීම මේ අයුරින් කාල නිර්ණය වී තිබේ. අධිගමයනට එළඹෙනා ප්‍රතිවේධ ශාසනය ඒ තාක් ආනුභාව සම්පන්න ව පැවති බව නිසැක ය. ආශ්චර්යවත් ම කරුණ වන්නේ උතුම් ත්‍රිපිටක ධර්මය මෙරට දී ග්‍රන්ථාරූඪ කෙරුණේ උතුම් ශ්‍රී සම්බුද්ධ රාජ්‍යය බිහි වී වසර පන්සියයක් ඉක්ම යන්නට පෙරාතුව වීම ය. එසේ නම් මනා ලෙස සම්බුද්ධ රාජ්‍යය බැබළෙමින් පැවතිය දී ම ඒ සසුනේ අගපත්, ශාස්තෘ ගෞරවය ද එහෙයින් ම ධර්ම ගෞරවය ද යුතු වූ මහරහත් මුනිවරුන් විසින් ම ලියා තබන ලද ඒ ධර්මයේ සුපිරිසිදු බව අප සැක කළ යුතු නැත.

කවරෙකු විසින් කවර අයුරකින් දහම් කරුණු සහිත ව කථා බස් කළ ද ඒ සියල්ල අප ගළපා බැලිය යුත්තේ පෙළ දහම සමඟ ය. අද ඇසෙන බොහෝ ධර්ම කථාවන්හි, කියවන්නට ලැබෙන බොහෝ ග්‍රන්ථයන්හි ධර්මය ද ධර්මය නොවන පුද්ගලික මතවාදයන් ද පවතී. ධර්මය නොදැන එකී පුද්ගලික මතවාදයන් බැහැර කරලීම උගහට ය. එනිසා අප කළ යුත්තේ පෙළ දහම කියවීම යි. පෙළ දහම ඉගෙනීම යි. ශ්‍රැතය නම් වූ සේඛ බලය ධර්මය දකිමින් අධර්මය බැහැර කරලන්නට ඒකාන්තයෙන් ම උපකාරක ය. ඒ උපකාරය සලසා ගන්නට තිබෙන්නේ තමා තුළට පමුණුවා ගන්නා ධර්මය තුළින් ය. එපමණකින් ම අපි සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ අනුශාසනාවෙහි පිහිටියවුන් වන්නෙමු.

“අත්තදීපා විහරථ අත්තසරණා අනඤ්ඤසරණා
ධම්මදීපා විහරථ ධම්මසරණා අනඤ්ඤසරණා”

“තමා ව දූපතක් කරගෙන වාසය කරන්න. තමා ව සරණ කර ගන්න. අන් කෙනෙක් සරණ කර ගන්න එපා. ධර්මය දූපතක් කරගෙන වාසය කරන්න. ධර්මය සරණ කර ගන්න. අන් දෙයක් සරණ කර ගන්න එපා.”
(අත්තදීප සූත්‍රය – සං. නි. 3)