ලෝකයේ පොදු ප්‍රශ්නය දැන් අපේ දරුණු ම පුද්ගලික ප්‍රශ්නය බවට පත්ව අවසන් ය. මෙතෙක් අප බලා හුන් ලෝකයාගේ කඳුළු කථාව, දැන් අපේ කඳුළු කථාව ය. කොවිඩ් වසංගතය සෙසු රටවල මරණ අනුපාතයන් ඉක්මවමින් ඉහළ අගයක් වාර්තා කරනු ද එසේ මිය යන්නවුන් අතරට අපගේ ආදරණීයයන් දිනෙන් දින එක් වනු ද බලා සිටිමින් ගෙවා දමන්නට සිදු වූ දුක්ඛිත, දුෂ්කර කාලයකි මේ. මරණයේ එළිපත්තට අප ව මොහොතකින් ඇද දමන පසුබිමක් අද නිර්මාණය වී තිබේ.

රෝගී භාවයන් ප්‍රකට කරමින් දින ගණනාවක් පුරා ශාරීරික වේදනා ලබමින් සිදු වන මරණයන් මෙන් ම එසේ නොමැති ව හිටිහැටියේ ම සිදුවන මරණයන් ද කොවිඩ් මරණ ගොනුවට එකතු වන නිසා, රෝගී බවක් දැනී වේවා – නොදැනී වේවා අප කිසිවෙකු කොවිඩ් මරණයකට ගොදුරු නොවේ යැයි සහතික කර දක්වන්නට ක්‍රමවේදයක් නැත. තදාසන්න කාල පරිච්ඡේදයක නොවූ විරූ පරිද්දෙන් මරණය අප අසල පවත්නා බව අපට ප්‍රකට වෙමින් තිබේ. ලොව උපන්නවුනට නොමැරී සිටීමක් නැති හෙයින් මරණයෙන් ගැලවෙන්නට අප කිසිවෙකුටවත් නොහැකි බව නිසැක ය.

එසේ නම්, මරණයේ එළිපත්ත මත අප කවරකින් සවි ලබන්න ද? නෑයෝ ද නොනෑයෝ ද සතුරෝ ද මිතුරෝ ද එකම ඉරණමකට මුහුණපා සිටිත්දී, රැස් කළ සියලු ධන සම්භාරයන් නිසැකව ම හැර දමන්නට වද්දී ඒ කිසිවකින් අපට සවියක්, දිරියක් ලබන්නට නොහැකි ය.

එහෙත්, සවිමත් ව දිරිමත්ව මරණයට පත් වන භාග්‍යය ලබන්නවුන් ලෝකයේ සිටී. එසේ, මැරෙනවුනට නිර්භය භාවය උපදවා දෙන්නේ කවර ප්‍රතිපදාවකින් ද යන වග අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ සේක.

යමෙක් කාමයන් කෙරෙහි රාගය ද කැමැත්ත ද ප්‍රේමය ද පිපාසය ද දාහය ද තෘෂ්ණාව ද දුරු කළේ නම්, යමෙක් තම ශරීරය කෙරෙහි රාගය ද කැමැත්ත ද ප්‍රේමය ද පිපාසය ද දාහය ද තෘෂ්ණාව ද දුරු කළේ නම්, යමෙක් පව් නොකොට පින් කරමින්, කුසල් කරමින් බියට රැකවරණයක් සලසා ගත්තේ වෙයි නම් හෝ යමෙක් සද්ධර්මය කෙරෙහි සැක රහිත භාවයට එළඹ නිෂ්ඨාවට පත් වූයේ වෙයි නම් මේ සතරක් වූ පුද්ගලයෝ මරණය ඉදිරියේ ශෝක නොකරන්නෝ ය. ඒ වනාහී, මැරෙන ස්වභාවයෙන් යුතුව සිට බිය නොවන්නෝ ය. මරණය අබියස සන්ත්‍රාසයට පත් නොවන්නෝ ය.

(ජාණුස්සෝණි සූත්‍රය, අං. නි. 02)

කාමයන්ගේ පවත්නා නිස්සාර භාවය, අස්ථිර භාවය ගැන අපිදු සදහම් අසා ඇත්තෙමු. සියුම් සිවියකින් වැසී ගිය බිත්තරයක් බඳු වූ මේ ශරීරයේ ඇති අනියත භාවය, දුක්ඛිත භාවය ගැන ද අපි සදහම් අසා ඇත්තෙමු. සෑය බෝධිය වඳිමින්, උපෝසථ සිල් රකිමින්, බුදු බණ පද අසමින්, පිරිත් ධර්මයන් සජ්ඣායනා කරමින්, අනුත්තර පින්කෙතෙහි දන්පැන් පුදමින්, සෑය බෝධි මණ්ඩප කරවමින් කලණමිතුරු සඟ රුවන පෙරටු කොටගෙන අපිදු පින් කර ඇත්තෙමු. මරණයේ එළිපත්ත මත අප හිඳිනා අද, අපට ඇති සැබෑම රැකවරණය එසේ පුරුදු කළ සිරි සදහම් පමණෙකි.

අනන්ත සසරේ සැරිසරා යමින් මෙවර මනුලොව ආ අපට, මරණය මුණගැසෙනා පළමු වතාව මෙය නොවේ. සසරේ අප ලද සෑම මරණයක්.ම පාහේ බිය තැතිගැනීම් සන්ත්‍රාස පිරී ගත් ඒවා වන්නට බොහෝ ඉඩ තිබේ. එහෙත්, සම්මා සම්බුද්ධ රාජ්‍යයක් ජීවමාන ව පවත්නා යුගයක මනුලොව ඉපිද තෙරුවන් සරණයේ පිහිටා පිනෙන් වැඩෙන්නට, දහම් මග පුරුදු කරන්නට ලැබුණු මේ අවස්ථාවේ අපි කාමයන්හි කැමැත්ත බැහැර කර, බිඳී යන ස්වභාව ඇති කය කෙරෙහි ඇල්ම බැහැර කර, කරන ලද පින් ඇතිව, දහමෙහි නිසැක බවට පත් වන්නවුන් ව – කෙදින හෝ මුණගැසෙන මරණයට නොබියව මුහුණ දෙමු…!